රට කඩාකප්පල් කිරීමට කිසිදු ඉඩක් දෙන්නේ නෑ

84

අධිකරණ ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ

නව ප්‍රතිත්‍රස්ත පනත ගැන මහ නාහිමියන් දැනුවත් කරන්න අධිකරණ ඇමැති නුවර යයි

රට විවිධාකාරයෙන් කඩාකප්පල් කිරීමට විවිධ පාර්ශ්ව උත්සාහ කරමින් සිටින බැවින් ඒ සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන බව අධිකරණ ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඇතුළු ඉදිරියේදී ගෙන ඒමට නියමිත පනත් කෙටුම්පත් පිළිබඳව සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය දැනුවත් කිරීම සඳහා උන්වහන්සේලා බැහැදැකීමට ඊයේ (21 දා) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදීය.

ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව වැනි රටවල්වල අපේ රටට වඩා ප්‍රබල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් පවතින නමුත් ඇතැම් විදේශීය රටවල් මානව හිමිකම් සුරක්ෂිත කරන ආකාරය හා ත්‍රස්ත විරෝධී පනත් පිළිබඳව අපිට ඉගැන්වීමට කටයුතු කරමින් සිටින බවත්, ලෝකයම පිළිගත් ආකාරයේ පිළිගත් ක්‍රමවේදයන් අනුව නව ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත සකස් කර ඇති බවත් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේය.

නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මගින් වෘත්තීය සමිති අයිතිවාසිකම්, මාධ්‍ය අයිතීන්, අරගල වැනි දේ මර්දනය වන බවට පවසමින් ඇතැම් පිරිස් ජනතාව මුළාවට පත් කරමින් සිටින බවත්, නව පනත් කෙටුම්පත පිළිබඳව විවේචන කරනු ලබන පිරිස් ඇතුළත් විය යුතු සංශෝධන පිළිබඳව යෝජනා ඉදිරිපත් නොකරන බවද අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ මූලික අරමුණ වූයේ ජනතාවගේ ජීවිත දේපළ අයිතිවාසිකම් හා රටේ භෞමික අඛණ්ඩතාවය ස්වෛරීත්වය සුරක්ෂිත කිරීමට වන අතර ඇමෙරිකානු, බි්‍රතාන්‍ය වැනි විදේශීය රටවල්වල සංවිධානාත්මක අපරාධ කිරීම, සමූහ ස්ත්‍රී දුෂණ වැනි ක්‍රියාවන් සඳහා ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලබා දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

නව පනත් කෙටුම්පත පිළිබඳව විවේචන චෝදනා එල්ල කරමින් කටයුතු නොකර සිදුකළ යුතු සංශෝධන පිළිබදව වූ යෝජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින බව සඳහන් කළ අධිකරණ අමාත්‍යවරයා රැඳවුම් නියෝග සම්බන්ධව නියෝජ්‍ය පොලිස්පතිවරයාට හා මහෙස්ත්‍රාත්වරයාට ලබා දී ඇති බලය පිළිබඳව එකග නොවන්නේ නම් එම බලතල ආරක්ෂක අමාත්‍යවරයා සතුවම තැබිය හැකි යැයිද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment