රටේ හොඳම ආයතන 10 අතර ටෙලිකොම් සමූහය ඉන්නවා

146

SLT-MOBITEL සමූහයේ සභාපති සහ ප්‍රකට ව්‍යාපාරික රොහාන් ප්‍රනාන්දු

අපේ වාර්ෂික ප්‍රගතිය 20% කට වැඩියි

ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT-MOBITEL) යනු ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) විසඳුම් සම්පාදක වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බ්‍රෝඩ්බෑන්ඩ් සහ යටිතල පහසුකම් සේවා සම්පාදක ද වේ. වසර 163කට වැඩි කාලයක් මෙම සමාගම ස්ථාවර, ජංගම සහ අනෙකුත් මෙහෙයුම් අංශවල ක්‍රියාත්මක වන සම්බන්ධතාවයන් සඳහා ජාතික අවශ්‍යතාවයට අනුකූලව සේවා සැපයීම් සිදු කරයි. SLT-MOBITEL සිය අධිවේගී Fibre, තඹ සහ රැහැන් රහිත ප්‍රවේශ ජාලයන් හරහා දිවයින පුරා සිටින මිලියන නවයකට අධික පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා ඉටු කරන අතර නවීන තාක්ෂණික පරිවර්තනයන්ට සමාගම ඩිජිටල් සේවා සපයන්නෙකු බවට පරිවර්තනය වීම මගින් විදුලි සංදේශ සේවාවලින් ඔබ්බට ගමන් කරමින්, ඩිජිටල් ජීවන රටාවකට ගැලපෙන විවිධ සේවාවන් සහ විසඳුම් සැපයීම් සිදු කරමින් පවතී. ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් පද්ධති හරහා ශ්‍රී ලංකාව ලෝකයට සම්බන්ධ කරමින් SLT-MOBITEL ප්‍රධාන ගෝලීය සබඳතා සපයන්නෙකු ලෙස ස්ථානගත වී ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයෙක් වශයෙන් රටක ආර්ථිකය සවිමත් කරමින් සාම්ප්‍රදායික ජීවනෝපාය මාර්ග අභිබවමින් නොනවතින ගමනක යෑම සඳහා ව්‍යවසායකයකු විසින් කළ යුතු කර්තව්‍ය සුවිශාල ය. එක් පුද්ගලයෙකුට සිදු කළ නොහැකි කාර්යයභාර්යක් තුළින් විශ්වය ජය ගැනීමට ව්‍යවසායකයා ස්වකීය දැනුම සහ අත්දැකීම් මනාව උපයෝගී කරගත යුතුව තිබේ. ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන්ගේ භූමිකාව කෙසේ විය යුතු ද? මේ කතාබහ SLT-MOBITEL සමූහයේ සභාපති සහ ප්‍රකට ව්‍යාපාරිකයකු වන රොහාන් ප්‍රනාන්දු මහතා සමඟයි.

මුලින්ම ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

මම නමින් රොහාන් ප්‍රනාන්දු. ලු‍ණුවිල මධ්‍යමහා විද්‍යාලයෙන් සහ ගුරුතලාව ශාන්ත තෝමස් පාසල්වලින් තමයි මම මූලික අධ්‍යාපනය ලැබුවේ. පසුකාලයේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මම උසස් අධ්‍යාපනය හැදෑරුවා. ඒ කාලයේ වැඩිපුර දියුණු තාක්ෂණික සමාජයක් තිබුණේ නැහැ. අපට තිබුණු මුලික ගැටලු‍ව වුවේ රැකියාවක් කරගන්න පුළුවන් වෙයිද කියන ගැටලු‍ව. මොකද එම කාල සීමාව භීෂණ සමයයි. හැත්තෑව දශකය. සල්ලි තියන අය පිටරට ගිහින් ඉගෙන ගත්තා.

මම එවකට පාසලේ ශිෂ්‍ය නායකයෙක්. ශිෂ්‍ය නායකයන්ට ඒ දිනවල රැකියාවලට අයදුම් කරන්න අයදුම්පත්‍ර ආවා. මමත් රැකියාවලට ඉල්ලු‍ම් කළා. මගේ මුල්ම පඩිය වුණේ රුපියක් 360. පසුව ලෝකයේ ලොකුම තේ සමාගමක් වන බෘක්බොත් සමාගමට අනුයුක්තව රැකියාව කිරීමට අවස්ථාවක් ලැබුණා. එහි ලන්ඩන් ශාඛාවේ අවුරුද්දක් සේවය කළා. පසුව නෙදර්ලන්තයේ සමාගමක් සමග 1990දී HVA Lanka සමාගම ස්ථාපිත කළ පසු එහි සභාපති ලෙස කටයුතු කළා.

ඔබ ආ ගමන්මග ගැන කතා කළොත්?

මමත් මගේ ගමන ආරම්භ කළේ බාධක රාශියක් මැද. ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක රැදී සිටීමේ ශක්තිය තිබෙනවා නම් අපට ඕනෑම දෙයකින් ගොඩඑන්න පුළුවන්.

විශේෂයෙන්ම ආයතනයක සභාපතිතුමා ළඟට පැමිණෙන්න බොහෝ දෙනෙක් බියක් දක්වනවා. මොකද බොහෝ ආයතනවල සභාපතිවරයා සතු අදහස් පමණයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම අවස්ථාවක අලු‍ත් අදහස් මතු වෙන්නේ අඩුවෙන්.

නමුත් මම කවදාකවත් අනෙක් නිලධාරීන්ගේ අදහස්වලට විරුද්ධ වෙන්නේ නැහැ. ව්‍යාපාරයක් පවත්වාගෙනයාමේ දී පාරිභෝගිකයන්ට අවංක විය යුතුයි. එවිට තමයි පාරිභෝගිකයන් එම ව්‍යාපාරය තුළ රැදෙන්නේ. මගේ ව්‍යාපාර ජීවිතයේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමඟ ගෙවුණු අවුරුදු තුන ඒ කියන්නේ පසුගිය වසර තුන සතුටුම අවුරුදු තුනක්.

ඔබ SLT-MOBITEL සමූහයේ ප්‍රධානියා ලෙස පත් වූ පසු අභියෝග රාශියකට මුහුණ දුන්නා. උදාහරණයක් ලෙස කොවිඩ් වසංගතය සහ අරගල සමය පෙන්වන්නට පුළුවන්. එවැනි කාලයක ආයතනයේ දියුණුව වෙනුවෙන් ඔබ අනුගමනය කළ ක්‍රියාමාර්ග ගැන කතා කළොත්?

ඇත්තටම අපට හිටියා ශක්තිමත් කාර්යශූරල ධෛර්යමත් අධ්‍යක්‍ෂ මණ්ඩලයක්. බොහෝ දේවල් අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ කතාබහ කර තීරණ ගැනීම පහසු වුණා. අප සාමුහික කළමනාකරණය හරහා ඉතාමත් නිවැරදි තීරණ ගෙන කොවිඩ් සමය ආරක්ෂාකාරී සහ පලදායි ලෙස ගත කළා. මෙය හුඟක් සංකීර්ණ ආයතනයක්. මෙහි ඉතාමත් දක්ෂ වෘත්තිමය ඉංජිනේරුවන් හයසීයක් පමණ සිටිනවා. ආයතන සමූහයේ දහදාහකට ආසන්න සේවක සමූහයක් වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම වෘත්තීය සමිති 24ක් පමණ මෙහි තිබෙනවා.

මම SLT-MOBITEL වෙත පැමිණියේ මූලධර්ම හතරක් රැගෙන බව මෙහි පැමිණි පළමු දිනම මෙහි සැම දෙනෙකුටම පැවසුවා. එය ඔවුන් අදත් පිළිගන්නවා. එයින් එකක් නම් දූෂණය සම්පුර්ණයෙන් නතර කළ යුතුයි යන්නයි.

අනෙක් කරුණ නම් කාර්යක්ෂමතාව දියුණු කර නාස්තිය අවම කළ යුතුයි යන්නයි. අවසාන කාරණය වන්නේ සාමූහික කළමනාකරණයයි.

සතුටු දායක කරුණනම් අප ආයතනය දැන් වන විට ලංකාවේ හොදම ආයතන 10 අතරට ශ්‍රේණි ගත වී තිබීමයි. ඒ වගේම මේ ආයතනයේ සිටින සියලු‍ම ඉංජිනේරුවරු වෙනසට කැමති අය. 2020 කොවිඩ් වසංගතය පැමිණි වෙලාවේ සේවකයන් ආරක්ෂා කරගැනීමේ වගකීම අපට තිබුණා. සියලු‍ දෙනා රැකගන්න අප කටයුතු කළා. අප කරන්නේ ජාතික සේවාවක්. මම මේ ආයතනයට පැමිණෙද්දී මෙහි වාර්ෂික ප්‍රගතිය තිබුණේ 3%‍ ක 6% ක වගේ ප්‍රමාණයක. 2020, 2021 වර්ෂය සහ 2022 වර්ෂවල අප එය 13% ක ප්‍රගතියකට ගෙනාවා. 2022 වර්ෂය අපේ ඉලක්කය වුණේ 20% ක්, රටේ තිබුණු අර්බුදය සමඟ අපට එය කිරීමට නොහැකි වුණා. නමුත් අප පසු කාලයක අපේ ඉලක්කයට ළඟා වුණා.

රටෙහි සිටින ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකු ලෙස හෝ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිතුමා ලෙස දැන් රටෙහි තිබෙන ව්‍යාපාරවලට ඔබ ලබාදෙන පණිවිඩය කුමක්ද?

මුළු ලෝකයක්ම ආර්ථික අර්බුදයට ලක්වෙලා අවසන්. ඒ වගේම සැපයුම් ජාල අඩපණ වී තිබෙනවා. වාසනාවකට දැන් ලංකාවට සන්නිවේදනය නැතුවම බැරි දෙයක් වී අවසන්. මාසකට රුපියල් 700 සිට තමාගේ සන්නිවේදනය කරගැනීමේ හැකියාව දැන් ලබා දී තිබෙනවා. රුපියල් 700ක් යනු පාන් ගෙඩි 3ක මිලයි. තේ වීදුරු 5ක මිලයි. මිල නොගිය එකම දේ සන්නිවේදනය පමණයි. අනෙක් සෑම දෙයක්ම ඉහළ යන මේ කාලයේ හැකි තරම් තමාගේ පිරිවැය අවම කරගත යුතුය. සන්නිවේදන තාක්ෂණය හරහා ක්‍රියාත්මක වීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵලයකට සහ කාර්යසාධනයකට යොමුවිය හැකියි.

advertistmentadvertistment
advertistmentadvertistment