රට අගුළුදානවා වෙනුවට සෞඛ්‍යා රක්ෂිතව පවත්වාගෙන යෑම සුදුසුම ක‍්‍රමවේදයයි… ඇමැති ප‍්‍රසන්න රණතුංගගෙන් ජනපතිට ලිපියක්

565

රට අගුළු දැමීමට කටයුතු කරනවා නම් මාසික වේතනයක් නොලැබෙන පිරිසට සහන සැලසීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වැටුපෙන් සියයට 75ක්, රාජ්‍ය හා පෞද්ගලික සේවක වැටුපෙන් සියයට 50ක දායකත්වයක් ලබාදීමට යෝජනා කරන බව සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා ඊයේ(20දා* පැවසීය.

මඳ කලකට රට අගුළුලෑම වෙනුවට රට සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යෑම සුදුසුම ක‍්‍රමවේදය බව සඳහන් කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ බවද ඒ මහතා කීය. එම ලිපියේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ රට වසා දමන්නැයි විපක්ෂය ගෙන යන ප‍්‍රචාරාත්මක වැඩපිළිවෙළට මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන් ද, සම්බන්ධ වෙමින් පවතියි. නිසි අරමුණක් නොමැතිව, අනාගත දැක්මක් නොමැතිව වසංගත තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කරන විපක්ෂය බලා සිටින්නේ වසංගතයට මුවාවී හෝ බලය ලබා ගැනීමටයි. කැඩුණු විසුරුණු විපක්ෂය වසංගත තත්වය හමුවේ සංවේදීව සිටින ජනතාවගේ මනස බලය පෙරලීම දක්වා ක‍්‍රමානුකූලව හැඩගස්වන වැඩපිළිවෙළක් අපූරුවට ක‍්‍රියාත්මක කරමින් සිටියි.

වසංගතය යම්තාක් දුරට පාලනය කරගෙන තිබුනු අවස්ථාවේ විපක්ෂයේ අනුදැනුම ඇතිව උද්ඝෝෂණ පෙළපාලි රැුසක් සංවිධානය කෙරිණි. සීග‍්‍ර පැතිරීමක් ඇති ඩෙල්ටා ප‍්‍රභේදය මෙරටින් වාර්තා වී තිබියදීත් සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් ජන ඒකරාශිවීම් සංවිධානය කළේ ජන ජීවිතවල වටිනාකම නොතකමිනි. මෙවර වසංගත ව්‍යාප්තියට විපක්ෂය සම්පූර්ණයෙන් වගකිව යුතුයි. ලෝකයම වසංගතයකට මුහුණ දී, ඊට නිසි විසඳුමක් නොමැතිව සිටින අවස්ථාවක වගකීම් විරහිතව කටයුතු කරන විපක්ෂය වසංගතය පාලනය කිරීම සඳහා කිසිඳු වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේද නැත.

මා නියෝජනය කරන සංචාරක ක්ෂේත‍්‍රයේ ඇද වැටීම සිදු වන්නේ ඉකුත් යහපාලන රජය සමයේ පාස්කු ප‍්‍රහාරයත් සමගයි. පසුව කොරෝනා වසංගතය සමග සංචාරක ව්‍යාපාරය කිසිදා නොවූ විරූ ලෙස ඇද වැටිණි. සංචාරක හෝටල් හිමිකරුවාගේ සිට මහමග තැඹිලි විකුණන පුද්ගලයා දක්වා ක්‍ෂෙත‍්‍රයට අදාළ සෑම කෙනෙක්ම ජීවත්වීමේ ගැටළු රැුසකට මුහුණ දී සිටී. සංචාරක ක්‍ෂේත‍්‍රයේ ගැටලූවලට එකින් එක විසඳුම් ලබා දෙමින්, සෞඛ්‍යය මාර්ගෝපදේශ අනුව සංචාරක කර්මාන්තය නගාසිටුවීමට ප‍්‍රයත්න දරන අවස්ථාවක රට අගුළු දැමීමට විපක්ෂය ගෙන යන උත්සාහය නිසා රට කබලෙන් ලිපට වැටීමක් සිදුවේ.

රට අගුළු දමන ලෙස යෝජනා කරන වෘත්තීය සමිතිවල අයට රට අගුළු දැමුවත් වැටුප් ලැබෙන නිසා කිසිදු ආර්ථික අපහසුතාවක් ඇති නොවේ. මා ද ඇතුළුව ඔවුන්ට පඩි ගෙවීමට අතිවිශාල මුදලක් වෙන්කිරීමට රජයට සිදුවේ. මේ වැටුප් ගෙවන්නේ ජනතාවගේ බදු මුදලිනි. රට අගුළු දැමූ විට මාසික වැටුපක් නොලැබෙන පවුල් දැඩි අසීරුතාවට ලක්වේ. ඒ ජනතාවගේ බදු මුදලින් වැටුප් ගන්නා අප නිවසට වී කා බී දොරඟුළුලාගෙන සිටින විට ඔවුන්ගේ නිවෙස් වල බතක් නොයිදෙන්නේ නම් රට අගුලා පලක් තිබේද. මෙවැනි අවස්ථාවක රට අගුළු ලන්නේ නම් හෘද සාක්ෂියට එකඟව ජනතා බදු මුදලින් වැටුප් ලැබීමේ හැකියාවක් නැත.

වසංගත තත්වය මදක් සමනය වීමත් සමඟ රට විවෘත කළ හැටියේ ජනතාව පාලනයකින් තොරව හැසිරීම නිසා නැවතත් වසංගත තත්ත්වය ව්‍යාප්ත වේ. මඳ කලකට රට අගුලූ ලෑම වෙනුවට සෞඛ්‍යාරක්ෂිත හැසිරීමකට හුරුවෙමින් රට පවත්වාගෙන යෑම සුදුසුම ක‍්‍රමවේදයයි. ආර්ථික අතින් ශක්තිමත්, සිය රටේ ජනතාවගේ සියලූ වියහියදම් දැරිය හැකි රටවල් කිහිපයක් හැරෙන්නට අනෙක් සෑම රටක්ම දැඩි සංචරණ නීති යටතේ සෞඛ්‍යය උපදෙස් අනුව රට පවත්වාගෙන යයි. යම් කාලයකට රට වසා දැමුවා කියා වසංගතයට නිසි විසඳුමක් ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ තහවුරු කර නැත. මේ මොහොතේ වඩාත් තාර්කික හා විද්‍යාත්මක තීරණයකට ඔබතුමා එළැඹෙන බව මම විශ්වාස කරමි.

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරන සෞඛ්‍යය ආරක්ෂක ඇතුළු අනෙකුත් ක්ෂේත‍්‍ර හඳුනාගෙන ඔවුන්ට විශේෂයෙන් සැලකීමේ හැකියාව ඇත.

එවැනි ක්ෂේත‍්‍ර වල නිලධාරීන් අතහැර රට අගුළුදා තිබෙන කාලසීමාවේදී මා ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වැටුපෙන් 75% ක්, රාජ්‍ය හා පෞද්ගලික සේවකයන්ගේ වැටුපෙන් 50%ක් සුළු කම්කරුවන්ගේ වැටුපෙන් 30%ක් පරිත්‍යාග කරමින් දායකත්වය දැක්වීමට යෝජනා කරමි. එම වැඩපිළිවෙළ සඳහා මගේ දායකත්වය ලබාදීමට මා සූදානම් බවද අවධාරණය කරමි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment