රට ඉඳන් ආ කාන්තාවන් 16 කගේ පාස්පෝට් අරන්: හිස් කොළවලට අත්සන් අරගෙන

461

ඕමාන් මිනිස් ජාවාරම : උප නියෝජිතයෝ දෙදෙනෙක්
තැරැව්කරුවෝ දෙදෙනෙක් යළි රිමාන්ඩ් – ආශා දිසානායකගේ ඇප අවලංගුයි

සංචාරක වීසා මත ඕමාන් රාජ්‍යයට යවන ලද ශ්‍රී ලාංකික කාන්තාවන් ලිංගික කටයුතු සහ වෙනත් කටයුතු සඳහා අලෙවි කළ මිනිස් ජාවාරමට සම්බන්ධව චෝදනා එල්ලවී ඇති ප්‍රධාන සැකකරුගේ උප නියෝජිතයන් දෙදෙනකු හා කාන්තාවන් එම ආයතනවලට හඳුන්වා දුන් තැරැව්කරුවන් දෙදෙනකු ලබන 13 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (01 දා) නියෝග කළේය.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 21 වැනිදා ඇපමත මුදාහැර තිබූ විදේශ රැකියා නියෝජිත ආයතනයක භාෂා පරිවර්තකවරියක ලෙස කටයුතු කළේ යැයි කියන ආශා දිසානායක නමැත්තියගේ ඇප නියෝගය අවලංගු කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම සැකකාරිය ද ලබන 13 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කළේය.

එම මිනිස් ජාවාරමේ ප්‍රධාන සැකකරු යැයි කියන මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින මොහොමඩ් රිෂ්මි මොහොමඩ් රිෂ්වාන් නමැත්තා වහාම තම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසටද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කළේය. එම ජාවාරමේ ප්‍රධාන සැකකරු පසුගිය 19 වැනිදා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී බාලක්‍රිෂ්ණන් නමැති උප නියෝජිතයාගේ බිරිඳ වන ප්‍රධාන සැකකරු ඕමානයේ සිට කැඳවාගෙන පැමිණි කාන්තාවන් අතරින් 16 දෙනකුගේ විදේශ ගමන් බලපත්‍ර ඡායා පිටපත් ලබා ගැනීමේ මුවාවෙන් ලබාගෙන ඇති බවත් පසුව එම විදේශ ගමන් බලපත්‍ර ආපසු භාරගත් බවට හිස්කොළ වලට අත්සන් ලබාගෙන ඇති බවත් එදින ශ්‍රී ලංකාවට පැමිණි කාන්තාවන් දෙදෙනකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඇතුළු නීතිඥ මණ්ඩලයක් අධිකරණයට පැවසූහ. එම විදේශ ගමන් බලපත්‍ර ආපසු භාරදීමට නම් රුපියල් ලක්‍ෂ පහ බැගින් මුදල් ලබාදෙන ලෙසට එම කාන්තාවන්ට තර්ජනය කර ඇති බැවින් වින්දිතයන් හා සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ පනත යටතේ නිසි නීතිමය පියවර ගන්නා ලෙසටද ජනාධිපති නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය. එම කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නඩු භාණ්ඩ වන එම විදේශ ගමන් බලපත්‍ර නිසි අවසරයකින් තොරව සන්තකයේ තබාගෙන සිටින එම කාන්තාවන්ගෙන් ප්‍රකාශ සටහන් කර වහාම ඒවා අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ලියාපදිංචි විදේශ රැකියා නියෝජිතයකු වන සිය සේවාදායකයා එම කාන්තාවන් සංචාරක වීසා මත ඕමානයට රැගෙන ගොස් ඇත්තේ විදේශ රැකියා කාර්යාංශයේ නිසි අවසරය මත රක්‍ෂණ ගාස්තු පවා ගෙවීමෙන් අනතුරුව බවත් රටේ පැවති කොරෝනා වසංගත තත්ත්වයෙන් පසුව රජය ගනු ලැබූ වැරදි සහගත තීරණයකට එනම් සංචාරක වීසා මත කාන්තාවන් විදේශ ගත කිරීමේ තීරණයට සිය සේවාදායකයා ඇතුළු විදේශ රැකියා නියෝජිතයන්ට වගකීම පැටවීම නුසුදුසු බවත් ප්‍රධාන සැකකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණයට පැවසීය. ඕමාන් රාජ්‍යයේදී ශ්‍රී ලාංකික කාන්තාවන්ට හිංසා සිදුවන බවට වාර්තා වීමෙන් පසුව ඒ බව විදේශ රැකියා කාර්යාංශයට පැමිණිලි කොට තමන් විදේශ ගතකළ කාන්තාවන් 20 දෙනකු සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්‍ෂ 37ක් වැයකර ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ප්‍රධාන සැකකරු පියවරගත් බවද නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණයට වැඩිදුරටත් පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment