රටේ පරිහානියට දේශපාලකයන් පමණක් නෙමෙයි දූෂිත නිලධාරීන්ද වගකිව යුතුයි…

257

පරිප්පු – පාන් පිටි කනවා නම් අපි ඒවා වවාගත යුතුයි – ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක, ගුවන් නියමු රුෂාන් මලින්ද

ප්‍රශ්නය – ඔබ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකත්වයට පසුගියදා පත්වුණා. ඔබගේ දේශපාලන පසුබිම කුමක්ද? රට පිළිබඳ ඔබගේ දේශපාලන දැක්ම කුමක්ද?

පිළිතුර – අවුරුදු විසි තුනක් මම ජපානයේ හිටියෙ. එරට ආණ්ඩු කරන හැටියි ලංකාවේ ආණ්ඩු කරන හැටියි දැක තියනවා. අපේ එක් ආණ්ඩුවක් පාරේ ඉරි කහ කරනවා. ඊළඟට එන ආණ්ඩුව ඒක සුදු කරනවා. ප්‍රතිපත්ති වෙනස් වෙනවා පක්ෂයෙන් පක්ෂය බලයට එද්දී. රටට ජාතික ප්‍රතිපත්තියක් නෑ. මම එක පක්ෂයකයි හිටියෙ. රටේ ඉහළම තනතුරක් දරන පුද්ගලයෙක්ගෙ පක්ෂයක. ඒ පක්ෂයට අගතියක් වෙයි කියා හිතන නිසා නම කියන්නේ නෑ. නමුත් ඒ පක්ෂය තුළ සිටීමෙන් මා බලාපොරොත්තු වන දේ ජනතාවට කරන්න බෑ කියා මට තේරුණා. එනිසා මා තනිවම ඉදිරියට ඇවිත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකත්වය බාර ගත්තා. ඒ දිගාමඩුල්ල සශ්‍රීක කරලා පිටරටින් හාල් ගේන එක නවත්වලා දිගාමඩුල්ලේ සහලින් රට ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙළක් එක්කයි මම පක්ෂ නායකත්වය බාර ගත්තේ.

ප්‍රශ්නය – ඔබ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාදී ඔවුන්ගේ පවුල්වල තත්ත්වය නගා සිටුවීමට කටයුතු කරනවා. එය හුදෙක් දේශපාලන ප්‍රචාරක වැඩසටහනක්ද ?

පිළිතුර – ඔබගේ සැකය සාධාරණයි. මොකද මෙතෙක් කලක් ලංකාවේ පොරොන්දු දේශපාලනයක්නෙ සිදුවුණේ. බොරු පොරොන්දු දීලා බලය අරන් ජනතාව ගැන තැකීමක් නෑ. සරම කඩලා රස්සා අහුලාගන්න කියූ දේශපාලනයක් තමයි ජනතාව දැකල තිබුණේ. නමුත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එහෙම පොරොන්දු දේශපාලනයක් කරන්නේ නෑ. අපි කරලා තමයි කියන්නේ. අපි තරුණ තරුණියන් 318 දෙනෙක් සම්මුඛ පරීක්ෂණයකින් තෝරා ගෙන ඒ අය මාස හයක ඔන්ලයින් හා සම්මන්ත්‍රණ හරහා පුහුණු කරල, මේ වෙද්දී 38 දෙනෙක් ජාත්‍යන්තරව පිළිගත් භ- 5 විභාගය සමත් වෙලා ඉන් පළමු 20 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් අද හෙටම ජපානයේ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තුවෙන් සිටින වෙලාවකයි අපි මේ සාකච්ඡාව කරන්නේ. වෙන පක්ෂ කරන්නේ මේ වගේ දෙයක් හිතන විටදීම ලොකු ප්‍රචාරයක් ලබාගන්න එකයි. නමුත් ඒක කෙරෙන්නෙත් නෑ. එනිසා අපි දෙයක් 50% වත් නොකර කියන්නේ නෑ. මෙය ප්‍රචාරාත්මක වැඩසටහනක් වත්, මිනිස්සු රැවටීමක්වත්, ජනමාධ්‍ය අවධානය දිනාගැනීමට කරන කූට ව්‍යාපාරයක්වත් නොවෙයි. රටට අවශ්‍ය විදේශ විනිමය රටට ගේන්නත්, අම්පාර දිස්ත්‍රික්කයේ අහිංසක ගොවි ජනතාවගේ දූ දරුවන්ට ලෝකය දැකලා තමන්ගේ අනාගතය ආර්ථිකය දියුණු කරගැනීම කරන වැඩපිළිවෙළක්.

ප්‍රශ්නය – මේ යටතේ කොපමණ පිරිසකට රැකියා ලබාදීමට ඔබ අරමුණු කරගෙන සිටිනවාද? එහි අවසන් ඉලක්කය කුමක්ද ?

පිළිතුර – දැනට අපි බලාපොරොත්තු වෙනවා නගායි සමූහ ව්‍යාපාරය සමග ඒකාබද්ධ වෙලා වාර්ෂිකව 2000 ක පිරිසක් ජපානයේ නොයෙකුත් රැකියා සඳහා යවන්න. උදාහරණයක් ලෙස ගොඩනැගිලි ඉදිකිරීම්, සත්වපාලන, සෞඛ්‍ය, සංචාරක ක්ෂේත්‍රන් සඳහන් කරන්න පුළුවනි. ජපානයේ වැඩිහිටි ජනගහනය වැඩියි. තරුණ පිරිස අඩුයි. එනිසා තරුණ අයට රැකියා අවස්ථා එන්න එන්න වැඩිවෙනවා මිසක් අඩුවන්නේ නෑ. මම ගුවන් නියමුවෙක් විදිහට දන්නවා ලෝකයේ ගුවන් නියමුවන්ට ලොකු ඉල්ලුමක් තියනවා. නමුත් ගුවන් නියමුවන් හයහත්සීයක් ලංකාවේ ගෙදරට වෙලා ඉන්නවා. එය වුණේ රැකියා අවස්ථා තියෙන ස්ථානයත්, ගුවන් නියමුවත් සම්බන්ධ කරන්න මෙතෙක් පැවති රජයන් අපොහොසත් වුණ නිසයි. අපේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මේ දෙගොල්ල සම්බන්ධ කරන පාලමක් වෙනවා.

ප්‍රශ්නය – දේශපාලනයට පැමිණීමට පෙර ඔබ කෙබඳු කෙනෙක්ද ? දේශපාලනයට පිවිසීමට සිතුවේ ඇයි ?

පිළිතුර – මම දේශපාලනයට එන්න පෙර ජපානයේ සකුරායි සමූහ ව්‍යාපාරයේ අධිපති ලෙස කටයුතු කළා. එය ජපන් ආයතනයක්. ලංකාවේ සකුරායි ගුවන් සමාගම හා ගුවන් පුහුණු පාසලක් රත්මලානේ පවත්වාගෙන යනවා. දේශපාලනයට එන්න පෙර මම ව්‍යාපාරිකයෙක්. ඒ වගේම ගුවන් නියමුවෙක්. මටත් ජපානයට වෙලා සුවපහසු ජීවිතයක් ගත කරගෙන ඉන්න තිබ්බා. ඒත් මේක අපි ඉපදුනු රට. කවදාහරි අපේ මලකද පස්වෙන්න ඕන මේ රටේම. මවුබිමට අපි දෙයක් කරේ නැත්නම් නිවටකමක් ලෙස මා දකිනවා. මම විතරක් දියුණු වෙලා මදි. පුස් සයිකලෙන් ගමන් කරපු මට අද ගුවන් යානා හයයි, හෙලිකොප්ටර් තුනයි ගන්න පුළුවන් වුණානම් ඇයි මට බැරි මගේ රටේ ජනතාවගේ ආර්ථිකය දියුණු කරන්න. පයින් යන කෙනා පුස්බයිසිකලෙන් ගමන් කරන තත්ත්වයට ගේන්න මට බැරි ඇයි? ඇත්ත දේශපාලන අත්දැකීම් මට නැහැ. නමුත් ආර්ථිකය හදන ප්‍රායෝගික දැණුම මට තියනවා. ඒක මං කරපු කෙනෙක්. අත්වින්ද කෙනෙක්. ඒ විශ්වාසය එක්ක තමයි දේශපාලනයට ආවේ. ලංකාවේ දේශපාලනය නැතුව බුලත්විට කඩයක් වත් දාන බෑ. ඒක තමයි රටේ හැදිලා තියන ක්‍රමය. රටේ ආර්ථිකය හදන්න නම් දේශපාලනය හරහාම යා යුතුයි. දේශපාලකයා ලංකාවේ පුරුදුවෙලා තියෙන්නේ කාටහරි බනින්න. ඒක තමයි මාධ්‍ය තුළ නිවුස් එකටත් යන්නේ. එනිසා හැමදාම දේශපාලකයෝ එකිනෙකාට බැන ගන්නවා විතරයි කරන්නෙ. රට හැදීමක් වෙන්නෙ නෑ. හැබැයි ප්‍රතිපත්තියක් ගැන කතාකරන මිනිහෙක්ගෙ නිවුස් එකක් යන්නෙ නෑ. දේශපාලකයන් හා මාධ්‍යත් සදාචාරාත්මක වැඩපිළිවෙළකට යන්න ඕනි. මේ රට අද පවතින තත්ත්වයට දේශපාලකයන් විතරක් නොවෙයි රාජ්‍ය නිලධාරීන්ද වගකිව යුතුයි. මොකද කැබිනට් පේපර් හදන්නෙ රාජ්‍ය නිලධාරීන්. අපි හිතමු බදු සහනයක් දෙනව කියලා. ඒකට ෂැම්පුද, බටර්ද, කිරිද දාන්නේ කියලා තීන්දු ගන්නේ දේශපාලකයා නොවෙයි රාජ්‍ය නිලධාරියා. බටර් කොම්පැනියෙනුයි, සීනි කොම්පැනියෙනුයි, පැන්සල් හදන කොම්පැනියෙනුයි තුටු පඬුරක් අරන් ඒ බඩු ටික ඇතුළත් කරනවා. ඉතිං රටක් දියුණු වෙයිද. හරි දේ හරිගස්සලා දෙනවා නම් දේශපාලකයන්ට කුණු අරන් යන්න බැහැනේ.

ප්‍රශ්නය – අද අප රටේ තියන දේශපාලන තත්ත්වය ගැන ඔබගේ මතය කුමක්ද ? තරුණ පරපුර ඉල්ලා සිටින සිස්ටම් චේන්ජ් එක ඔබ අනුමත කරනවාද?

පිළිතුර – මෙහෙමයි රටේ වර්තමාන තත්ත්වය ගැන කතා කරද්දී අපි හිටපු තත්ත්වයට වඩා ඉදිරියෙන් ඉන්නවා. රටේ ගෑස් ටික ගන්න, ඉන්ධන ටික ගන්න පෝලිමේ හිටියා. රුපියල් 2000 ට ඩීසල් ලීටරය මම ගැහුවා. කලුකඩ බිහිවෙලා තිබ්බා. මෙක්සිකෝව, කියුබාව, සෝමාලියාව වගේ තත්ත්වයට රට වැටිලා තිබ්බා. අපි පිටරටවල දී හරි අභිමානයෙන් සිලෝන් ශ්‍රී ලංකා කියා ආසාවෙන් කතා කළා. හැබැයි මේ ප්‍රශ්නය එක්ක විදේශ බිස්නස් ෆෝරම්වල, බිස්නස් මීටිං වල රටේ නම කියන්න ලැජ්ජාවක් ඇතිවුණා. ඒ තත්ත්වය එක්ක බලද්දී ජනාධිපතිතුමා හා රජය ගෙනියන වැඩපිළිවෙළ අගය කරන්න ඕනි. කකුලෙන් අදින දේශපාලනයේ අපි නෑ. හොඳ දෙයක් කළොත් හොඳයි කියන්න ඕනි. අපේ පක්ෂ ප්‍රතිපත්ති එක්ක අපි ගමනක් යනවා. වර්තමානයේ සිස්ටම් චේන්ජ් එකක් කරන්න ගිහින් මොකද වුණේ. අරගලය සිස්ටම් චේන්ජ් කියලා ආව. අරගලේ හිතුවද රනිල් ජනාධිපති වෙයි කියලා. සිස්ටම් චේන්ජ් කරන්න හොඳ නායකත්වයක් තියෙන්න ඕනි. ඔළුව නැතුව කඳ විතරක් අරන් ගිහින් වුණ දේ තමයි අරගලේට වුණේ. අරගලේ 100% හරි කියලා මම කියන්නේ නෑ. ගෝල්ෆේස් සාමාන්‍ය ජනතාවගේ අරගලය සාධාරණයි. බෙලෙක්කඩේ හන්දියෙදී ජනාධිපතිට හූ කියලා ආපු අරගලය ජනතාවගේ හදවතින් ආවෙ. දේශපාලන පක්ෂ අරගලය ආක්‍රමණය කළා. ඊට පස්සෙ තමයි වැරදි අතට, කුමන්ත්‍රණකාරී තත්ත්වයට පත්වී මහපාරෙ මිනිස්සු මරලදාන තත්ත්වයට, ගෙවල් ගිනිතියන තත්ත්වයට පත්වුණා. කාගේ වුණත් ගෙයක් කියන්නේ හීනයක්. සාමාන්‍ය මනුස්සයෙක් ගෙවල් 10 ක් හදන්නේ නෑ. එක ගෙයයි හදන්නේ. පෞද්ගලිකව දේශපාලකයෙක්ද ?,හොරෙක්ද?, මිනීමරුවෙක්ද? කියලා අපට වැඩක් නෑ. ඒ මනුස්සයා ගෙයක් හදන්නේ කැදැල්ල එක්ක සංතෝශෙන් ජීවත් වෙන්නයි. ගෙවල් ගිනිතියලා මිනීමරන එක සිස්ටම් චේන්ජ් එක නොවෙයි.

ප්‍රශ්නය – සම්ප්‍රදායික දේශපාලන ක්‍රමයට වෙනසක් අවශ්‍ය බව ඔබ පිළිගන්නවාද ? ජපන් රැකියා ලබාදීම තරුණ පරපුර ඉල්ලන වෙනසට පිළිතුරක් කියා ඔබ සිතනවාද ?

පිළිතුර – අනිවාර්යයෙන් වෙනසක් සිදුවිය යුතුයි. මොකද දැන් අවුරුදු 75ක් කරලනෙ රට මේ තත්ත්වයට පත්වුණේ. එතකොට මේ ව්‍යවස්ථාව අනිවාර්යයෙන් වෙනස් විය යුතුයි. සිස්ටම් එක කියන්නේ ව්‍යවස්ථාවයි. ඔය පොතටනෙ අපි වැඩ කරන්නේ. නීතිය හැඩගැහිලා තියෙන්නේ. රටේ ආර්ථිකය හදන්න වැඩපිළිවෙළක් ඕන. මෙතෙක් වියදම් කරපු එක විතරයි කළේ. මේ ටියුබ් එකේ පැච් ගොඩයි. IMF නොවෙයි රටට ඩොලර් බිලියන 100 ක් ආවත් වියදම් අඩු කරගෙන නෑ. අපේ බත් වේලට පරිප්පු තියනවා. නමුත් අපේ රටේ පරිප්පු හදන්නේ නෑ. ඉන්දියාවෙත් ගේන්නෙ. ඒවට ඩොලර්නෙ වියදම් වෙන්නේ. ලංකාවේ මිනිස්සු බත් කනවට අමතරව පාන්පිටි මිශ්‍ර ආහාර වැඩිපුර කනවා. තිරිඟු ඇටයක් හිටුවන්න සැලසුම් කරාද? නැහැ. හැබැයි පාර්ලිමේන්තුවේ ඉන්න අනුරාධපුර අයෙක් පරිප්පු වගාකරන වැඩසටහනක් කරනවා. පක්ෂය කුමක් වුවත් අපි ඊට සහයෝගය හා ආශිර්වාද කරනවා. පාන්පිටි ලංකාවේ නිශ්පාදනය කරන්න ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඉදිරියට එනවා. මේක මාෆියාවක්. තර්ජන ගර්ජන එයි. ඒවට අපි හරි කැමතියි. ඒ උදවිය එක්ක සටන් කරලා ඉදිරියේදී පාන්පිටි රටේ නිශ්පාදනය කිරීමට වැඩ කටයුතු පටන් ගන්නවා. අපි පිටරටට තරුණයන් යැවීමේ පරමාර්ථය එහෙ වී ටික ගෙනත් මෙහෙ හිටුවීම විතරක් නොවෙයි. පාන් හදන්නේ කොහොමද, තිරිඟු පිටි හදන්නේ කොහොමද, කිරි නිෂ්පාදනය කරන්නේ කොහොමද, බවබෝග හදන්නේ කොහොමද කියා එක එක ව්‍යාපෘති ඔවුන් පුරුදු පුහුණු වෙලා ඔවුන්ගේ ආර්ථිකය හදාගන්න ගමන් දැනුමත් අරන් රටට එනවා.

ප්‍රශ්නය – ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉදිරි වැඩපිළිවෙළ කුමක්ද ? එයත් සම්ප්‍රදායික දේශපාලන පක්ෂයක් පමණක්ද? එහි රටට ගැළපෙන අලුත් දෙයක් තියෙනවාද?

පිළිතුර – ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තරුණ අයට 80% ක් අවස්ථාව දෙන පක්ෂයක්. තමන්ගේ ප්‍රතිපත්ති මාලාව ව්‍යවස්ථාවට ඇතුළත් කරලා නීතිගත කරපු එකම පක්ෂය අපියි. අපි එය ව්‍යවස්ථාවට ඇතුළත් කළේ අපි එය කඩකළොත් ඔබට අවස්ථාව තියෙනවා මගේ විශ්වාසය පළුදුකලා කියලා පාර්ලිමේන්තුවෙන් පන්නා දැමීමට. නඩු පැවරීමේ අයිතිය ඡන්ද දායකයාට ලබාදී තියෙනවා. අපි වැටුප් ගන්නෙ නෑ. දස වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් අපි හදල තියනවා. අරගලෙන් ඉල්ලපු දේ අපි ලබාදී තියනවා. රටට මහත්මා දේශපාලනනයක් ගෙනදීමේ ක්‍රියාවලියක් තමයි අප පක්ෂයේ තියෙන්නේ.

ප්‍රශ්නය – අම්පාර වැනි දුෂ්කර ප්‍රදේශයක් දියුණු කරන්න ඔබට දැක්මක් තියනවාද ? ඒ වැඩපිළිවෙළ කුමක්ද ?

පිළිතුර – අම්පාර දුෂ්කරයි කියලා ඔබතුමාගේ ප්‍රශ්නයේම තියනවා. ඒ කියන්නේ අම්පාරේ දේශපාලකයන් අලසයි කියන එකනේ. එතකොට එතන මට තැනක් තියනව කියලා මම පුද්ගලිකව දන්නවා. අපේ රටේ ප්‍රදේශයක් මේ 2023 දීත් දුෂ්කරයි කියනවා නම් ඒක ඒ ප්‍රදේශයේ දේශපාලඥයන්ගේ දුර්වලතාවයි. රික්තයක් එතන තියනවානේ. වැඩක් කරන්න පුළුවන් කෙනෙකුට සුදුසුම පිට්ටනිය එතනයි. එතන මිනිස්සු හදන්න පුළුවන්, රීසෙට් කරන්න පුළුවන්. අනිත් කරුණ මම කෘෂිකර්මාන්තයට පුදුම විදිහට ඇලුම් කරන කෙනෙක්. කෘෂිකර්මාන්තය තුළින් රට සශ්‍රීක කරන්න පුළුවන්. අරාබිය මැද්දේ ඊශ්‍රායලය ඉඳගෙන මුළු ලෝකෙටම පලතුරු යවනවා. එක වැවයි ඔවුන්ට තියෙන්නේ. අපිට වැව් කීයක් තියද? තවමත් අපේ කෙසෙල් ගෙඩියක් හරියට පිටරට අරින්න පුළුවන් වෙලා තියනවද? ඒකත් ඩෝල් සමාගමෙන් අරින්නේ. ඒක නිසා ඒ වැඩපිළිවෙළ අපි අම්පාරෙන් හදනවා. ලංකාවේ මුලින්ම ඉර පායන්නේ අම්පාර සංගමන් කන්දටයි. ලංකාවේ පළමුවෙන් නැගිටින ජාතිය ඉන්නෙ අම්පාරෙයි. එනිසා අම්පාර පුබුදුවන්න බැරිනම් වැඩක් නෑ. ඒක නිසයි මම අභියෝගය භාර ගත්තේ. ඒක සාර්ථකව ජයග්‍රහණය කරා ගෙනියන්න මට පුළුවන් කියා මා විශ්වාස කරනවා.

ප්‍රශ්නය – ඔබගේ පක්ෂයත් අනෙකුත් ඇතැම් පක්ෂ වගේ මහ පක්ෂ ගොඩදාන අතකොලුවක් වෙයිද ?

පිළිතුර – ඔබ ඔය කියන මහ පක්ෂ කියන්නේ වැඩි පිරිසක් ඉන්න, පරිනත හෝ ආර්ථික අතින් ශක්තිමත් කියන එකටනෙ. ඔය හැමදේම තිබිලත් ලොකු පක්ෂ බින්දුවට වැටුනනේ. ඒක නිසා ලොකු කියන ඒව අපට ලොකු නෑ. අපිත් ලොකුයි. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ දැනුම පැත්තෙන්, ව්‍යවසායක පැත්තෙන්, ආර්ථික පැත්තෙන් අපි ශක්තිමත් පක්ෂයක්. කාටවත් කඩේ යන්න අපට අවශ්‍ය නැහැ. එනිසා කාගෙවත් න්‍යාය පත්‍රයක්වත්, කාගෙවත් වැඩපිළිවෙළක් වත් අපි ක්‍රියාත්මක කරන්නේ නෑ. අපි කරන්නේ රටේ ජාතික වැඩපිළිවෙළක් විතරයි. ඒකත් එක්ක පොඩි පොඩි වෙනස්කම් කරලා අනුගත වෙන්න අපට පුළුවන්. 225 ඇතුළේ ඉන්නවා උගත්, බුද්ධිමත්, ප්‍රායෝගික දැනුමක් තියන මේ රට ගොඩනගන්න පුළුවන් දේශපාලඥයන්. ඒ අයත් එක්ක වැඩ කරන්න අපි කැමතියි.

සාකච්ඡා කළේ – ප්‍රසාද් වර්ණකුල

advertistmentadvertistment
advertistmentadvertistment