රටේ බලශක්ති අර්බුදයට සූර්ය බලශක්තිය හැර වෙන විකල්පයක් නෑ

646

සූර්ය බලශක්ති විශේෂඥයකු සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා සංගමයේ උපදේශක හා හිටපු සභාපති දක්ෂි ද සිල්වා මහතා ඉකුත්දා INCO කර්මාන්ත ප්‍රදර්ශනය සඳහා මෙරටට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති වත්මන් බලශක්ති අර්බුදය පිළිබඳව කොළඹදී පැවැත්වූ දේශනයක් ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරිණි.

මම කියන්නේ ලංකාවට වැටෙන මේ හිරුඑළිය අපි අපතේ යවන එක ඩොලර් හිඟයකට මුහුණ දී රට ආර්ථික අර්බුදයකට ලක්ව සිටින මේ මොහොතේ අප නතර කළ යුතුයි. දිනපතාම පොළොවට වැටිලා උතුරා දෝරෙ ගලාගෙන අහකට යන සූර්ය ශක්තිය අපි ප්‍රයෝජනයට ගන්නෙ නැත්තෙ ඇයි…? මම එහෙම හිතලයි සූර්ය බල තාක්ෂණය ගැන මුළින්ම හිතුවෙ. මම ඒ ගැන ඉගෙන ගත්ත දැනුමෙන් එක පැත්තකින් රටේ ජනතාව දැනුවත් කරන්නත්, අනිත් පැත්තෙන් ඒ සඳහා ආයෝජනය කරන්නත් මම තීන්දු කළා. මොකද ඇමරිකාවට වෙලා මගේ දෙයක් බලාගෙන ඉන්නවට වඩා මම හැමවෙලාවෙම හිතන්නේ ලංකාව ගැන. මම මගේ රටට දෙයක් කරන්න ඕන කියල මම කල්පනා කළා. ඒ අනුවයි සූර්ය බල ශක්තිය රටේ නංවන්නට එක පැත්තකින් ආයෝජනය කරන්නත් මම තීන්දු කළේ. මොකද ඒ යටතේ ඉතා හොඳ සූර්ය බල තාක්ෂණය අපේ රටට ගෙනෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් අපි ආයෝජනය කරන්නේ පිටරට සල්ලි. එතකොට විදේශ විනිමය, එහෙමත් නැතිනම් රටට ඩොලර් ලැබෙනවා. අනිත් පැත්තෙන් පුනර්ජනනීය බල ශක්තිය නිපදවන නිසා සහ එම බලශක්තිය පරිභෝජනය කරන නිසා පරිසර දූෂණය රටේ අවම වෙනවා. දේශගුණික විපර්යාසයන්ට සහ ගෝලීය උණුසුම වැඩි කරන්න අපි දායක වෙන්නෙ නෑ. අපි හරිත රටක් ගොඩනගන පරිසර ලෝලීන් පිරිසක් බවට පත්වෙනවා.

රටේ බලශක්ති අර්බුදයට සූර්ය බලශක්තිය හැර වෙන විකල්පයක් නෑ

ප්‍රවීණ සූර්ය බලශක්ති විශේෂඥ, ඇමරිකාවේ ශ්‍රී ලංකා සංගමයේ උපදේශක
හිටපු සභාපති දක්ෂි ද සිල්වා

ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සංගමයේ (Sri Lankan Association of Washington DC) සභාපතිවරයා හැටියට මම 2008 සිට 2010 දක්වා කටයුතු කළා. අනතුරුව වසර 8 ක් සංගමයේ නිලවරණ භාර නිලධාරියා (කමිෂනර්) ලෙස කටයුතු කළා. ඒ කාලයේ රටේ පැවති යුද්ධය ජයගන්න හා ඊට පහසුකම් ලබා දෙන්න වගේම රටට සාමය ගෙන එන්න අපගේ සංවිධානය උපරිමයෙන් කටයුතු කළා. සුනාමි ව්‍යසනයේදී ශ්‍රී ලංකාවට ආධාර ලබාදී අසරණ වූ ජනතාවට උදව් උපකාර කළා. ඒ වෙලාවෙ අපි ඩොලර් මිලියනයක් එකතු කරල ලංකාවේ පුනරුත්ථාපනය සහ නැවත ගොඩනැගීම කරන ව්‍යාපෘතිවලට ඇවිත් අපි කටයතු කළා. ඒ වගේම දෙරට අතර සංස්කෘතික දියුණුවට හා හුවමාරුවට සංගමය නිබඳවම කටයුතු කළා. අදටත් කරනවා. ලංකාවේ සංස්කෘතික උත්සව සියල්ලක්ම අපි ඇමරිකාවේදී සමරනවා. අදටත් මම සංවිධානයේ අනුශාසක විදියට කටයුතු කරනවා.

මම කොළඹ උපන් අයෙක්. දැන් ජීවත් වෙන්නෙ ඇමරිකාවෙ. පාසල් ගියේ ශාන්ත පීතර විද්‍යාලයට. පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා මම මේ පාසලේ අධ්‍යාපනය හැදෑරුවා. ඊට පස්සේ මම කොළඹ ප්‍රධාන පෙළේ සමාගමක වසර 2 ක් විතර සේවය කළා, පුහුණු වන්නෙක් හැටියට. පසුව තවත් ආයතනයකට ගියා. ඔහොම ඉන්නකොට මට උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාවට යන්න අවස්ථාවක් ආවා.

රටේ බලශක්ති අර්බුදයට සූර්ය බලශක්තිය හැර වෙන විකල්පයක් නෑ

ඉහළ අධ්‍යාපනය සඳහා මම 1988 වසරේදී ඇමරිකාවට පිටත්ව ගියා. මම ඉගෙන ගත්තෙ ගිණුම් අංශයෙන්. 1995 දී ඇමරිකාවේදී අධ්‍යාපනය හමාර කරල මම එරට පළමු රස්සාවට ගියා. ඒ “යූ. එස්. නිව්ස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝර්ට්” කියන ලෝකයේ ප්‍රකට මාධ්‍ය ආයතනයේ ගිණුම්කරණ සහායකයෙක් විදිහට. මෙහි වසර 3 ක් පමණ සේවය කරල, ඉන්පසු මම සම්බන්ධ වුණා “ඇමරිකා ඔන්ලයින්” කියන ප්‍රකට තොරතුරු තාක්ෂණ සමාගමට. මේ සමාගම තමයි ලෝකයේ ප්‍රථමවරට ව්‍යාපාරික මට්ටමින් ලෝකයට අන්තර්ජාලය, නොහොත් ඉන්ටර්නෙට් හඳුන්වා දුන්නෙ. මේ සමාගම ලෝක මට්ටමේ සමාගමක්. වසරක ආදායම ඩොලර් බිලියන තුනක් විතර වෙනවා. එහි මම අන්තර්ජාල ක්‍රියාකරුවකු ලෙස සේවය කළා විතරක් නෙමෙයි, මේ සුවිසල් ආයතනයේ “බැක් ඔෆිස් ඔපරේෂන්” සම්පූර්ණයෙන්ම පාලනය කළෙත් මම. ශ්‍රී ලාංකිකයකු ලෙස ඒ ගැන මම ආඩම්බර වෙනවා. එතන මම වසර 18 ක් වැඩ කළා. 2016 දී එතැනින් මම අයින් වුණා. නමුත් එතැනින් තමයි, අන්තර්ජාලය වැනි දේ ගැන මට ඉතා හොඳ පළපුරුද්දක් ලැබුණේ.

සේවයෙන් ඉවත් වුණු මම ඊට පස්සෙ පටන් ගත්තෙ මගේම කන්සල්ටන් (උපදේශන සේවා) ජොබ් එකක්. ඒ කියන්නේ ආයතනයක වියදම් අඩුකරල, වැඩි ආදායම් උපයන්නේ කොහොමද කියල සහ බලශක්තිය ඇතුළුව වැඩි කාර්යක්ෂමතාවකින් යුතුව, පරිසර හිතකාමීව, තිරසරව කොහොමද ආයතන පවත්වාගෙන යන්නෙ කියල සමාගම් සඳහා උපදේශන සේවා සපයනවා. දැනටමත් මගේ සේවය ඇමරිකාවෙ සමාගම්, ආයතන රැසක් ලබාගන්නවා.

කොහොම වුණත්, ඉහත කී මාධ්‍ය ආයතනයේ වැඩ කරන කොට මම බලශක්ති කාර්යක්ෂමතාව සහ සූර්ය බලශක්තිය ගැන ඉතා උනන්දුවෙන් කටයුතු කළා. අන්තර්ජාලයේ ඒ පිළිබඳව තොරතුරු ගවේෂණය කළා විතරක් නෙමෙයි, ඒ පිළිබඳව ඉහලින්ම අධ්‍යයනය කළා. මේ සඳහා තවත් ඉවහල් වුණු සිද්ධියක් තිබෙනවා. මම හැකි සෑම අවස්ථාවකදීම ලංකාවට ආවා, ගියා. කොහොමත් මම ලංකාව අමතක කළේ නැහැ. ඒ ආපු එක කාලෙක දෙදාස් ගණන්වල ලංකාවේ නිතරම ලයිට් කපන්න පටන් ගත්තා. එක පැත්තකින් රස්නෙ. තව පැත්තකින් අඳුරේ, ලයිට් නෑ. ලංකාව ගැන කලකිරුණා ඒ දවස්වල. අදත් ඒ අවදානම රටට ඇවිල්ල තියනවානේ.

කොහොම නමුත් ඒ දවස්වල මම හොයල බැලුවා මොකද්ද මේ ලයිට් කපන්න හේතුව කියල. මේකට විසඳුම් මොකද්ද කියල මම හොයල බැලුවා. නියඟය, වනාන්තර විනාශය හින්ද ජලාශවල ජල මට්ටම් පහළ බැහැල ජල විදුලිය නිපදවන්න බැරි තත්ත්වයක තමා තිබුණේ. ඒ කාලෙ විදුලිය නිපදවන්න වෙන ගැලපෙන විකල්පයක් තිබුණේ නෑ, පොසිල ඉන්ධන දහන

බාලාගාර අතලොස්සක් හැරෙන්නට. මේකට විසඳුම සූර්ය බල ශක්තිය භාවිතයට ගැනීම කියන එක මම ඒ කාලෙම තේරුම් ගත්තා. නමුත් ඒ කාලයේ සූර්ය පැනල, බැටරි හරි ගණන්. ඒ නිසා සූර්ය බලශක්තිය සල්ලි තියන අයගේ සුඛෝපභෝගී පරිභෝජනයක් බවට පත්වෙලා තිබුණේ. ඒ කියන්නේ තාක්ෂණය තිබුණා. නමුත් ගාන වැඩියි. ඒ නිසා ලංකාවට සූර්ය බල තාක්ෂණය යොදාගන්න එක ප්‍රායෝගික නැති වුණා. මේ ගැන මගේ ලොකු කනස්සලක් තිබුණා.

නමුත් චීනය මේ වෙළෙඳපොළට ආවට පස්සෙ සූර්ය බල උපාංග ඉතා ලාභ වුණා. ඒ කියන්නේ සූර්ය බලශක්තිය ලාභ දෙයක් බවට පත් වුණා. 2010-2012 කාලයේදී ලංකාවට ආවහම මම තේරුම් ගත්තෙ සූර්ය බලශක්තිය තමයි රට ගොඩගන්න තියන එකම ප්‍රධාන හරිත බලශක්ති ප්‍රභවය කියල.

කොහොමත් ශ්‍රී ලංකා රජය 2014-15 කාලයේ වැඩි උනන්දුවකින් සූර්ය බලශක්තිය ගොඩනගන්න කටයුතු කරනවා මම දැක්කා. ඉතිං කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණු ලොකු බලාපොරොත්තුවක් ඉටුකරමින් 2016 දී මමත් සූර්ය බලශක්ති ක්ෂේත්‍රයට මගේ දැනුම භාවිතයට ගෙන ප්‍රවිෂ්ඨ වුණා. මොකද ඒ වෙනකොට මම ඇමරිකාවේදී ඒ ගැන හොඳින් අධ්‍යයනය කරල මට ඒ ගැන හොඳ දැනුමක්, අවබෝධයක් තිබුණා.

ඒ වගේම මම ඇමරිකාවේදී ඉගෙන ගත්තෙත්, මුළින්ම රැකියාව ලෙස කළෙත් ගණකාධිකරණය නිසා මම දැක්කා ඇමරිකාවේ ආර්ථිකය ගොඩනගන්න ඔවුන් ගන්නා උත්සාහය සහ උපක්‍රම. ඔවුන් බලශක්තිය වෙනුවෙන් පිට රටවල් මත යැපෙන්නේ නෑ. තෙල් භාවිත කළත් ඒ සඳහා තෙල් සංචිත ඕනෑ තරම් තියාගෙන ඉන්නවා. නමුත් බලන්න අපේ බලශක්තිය සියයට හැටක්-හැත්තෑවක් විතර රඳා පවතින්නේ තනිකරම පිට රට මත. තෙල් ආනයනයට ඉතා විශාල මුදලක් පිටරටට දෙනවා. ඩීසල්, පැට්‍රල් වගේ දේවල් කොහොමත් ගෙනෙන්න ඕන රථ වාහන දුවවන්න ඒක ඇත්ත. නමුත් ඇයි අපි මෙතරම් හිරු පායන රටක් වෙලත් විදුලි නිපදවීම තෙල්වලට භාර දෙන්නෙ. ඒ ගැන මට නම් තියෙන්නෙ විශාල කනගාටුවක්. අපේ ජාතික ධනය මේ වගේ දේවල් වලට නැති කරගන්න අවශ්‍ය නෑ. අපි වහාම විකල්ප විදුලි නිෂ්පාදනවලට යා යුතුයි. අපට තියන ප්‍රධාන විකල්පය, ප්‍රධාන විදුලි ප්‍රභවය සූර්යයාම තමයි. අපි ඒකෙන් ප්‍රයෝජන ගත යුතුමයි. එතකොට ආර්ථික අර්බුදයටත් ඒකෙන් විසඳුම් ලැබෙනවා. අද සූර්ය බලශක්තිය භාවිතයට ගැනීම පහසුයි. ලාභයි. මොකද අපේ නිවසේ, කාර්යාලයේ, කර්මාන්තශාලාවේ වහලය පහසුවෙන් සූර්ය වහලයක් බවට පත් කරල, විදුලිය නිපදවල ආණ්ඩුවට මුදලට විකුණන්නත් අද අවස්ථාව ලැබිල තියනවා.

ශ්‍රී ලංකාවේ සූර්ය පද්ධති, බලාගාර හදන්න උපකරණ ගේන්න, සේවා සපයන්න ආයතන දෙකක් (ADS සහ DS කැපිටල් රිසෝසස්) මමත් ලංකාවේ ආරම්භ කරලා තියනවා. පාදුක්ක ප්‍රදේශයේ මෙගාවොට් එකක බලාගාරයක් මම (සොලාර් ෆාර්ම්) හදලත් තියනවා. ඕන කෙනෙකුට බලන්න පුළුවන්. පිටරට සල්ලි ගෙනල්ල මම ආයෝජනය කරලා අනර්ඝ තාක්ෂණය ගෙනල්ල ක්‍රියාවෙන්ම ඒ බව ඔප්පු කරලා තියනවා. හොඳම තාක්ෂණික උපකරණ (ඉන්වටර් සහ පැනල්) ලංකාවට ගෙනල්ල තියනවා. මෙවර ලංකාවට මම ආවෙත් පසුගියදා පැවති INCO කර්මාන්තක ප්‍රදර්ශනයට සහභාගි වන්න. ඒ වගේම මගේ ආයතනය රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය (GMOA) ත් එක්ක ගිවිසුමකට පැමිණ වෛiවරුන්ගේ සූර්ය බල අවශ්‍යතා සපයන්න, සත්‍ය තාක්‍ෂණික දැනුම හා උපකරණ ලබාදෙන්න එකඟතාවකට පැමිණියා. ඒ වගේම යාපනය අර්ධද්වීපයේ සූර්ය බල අවශ්‍යතා සපුරාලීමට අපි මෑතකදී එහි ව්‍යාපාරික සමුළුවක් කැඳෙව්වා. මොකද හැමදාමත් මගේ රට යම් අර්බුදයකට පත්වුණු අවස්ථාවල ශ්‍රී ලාංකිකයකු ලෙස රට දිහා බලල කටයුතු කළ කෙනෙක්.

සකස් කළේ – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment