රට ඉන්න සිසුන්ට විදෙස් විනිමය යවන්න බැංකු පහසුකම් දෙන්න….. මහ බැංකු අධිපතිගෙන් උපදෙස්

398

විදේශවල අධ්‍යාපන කටයුතු සිදු කරන ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ට යැවීමට අවශ්‍ය විදේශ විනිමය බැංකු ක්‍රමයෙන් සපුරාලන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකුවලට උපදෙස් දී ඇතැයි මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ඒ සඳහා අදාළ දෙමව්පියන් ඉල්ලුම් කරන්නේ විශාල මුදල් ප්‍රමාණ නොවන බවත් එම විදේශ විනිමය ලබා ගැනීම සඳහා කළුකඩයට යොමු නොවී බැංකු ක්‍රමයට යොමු වන ලෙස එම විදේශ විනිමය ඉල්ලුම් කරන්නන්ගෙන් තමා ඉල්ලා සිටින බවත් මහ බැංකු අධිපතිවරයා කීවේය.

එම අධ්‍යාපන කටයුතු සඳහා බැංකුවලින් විදේශ විනිමය ලබා දෙන්නේ නැත්නම් වැඩි අගයකට අවිධිමත් වෙළෙඳ පොළෙන් විදේශ මුදල් ලබාගැනීමට එම දෙමව්පියන්ට සිදුවන බවද මහ බැංකු අධිපතිවරයා කීවේය.

මේ නිසා අධ්‍යාපන කටයුතු සඳහා විදේශ විනිමය ලබාගැනීම සඳහා වන ඉතා මානුෂික ඉල්ලීම් රැසක් මහ බැංකුවට ද ඉදිරිපත්ව ඇති බවත් ඒ නිසා එම පොඩි පොඩි විදේශ විනිමය ඉල්ලීම් බැංකුවලින් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් එහිදී යම් විදේශ විනිමය අඩුපාඩුවක් වුවහොත් මහ බැංකුවට මැදිහත් විය හැකි බවත් මහ බැංකු අධිපතිවරයා තවදුරටත් කීවේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේදී පෙරේදා (29 දා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment