රට අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළපල්ලට ගිහින්

170

‘වෙල්ලස්ස හරි අතට’ සමුළුව අමතමින් හිටපු ජනපති මෛත‍්‍රී කියයි

වර්තමාන නායකයන්ට භාර දෙන විට රට ස්වයංපෝෂිත වී තිබුණා

ජාත්‍යන්තරයේ හොඳ හිත දිනා ගනිමින් ජාත්‍යන්තර සහයෝගිතාවය ලබාගැනීම රට අද වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩගැනීමට ඇති එක විකල්පයක් බවත් ආණ්ඩුව ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් වහ වහා සකස් කළ යුතු බවත් ශී‍්‍රලනිප නායක හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.

‘‘වෙල්ලස්ස හරි අතට’’ යන තේමාවෙන් යුතුව බුත්තලදී පසුගියදා පැවැති ශ‍්‍රීලනිප මොණරාගල දිස්ත‍්‍රික් සමුළුව අමතමින් හිටපු ජනාධිපතිවරයා එසේ පැවසීය. මොණරාගල දිස්ත‍්‍රික් ශ‍්‍රීලනිප නායක ජගත් පුෂ්පකුමාර සහ මොණරාගල දිස්ත‍්‍රික් ශී‍්‍රලනිප ආසන සංවිධායක දේශමාන්‍ය ආචාර්ය වසන්ත ජයවර්ධන මහතා විසින් සංවිධානය කරන ලද එම රැුස්වීම අමතමින් හිටපු ජනාධිපති ශ‍්‍රීලනිප සභාපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තවදුරටත් මෙසේ ද පැවසීය.

1815 අපේ වෙල්ලස්සේ වීරයන් පරදේශක්කාරයන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කර තිබුණත්, අවුරුදු 200කට පසුව ඔවුන් ජාතික විරුවන් ලෙස නම් කිරීමට මම කටයුතු කළා. අපි සටන්කාමී ජනතාවක්. දේශපේ‍්‍රමි ජනතාවක්. අදත් අප ඉදිරියෙන් සටනක් තිබෙනවා. ඒ ආර්ථික යුද්ධයයි. එය අපි ජයගත යුතුයි. අපි රට පිිළිබඳව අද අලූතින් සිතමින් රට දිනන වැඩපිළිවෙළක් අලූතින් සකස් කළ යුතුයි.

රට අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා  ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළපල්ලට ගිහින්

රටට මොකද වෙන්නේ කියලා ජනතාව නිතර විමසනවා. එවැනි අවාසනාවන්ත තත්ත්වයකට අද අප පැමිණ තිබෙනවා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ යුගය මේ රට ගොඩ ගන්න ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙළකින් යුතු වුණා. ගොවි ජනතාව වෙනුවෙන් අණ පනත් හැදුවා. ගොවිජන සේවා මධ්‍යස්ථාන හැදුවා. වී මෝල් අධිකාරිය, සහල් ඒකාධිකාරය නැති කළා. වී අලෙවි මණ්ඩලය හැදුවා. අපි පියෙට් කාර් එක හැදුවා. ආහාරවලින් ස්වයංපෝෂිත වුණා. ආහාර හිඟයක් තිබුණේ නැහැ. රටේ මුළු අවශ්‍යතාවයටම ගොවියා වී නිෂ්පාදනය කළා. එහෙම රටක් තමයි අපිට තිබුණේ.

ඒ වගේම මම මේ රට වර්තමාන නායකයන්ට භාර දෙන විටත් රට ආහාරවලින් ස්වයංපෝෂිත වී තිබුණා. පොහොර ප‍්‍රශ්නය ආණ්ඩුව හදාගත්තු ප‍්‍රශ්නයක්. එය රට ප‍්‍රපාතයට ගෙන ගියා. අද ගෑස්, ඉන්ධන, ඖෂධ ඒ වගේම අහස උසට නගින භාණ්ඩ මිලත් එක්ක ජනතාව කඳුළු සලමින් සිටිනවා. මධ්‍යම පාන්තික ජනතාවත්, ව්‍යාපාරිකයනුත්, ධනේෂ්වරයනුත්, කඳුළු නොසැලූවාට බරපතළ ප‍්‍රශ්නවලට ඔවුන් ද මුහුණදී සිටිනවා. මෑත ඉතිහාසයේ මුහුණ නුදුන් මේ බරපතළ ප‍්‍රශ්න නිසා ජනතාව අද කඳුළු සලමින් සිටිනවා.

අපි දිස්ත‍්‍රික්කයක් ගාණේ ගොස් පක්ෂය ශක්තිමත් කරනවා. හැබැයි එහෙම කරන්නේ හෙට අනිද්දාට බලය ලබා ගැනීමට, ආණ්ඩු පෙරළන්නට, ජාතික ආණ්ඩු හදන්න නොවේ. අපි ඒවාට සම්බන්ධ වන පිරිසක් නොවේ. ඒත් රට කරවපු පක්ෂයක් ලෙස අපට යුතුකමක් තිබෙනවා රට නිවැරදි මඟට ගැනීමට. සිරිමාවෝ මැතිනියගෙන් පසුව මේ රටේ හොඳටම ආණ්ඩු කරවූයේ මම බව අමුතුවෙන් කිව යුතු නැහැ. විදෙස් රටවල් කවුරුත් අපිත් එක්ක ඒ කාලය තුළ අමනාප වුණේ නැහැ. ඒත් මම ජනාධිපති වීමට පෙර රට ගැන ජාත්‍යන්තරයේ තිබුණේ වැරදි මතයක්. මම බලයට පත්වී මුලින්ම සිදු කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ විදෙස් රටවල් අතර අන්‍යොන්‍ය සම්බන්ධතාවය ගොඩනඟා

ගැනීමයි.

රණවිරුවන් විදුලි පුටුවට යවනවා කිව්වා. විදෙස් සංවිධාන තරහ වෙලා තිබුණා. ඒත් මගේ ජනාධිපති ධුරයේ පළමු වසර තුුළ මම ඒ සියල්ලම නිවැරදි කළා. අද රටට ජාත්‍යන්තර සහයෝගය පිළිබඳ ප‍්‍රශ්නයක් තිබෙනවා. ජාත්‍යන්තර සංවිධාන රටකට උදව් කිරීමේදි බලන කාරණා තිබෙනවා. රටේ ආණ්ඩුව කටයුතු කරන හැටි බලනවා. මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැුකෙන අයුරු ඔවුන් බලනවා. ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් අපේ රට දෙස අද හොඳ සිතින් බලන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය අප සමඟ සිටිනවා නම් අනෙක් රටවල් සහ සංවිධාන ද අපට උදව් කරන්න සූදානම්. ඒවාට හේතු තිබෙනවා. මම එදා ඇතිකරපු ස්වාධීන කොමිෂන් සභා අද නැහැ. මම 18 අහෝසි කරලා 19 සංශෝධනය ගෙන ආවා. ඒත් 20 වැනි සංශෝධනය අද බලාත්මක කරලා තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අද වළපල්ලට

ගිහින් තිබෙනවා. අද අපි මුලින්ම කළ යුත්තේ ජාත්‍යන්තරයේ හොඳ හිත දිනා ගැනීමයි. ජාත්‍යන්තරය මට සැලකුවේ මගේ ප‍්‍රතිපත්ති හොඳ නිසා මිසක් මගේ පෙනුමට නොවේ. එම වසර 5 ක කාලය තුළ කිසිදු පුද්ගලයකුට ආණ්ඩුවේ තුවක්කුවක් පත්තු වුණේ නැහැ. මගේ කාලයේත්, ශිෂ්‍ය විරෝධතා තිබුණා. අවුරුදු දෙකක් තිබුණා. ඒත් මම පොලිසියට, හමුදාවට අණ කළා කිසිම අවස්ථාවක තුවක්කුවක් රැුගෙන එම විරෝධතා මඬින්න යන්න එපා කියලා.

අපි සර්ව පාක්ෂික සමුළුවක් තියන්න කිව්වේ අවුරුද්දකට පෙර පටන්. රටේ මිනිස්සු විඳින දුකෙන් බේරා ගැනීමේ අදහසින් තමයි අපි එවැනි යෝජනාවක් කළේ. අද තිබෙන ප‍්‍රශ්නවලින් ජනතාව ගොඩගැනිය හැකි ඕනෑම වැඩපිළිවෙළකට එකඟ වෙන්න ශ‍්‍රීලනිපය සූදානම්. ජනාධිපතිතුමාට 69 ලක්ෂයක් ඡුන්ද ලැබුණා. පාර්ලිමේන්තුවේ 1/3 ක බලයක් තිබෙනවා. ඒත් අද ප‍්‍රශ්න රාශියක් ගොඩගැසී තිබෙනවා. තම පක්ෂය ශක්තිමත් කර ගන්න විවිධ දේශපාලන පක්ෂ විවිධ කතා කියනවා. ඒත් අපි රටේ ප‍්‍රශ්නයට විසඳුම් මොනවද කියලා කියනවා. අපි ඒ සඳහා විද්වතුන් සමඟ වැඩපිළිවෙළක් හදමින් යනවා.

රටේ ජනතාව සමඟ විහිළු කරන වෙලාවක් නොව් අද උදාවී තිබෙන්නේ. ජනතාවට බොරු කියන වෙලාවක් නොවේ මේ උදාවෙලා තිබෙන්නේ. ජනතාවට ඇත්ත කිව යුතුයි. ජනතාවාදී ගමනක් යන්න ශ‍්‍රීලනිපය ප‍්‍රමුඛ සංවිධානයක් හැදීමේ කටයුතු අපි ආරම්භ කර තිබෙනවා. ජනතාවට අද ඉදිරිපත් කළ යුත්තේ දේශපාලන පක්ෂවල බොල් හඬ නොවේ. අපි ජනතාවගේ සැබෑ ප‍්‍රශ්නවලට විසඳුම් සොයමින් සිටිනවා. සන්ධානය හදන්නේ ඒ අරමුණින් බව කිව යුතුයි. තරුණ පරපුර අද රට හැරදා යනවා. හෙට දවස හොඳ දවසක් කිරීමේ වැඩපිළිවෙළක් අපි සකස් කරනවා. ඔබ වෙනුවෙන්, රට වෙනුවෙන් අපේ යුතුකම් ඉටු කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා. රටේ ජනතාවට අද මුහුණපාන්න සිදුවී තිබෙන ප‍්‍රශ්නවලින් අප මුදා ගන්නවා. අපේ මේ රැුස්වීම්වලින් ආණ්ඩුවට හොඳ පණිවිඩයක් යනවා. ජාතික ආහාර සංග‍්‍රාමයක් අද ඇති කළ යුතුයි. ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනඟා ගත යුතුයි. ආණ්ඩුව මේ යෝජනාවලට එකඟවෙනවා නම් රට නිවැරදි මාවතකට ගත හැකියි.

මොණරාගල දිස්ත‍්‍රික් ශ‍්‍රීලනිප නායක හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා,

අපි ඊයේ බදුල්ල හොල්ලලා ආවේ. අද මුළු වෙල්ලස්සම හොල්ලලා තිබෙනවා. ඊළඟට පවත්වන ප‍්‍රාදේශීය සභා මැතිවරණය, පළාත් සභා මැතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය අපි මොණරාගල දිනවලා පෙන්වනවා. අපි මොණරාගල එක මැතිවරණයක්වත් පැරදුණේ නැහැ. නිල්පාටින් වෙල්ලස්ස එදා බැබළුවා වගේ හෙටත් අපි නිල්පාටින් බබළවනවා. අපි අපේ පාලනයක් ගෙන එනවා. ශ‍්‍රීලනිපය සමග පොහොට්ටුව භාරයක් අත්සන් කළා. ඒත් පොහොට්ටුව ඒ භාරය ඔප්පු කළේ නැහැ. ඒකයි අද ෂෙඞ් ළඟ පෝලිම්. අපි දැන් අපේ ආණ්ඩුවක් හැදිය යුතුයි. මෛත‍්‍රිපාල ජනාධිපතිතුමා රට පාලනය කරද්දි ඩොලර් ප‍්‍රශ්න නැහැ, විදුලි පුටු ප‍්‍රශ්න නැහැ. උතුර දකුණ සමඟියෙන් සිටියා. කිසිදු ප‍්‍රශ්නයක් තිබුණේ නැහැ. දෙපයින් නැඟී සිටිය හැකි ආර්ථික වැඩපිළිවෙළක් ශ‍්‍රීලනිපය සතුයි.

ශ‍්‍රීලනිප මොණරාගල ආසන සංවිධායක දේශමාන්‍ය ආචාර්ය වසන්ත ජයවර්ධන මහතා

ශ‍්‍රීලනිපය යනු කිසි දිනෙක ජනතා හදවත්වලින් අකා මකා දැමිය හැකි පක්ෂයක් නොවේ. දේශීය චින්තනය මත

ගොඩනැ`ගුන ශ‍්‍රීලනිපය එදා දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම ආරම්භ කළා. සිරිමාවෝ මැතිනිය ආරම්භ කළ එම ආර්ථික වැඩපිළිවෙළ තිබුණා නම් රට අද මෙවැනි අගාධයකට පත්වෙන්නෙ නැහැ. අද දේශීය සම්පත් කුණුකොල්ලයට විකුණමින් සිටිනවා. ආර්ථික මර්මස්ථාන විකුණමින් සිටිනවා. ඒ නිසා දේශීය දැක්මකින් යුතුව රට ගොඩනැඟිය හැකි එකම පක්ෂය ශ‍්‍රීලනිපය බව මට නිර්භයව කිව හැකියි. ශ‍්‍රීලනිපයේ අවශ්‍යතාව රටේ ගම් දනව් සිසාරා දැනෙමින් පවතිනවා. රටේ ජාතික ප‍්‍රශ්නයට, ආර්ථික ප‍්‍රශ්නයට එකම විසඳුම ශ‍්‍රීලනිපයයි.

දෙපයින් නැගී සිටිය හැකි ආර්ථික වැඩපිළිවෙළක් අප පක්ෂය සතුයි. අද වගාවට අවශ්‍ය පොහොර නැහැ. රසායනික බෙහෙත් නැහැ. ගොවියාගේ අස්වැන්නට මිලක් නැහැ. ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ, ද්‍රව්‍ය මිලට ගන්න මුදල් නැහැ. මුදල් තිබුණත් ගෑස් නැහැ. තෙල් නැහැ. කිරිපිටි නැහැ. කරන්ට් නැහැ. ඉතා දුෂ්කර කාලපරිච්ජේදයක් අපි ගතකරමින් ඉන්නවා. ජනතාව උදේට පෝලිමේ, දවල්ට බඩගින්නේ, ?ට කළුවරේ. ඒත් ජනතාව මීට පෙර නිදහසේ සිටියා. එහෙම පාලනයක් තමයි ජනාධිපති මෛත‍්‍රිපාල මහතා ගෙනගියේ. ජනතාව අද එවැනි පාලනයක් යළි ඉල්ලනවා. එතුමා අපේ පක්ෂයේ උදාර නායකයා ලෙස කටයුතු කිරීම අපට ආඩම්බරයක්.

ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ශ‍්‍රීලනිප උප සභාපති ඇමැති මහින්ද අමරවීර, ශ‍්‍රීලනිප ලේකම් දයාසිරි ජයසේකර, ශ‍්‍රීලනිප ජාතික සංවිධායක ඇමැති දුමින්ද දිසානායක ප‍්‍රමුඛ මැති ඇමැතිවරු ද මෙහිදී අදහස් දැක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment