රට ඉල්ලන්නේ ස්ථාවරත්වයක්… ජනතාව ඉල්ලනේ පිළිසරණක්

119

පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග

20 ගෙනාවේ මහින්ද අගමැතිතුමා!

අපි ස්වාධීන වෙනවා…අපි හිටගන්නේ මවුබිම වෙනුවෙන්

ආණ්ඩුවට එරෙහිව සමාජයෙන් පමණක් නොව මේ වනවිට ආණ්ඩුව පාර්ශ්වයෙන්ම විරෝධතාවයන් පැනනැගේ. ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන විවිධ විවේචන ද මතුවේ. ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන පක්‍ෂ නායකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග ද මේ කුලකයට අයත්ය. පහත දැක්වෙන්නේ ඔහු සමග දිවයින ඉරිදා සංග්‍රහය කළ සංවාදයකි.

ප්‍රශ්නය – යුතුකම ජාතික සංවිධානය ඇතුළු පක්‍ෂ 11 ක් මගින්ද රාජපක්‍ෂ මහතා ඉවත් වී බාරකාර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ප්‍රකාශ කරන්නේ ඇයි?

පිළිතුර:- ඒ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ රජය නව ව්‍යවස්ථාව, එක රටට එක නීතියක්, ජාතික ආර්ථිකයක් ගොඩනැඟීම වැනි සෞභාග්‍යය දැක්මේ මූලික ප්‍රතිඥා ඉටු කිරීමට අසමත්ව තිබෙනවා. සෞභාග්‍ය දැක්මේ වූ සැලසුම් සහගත ආකාරයට කාබනික
ගොවිතැනට යොමුවීම වෙනුවට ගත් අමනෝඥ තීරණ නිසා ගොවි ජනතාව අසරණ වී සිටිනවා. ඒ සමඟම අද වනවිට ඖෂධ, ඉන්ධන, ගෑස්, විදුලිය වැනි මූලික අවශ්‍යතා සැපයීමට අසමත් වී තිබෙනවා.

ප්‍රශ්නය – අසාර්ථක වී තිබෙන්නේ මහින්ද අගමැතිතුමා ගේ රජය ද? ගෝඨාභය ජනාධිපතිතුමාගේ රජය ද?

පිළිතුර:-19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ලැබුණේ ජනවරම් දෙකක්. 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අගමැතිතුමාට ස්වාධීනව කටයුතු කිරීමට තිබූ අවකාශය අහිමි වුණා. පාර්ලිමේන්තුවේ ඇතැම් බලතලත් අහිමි වුණා.

20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මහින්ද අගමැතිතුමා!

ප්‍රශ්නය – ඔබත් 20 වන සංශෝධනයට ඡන්දය දුන්නා?

ඔව්, හැබැයි ඊට එරෙහිව ගැසූ කැරැල්ලකට පසුව; 20 නිවැරැදි කරගැනීමට දැරූ දැවැන්ත පරිශ්‍රමයකට පසුව. කොටසක් නිවැරැදි කරගෙන, වසරක් තුළ නව ව්‍යවස්ථාව ගෙනෙන බවට ජනාධිපතිතුමාගෙන්, රජයෙන් ප්‍රතිඥාවක් ලබා ගෙන.

ප්‍රශ්නය – 20 සංශෝධනයේ ඔබ ඉල්ලා සිටි සංශෝධන මොනවා ද?

පිළිතුර:-අපි යුතුකම ජාතික සංවිධානය ලෙස කරුණු 7 ක් ඉල්ලා සිටියා.

කැබිනට් අමාත්‍යවරු උපරිමය 30ක්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු උපරිමය 45ක් වියයුතු බවට වූ සීමාව ඉවත් නොකරන ලෙස,
එයාර් ලංකා වැනි රජයට 50%කට වඩා කොටස් ඇති සමාගම් ආදිය විගණකාධිපතිගේ සුපරික්ෂාවෙන් ඉවත් නොකරන ලෙස,

මැතිවරණයක් ප්‍රකාශ කළ පසු, නව රජය දිවුරුම් දෙන තෙක්, කැබිනට් ඇමැති මණ්ඩලයට අමතර ව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් ද වැඩබලන බවට වූ සංශෝධනය ඉවත් කරගන්නා ලෙස,මේ සංශෝධන 3, අපේ ඉල්ලීම පරිදි ඉවත් කරගත්තා.

ප්‍රශ්නය – ඉටු නොවූ සංශෝධන මොනවා ද?

පිළිතුර:-ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ ඉඩ විවර නොකරන ලෙස,ඉහළ රාජ්‍ය තනතුරු, කොමිෂන් සභා සාමාජිකයන් හා ඉහළ උසාවිවල විනිශ්චයකාර තුමන්ලා පත් කිරීමේදී පාර්ලිමේන්තු මැදිහත්වීම සඳහා පිහිටුවා තිබූ ව්‍යවස්ථාදායක සභාව අහෝසි කර, පාර්ලිමේන්තු කවුන්සිලයක් පිහිටුවන්නේ නම්, ඒ සභාවේ නිරීක්ෂණ වෙනුවට නිර්දේශ ලබාගත යුතු බව, නැතිනම්, අවම වශයෙන් ඒ නිරීක්ෂණ පාර්ලිමේන්තුවේ සභාගත කිරීම මඟින් රට දැනුවත් කරන ලෙස,පුරවැසියන්ට යම් කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කිරීමට ඇති දින 14ක කාලය, දින 7කට අඩු නොකරන ලෙස,හා ජනාධිපතිතුමාට හා පාර්ලිමේන්තුවට ලැබෙන්නේ වෙන වෙනම ජනවරම් නිසා, අමාත්‍යවරුන් පත් කිරීමේ දී හා ඉවත් කිරීමේ දී ජනාධිපතිවරයා විසින් අගමැතිතුමා ගේ එකඟතාව ලබාගත යුතු බවට,මේ යෝජනාවන්ට අනුමැතිය ලැබුණේ නැහැ.

ප්‍රශ්නය – ඒත් ඔබ 20 පක්ෂව ඡන්දය දුන්නා?

ඔව්, වසරක් තුළ සම්පූර්ණයෙන් ම නව ව්‍යවස්ථාවක් ගෙනෙන බවට ජනාධිපතිතුමා ප්‍රතිඥාවක් දුන් පසුව; එහිදී එතුමා පොරොන්දු වූ පරිදි අධිකරණ ඇමැතිතුමා මඟින් 20 වන සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ පිළිතුරු කතාවේ දී ඒ ප්‍රතිඥාව පාර්ලිමේන්තුවට, හා ඒ මඟින් රටට දීමට එකඟවූ පසුව.

ප්‍රශ්නය – ඒ ප්‍රතිඥාව රැක්කා ද?

පිළිතුර:-අලි සබ්රි අධිකරණ ඇමැතිතුමා මඟින් පාර්ලිමේන්තුවේ දීමට පොරොන්දු වූ ප්‍රතිඥාව දුන්නා. එය හැන්සාඩ්ගත තිබෙනවා.

ප්‍රශ්නය ඒ ප්‍රතිඥාව අනුව කටයුතු නොකිරීම යි. වසරක් ගතවීමට පෙර නව ව්‍යවස්ථාව නොගෙන ඒමයි. ද්විත්ව පුරවැසියන් ඇමැති තනතුරුවලට පත් කිරීම යි.

ප්‍රශ්නය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම ප්‍රමාද වූ නිසා ආර්ථික ගැටලු මතුවූ බව ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබෙනවා. පක්‍ෂ 11 කණ්ඩායමේ වැඩි පිරිසක් අයි. එම්. එෆ්. යනවාට විරුද්ධයි. එම නිසා මෙම ප්‍රශ්නයේ දී ඔවුන් සිටිය යුත්තේ ආණ්ඩුව සමග නේද?

පිළිතුර:- ගෝඨාභය ජනාධිපතිතුමාට ලැබුණේ, අපිත් කොටස්කරුවන් වූ රජයට ලැබුණේ ජාතික ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා වූ ජනවරමක්. පසුගිය වසර දෙකේ ඒ සඳහා ස්ථිරසාරව කටයුතු කළා ද? බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමැති වූ පසු සිදුවූයේ කුමක් ද? පසුගිය අය-වැය විවාදයේ දී මුදල් ඇමැතිතුමා රජයේ සේවකයන්ගෙන් ඉල්ලා සිටියා වසරක් යනතෙක් වැටුප් වැඩිවීම් අපේක්ෂා කරන්න එපා කියා. අය-වැය දෙසැ. 10 සම්මත වුණා. දෙසැ. 31ට පෙර සෑම රජයේ සේවකයකුගේම වැටුප රු. 5,000/= කින් වැඩි කළා! කබ්රාල් මහතාව මහබැංකු අධිපති කළා; එතුමා හය මාසික ආර්ථික උපාය මාර්ග සැකසුවා. ඒවා මුදල් අමාත්‍යතුමා අමාත්‍ය මණ්ඩලයටවත් ඉදිරිපත් කළා ද? මෙහෙම අභියෝග ජය ගන්න පුළුවන් ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම ප්‍රශ්නයක් නොවේ; එන්. එම්. පෙරේරා මුදල් ඇමැතිතුමාත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ගනුදෙනු කර තිබෙනවා. ප්‍රශ්නය අපි අපේ දැක්මක් ඇතිව, අපේ අවශ්‍යතා වෙනුවෙන් යනවා ද මුළු ආර්ථිකය ම වට්ටා දාසයන් සේ යනවාද යන්න යි.

ප්‍රශ්නය – දැන් යන්නේ කොහොම ද?

පිළිතුර:-හිඟන්නන්ට උණු බත් කොයින් ද?

ප්‍රශ්නය – මහින්ද රාජපක්‍ෂ වෙනුවට අගමැති ධුරය සඳහා යෝජනා වී සිටින මන්ත්‍රීවරුන් බලය බෙදීමට පක්‍ෂ අය. ඔවුන් අගමැති ධුරයට පත්වුව හොත් යලිත් මෙරට බෙදුම්වාදී ප්‍රශ්නය 1995 ට පෙර යුගය දක්වා යනවා නේද? (මහින්ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා වීඹට පෙර යුගය)

පිළිතුර:- සමාවෙන්න, අගමැතිකමට යෝජනා වී තියෙන්නේ කාවද?

මම දන්නෑ!

දැන් ත්‍රස්තවාදය පරාජය කළ පසු, පළාත් සභා පිහිටුවීමේ පටන් බෙදුම්වාදයට ගෙවූ කප්පන් නිවැරැදි කළා ද? ත්‍රස්තවාදය පැරදවූ විගස මහින්ද රාජපක්ෂ රජයට විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවුණා. ඊට පසුව? දැන් මේ ගෝඨාභය රජය පත් වුණේ ඒ සඳහා විශාල ජනවරමක් සමඟ. කෝ අලුත් ව්‍යවස්ථාව?

මවුබිමේ පැවැත්ම ම අභියෝගයට ලක්වූ මොහොතක එදා දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මඟ පෙන්වීමෙන් ජ.වි.පෙ. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය සමඟ රට වෙනුවෙන් රජයක් පිහිටෙව්වා.

අපි හිතනවා අපිට මවුබිම වෙනුවෙන් නිවැරැදි මැදිහත් වීමක් කළ හැකි යි කියා; අපේ පැතුම එය යි!

ප්‍රශ්නය – පක්‍ෂ 11 කණ්ඩායම ආණ්ඩුවට විරුද්ධව එක්ව කටයුතු කළත් ඔය සංවිධානයට එක ප්‍රතිපත්තියක් වැඩපිළිවෙළක් නැහැ නේද?

පිළිතුර:- අපි 20 වන සංශෝධනය නිවැරැදි කරගන්න ආණ්ඩු පක්ෂය තුළ සටන් කළේ වෙන වෙන ම. හැබැයි නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් රජය සෞභාග්‍යයේ දැක්මට පරිබාහිරව කටයුතු කරන්න යද්දී අපි එකතු වුණා.

ඊට පසුව වරාය නගර පනත, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත, කොරෝනා වසංගතය හමුවේ අවශ්‍ය තීරණ නොගැනීම, නිව්ෆොරස්ට් ගිවිසුම – මේ සියලු අවස්ථාවලදී අපි පොදු මතයක් දරලා තියෙනවා.

ප්‍රශ්නය – පක්‍ෂ 11 කණ්ඩායම ගෙන යන වැඩපිළිවෙළ නිසා මීළඟ මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස බලයට පත්වෙන්න ඉඩ තිබෙනවා. (ඔබලාට ඒ ආරක්‍ෂාව දැන් තිබෙන ආණ්ඩුවට වඩා හොඳයි ද?

පිළිතුර:- දැන් කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් සුදුසු ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනඒමේ උත්සාහයක් දරනවා. පාර්ලිමේන්තුවේ බහුතරයකගේ අදහස ජනාධිපතිතුමාගේ බලතල සීමා කෙරෙන, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ශක්තිමත් කෙරෙන නව 21 සංශෝධනයක් ගෙනා යුතු බව යි.

කනගාටුදායක කරුණක් වන්නේ ජනාධිපති හා අගමැති අතර නිසි තුලනයක් තිබිය යුතු යැයි කියමින් සිටි විපක්ෂ නායකතුමා දැන් විධායක ජනාධිපති තනතුර මුළුමනින්ම අහෝසි කළ යුතුයි කීම යි. ඒ ස්ථාවරය අදත් මා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළා.

අපි පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරනවා. අපි හිටගත්තේ මවුබිම වෙනුවෙන්!

ප්‍රශ්නය – භාරකාර ආණ්ඩුවක් පිහිටු වුවහොත් ඉක්මන් මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවෙනවා. එම මැතිවරණයට ඔබලා තරග කරන්නේ කෙසේද?

පිළිතුර:- මේ අවස්ථාවේ රට ඉල්ලා සිටිනේ ස්ථාවරත්ව ය; ජනතා ඉල්ලා සිටින්නේ පිළිසරණක්! අපේ අරමුණ මවුබිම රැකගැනීම. රටවැසියාට පිහිට වීම.

මේ ඡන්ද පැවැත්විය හැකි මොහොතක් ද? ජනයා පෙළන මූලික ප්‍රශ්නවලට, ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරාගත හැකි පරිසරයක් සකසා ඡන්දයක් පැවැත්වීම වරදක් ද? මේ අර්බුදය රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ශක්තිමත් කිරීමට යොදාගැනීම වරදක් ද?

අපේ මැදිහත්වීම රට වෙනුවෙන්! මහමැතිවරණයක් ආවාම, ඒ මැතිවරණයත් රට වෙනුවෙන් යොදා ගමු!

සාකච්ඡා කළේ –
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment