රට අඳුරට පත්වීම  පාලකයින්ට පෙන්වා දුන්නත්  ඒවා වැදිබණ ලෙස  උපහාසයට ලක් කළා – ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැඇත්තෝ

130

අද මුළු රටම අඳුරෙන් අඳුරට යමින් තිබෙන බවත් මෙවැනි තත්ත්වයක් උදාවිය හැකි බව තමා පාලකයින්ට මීට පෙර කිහිප වරක්ම පෙන්වාදී ඇති බවත් ඒ සෑම අවස්ථාවකම වැදි බණ ලෙසට උපහාසයට ලක් කළ බවත් ආදිවාසී නායක වනස්පති විශ්ව කීර්ති ඌරුවරිගේ වන්නිලැඇත්තෝ පැවසූහ.

ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිහිටි සමීති කිහිපයක සාමාජික සාමාජිකාවන් පිරිසක් පසුගියදා වන්නිලෑඇත්තෝ හමුවීමට දඹානට ගිය අවස්ථාවේ ඔවුන් අමතමින් හෙතෙම එසේ සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ආදිවාසී නායකයා මෙසේද පැවසීය.

අපේ රැහේ මිනිසුන් කිසිදිනක බරපතළ රෝගයකට ගොදුරුවන්නේ නැහැ. එයට හේතුව අපි පරිසරය සමග බද්ධවී ජීවත්වීමයි. අපි සතාට ගහකොළට ආදරය කරනවා. කොයිකවුරුත් ඒ විදිහට ජීවත්වෙනවා නම් කිසිවෙකුට මාරාන්තික රෝග හැදෙන්නේ නැහැ. වස විස සහිත ආහාරවලින් හැකිතාක් දුරට දුරස්විය යුතුයි. බොහෝ දෙනා වත්තේ පිටියේ තියෙන ගහේ කොළේ වටිනාකම දන්නේ නැහැ. සමහරු ගහ කොළවල නමවත් ඒවායේ ඇති ඔසු ගුණයවත් හරි හැටි දන්නේ නැහැ.

මෙහිදී වැඩිහිටි පිරිස විසින් බුලත් පුවක් හා රසකැවිලි ඇතුළත් තෑගි පාර්සල් කිහිපයක් ආදිවාසී නායකයා වෙත පිළිගන්වනු ලැබූහ. මෙයින් දැඩි ලෙස සතුටට පත් හෙතෙම පිරිස වෙනුවෙන් පාරම්පරික නැටුමක් ඉදිරිපත් කරන ලෙස රැහේ තරුණයින් කිහිප දෙනෙකුට නියම කළේය.

ගොකරැල්ල – රණවීර මනුකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment