රට ගිනි ගත් කලබලවලින් මරණ 9ක්: 260 ක් රෝහලේ

681

සාමකාමීව පවත්වාගෙන ගිය ගාලුමුවදොර ‘ගෝඨාගෝගම’ සහ අරලියගහ මන්දිරය අසල ‘මයිනා ගෝ ගම’ විරෝධතාවයන්ට මැරවරයින් පිරිසක් පහර දීමේ සිද්ධියෙන් පසු ඇතිවූ උණුසුම් සිද්ධීන් හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, ප්‍රාදේශීය සභා සභාපතිවරයකු, උප පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු 9 දෙනකු මරුමුවට පත් වී තවත් 260 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා කොළඹ ජාතික, කළුබෝවිල ඇතුළු තවත් රෝහල්වලට ඇතුළත් කර තිබේ.

මියගිය අය අතරේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල, ඔහුගේ ආරක්‍ෂක නිලධාරියා, ඉමදුව ප්‍රාදේශීය සභාපති ඒ. වී. සරත් කුමාර මහතාගේ නිවස අසල සිදුවූ ප්‍රහාරයකින් එම සභාපතිවරයා මහජන සාමය කළමනාකරණ කොට්ඨාසයේ උප පොලිස් පරීක්‍ෂක රංගන තුෂාර ප්‍රනාන්දු, කොටුව අරගල භූමියේ ඇති වූ සිද්ධියේදී පහර කෑමට ලක්ව රෝහල්ගත කළ 80 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයකු ද වන බව පොලිසිය පවසයි.

රට ගිනි ගත් කලබලවලින් මරණ 9ක්: 260 ක් රෝහලේ

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ තුවාලකරුවන් ගණන 219 කි. එම පිරිසෙන් පස්දෙනකුගේ තත්ත්වය බරපතළ බව එම රෝහල් ප්‍රකාශිකාවක් ‘දිවයින’ට පැවසුවාය.

රෝහල්ගත කළ පිරිස අතර කාන්තාවන් 10 දෙනකු වන බවද රෝහල්ගත කළ පිරිසෙන් කීපදෙනකුටම ශල්‍යකර්ම සිදුකර ඇතැයි ද ඇය කීවාය.

එසේම පෙරේදා (9 වැනිදා) සවස තුවාලකරුවන් ජාතික රෝහල් හදිසි අනතුරු අංශයට ඇතුළත් කිරීමේදී පිරිසක් රෝහල් පරිශ්‍රයට කඩාවැදී රෝගීන්ට පහර දීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගැනිණි.

එසේම මෙම ගැටුම්වලින් තුවාල ලැබූ තවත් තුවාලකරුවන් 41 දෙනකු කළුබෝවිල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ද තුවාල ලැබූ අය අතරේ කාන්තාවන් දෙදෙනකු ද සිටින බවද එම රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අතර හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට සහය පළ කිරීමට පැමිණ සාමකාමීව නිරායුධව විරෝධතාවයේ යෙදුනු පිරිසට පොලුවලින් පහරදී තුවාල සිදුකර ඔවුන් පැමිණි බස් රථවලින් හා වාහනවලින් පලා යන අතරේ එම රථ 20 කට පමණ ප්‍රකෝප වී සිටි ජනතාව විසින් කොළඹදී හා වෙනත් ප්‍රදේශවලදී පහර දී ගිනිතබා විනාශ කර තිබේ.

මීට අමතරව එම බස්රථවල සිටි පිරිස බලෙන් බස්සවා ඔවුන්ව බේරේ වැවට තල්ලු කර දැමූහ. එම පිරිසට පැය ගණනාවක් බේරේ වැවට වී සිටීමට සිදුවිය.

එසේම බස්රථ හා ප්‍රාඩෝ රථ ඇතුළු වාහන 5ක් පමණ බේරේ වැවට ප්‍රකෝප වූ ජනතාව ඇද දමන ආකාරය දැකගත හැකි විය.

මේ අතර පෙරේදා (10 වැනිදා) රාත්‍රී හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැදමුලන පිහිටි කාල්ටන් නිවස හා කුරුණෑගල පිහිටි නිවස ඇතුළු තවත් මැති ඇමැතිවරුන් 40කට අධික පිරිසකගේ නිවාස, වාහන ඇතුළු දේපළ රැසකට පහරදී විනාශ කර තිබේ.

මෙහිදී හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, ගීතා කුමාරසිංහ, විමල් වීරවංශ, සනත් නිශාන්ත, රෝහිත අබේගුණවර්ධන කනක හේරත්, ශාන්ත බණ්ඩාර, අරුන්දික ප්‍රනාන්දු, කංචන විජේසේකර, ඉන්දික අනුරුද්ධ, නිමල් ලාන්සා, ගාමිණී ලොකුගේ, සිරිපාල ගම්ලත්, තිස්ස කුට්ටිආරච්චි, සම්පත් අතුකෝරල, අලි සබ්රි, සහන් ප්‍රදීප්, අකිල එල්ලාවල, කෝකිලා ගුණවර්ධන, ප්‍රසන්න රණවීර, අශෝක ප්‍රියන්ත, ඩී. බී. හේරත්, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ෂෙහාන් සේමසිංහ, දුමින්ද දිසානායක, මොහාන් පී. ද සිල්වා, චන්දිම වීරක්කොඩි යන මහත්ම මහත්මීන්ගේ නිවාසවලට මෙසේ පහරදී ගිනිතබා විනාශ කර තිබේ.

එමෙන්ම මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇතුළු පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයන්, ප්‍රාදේශීය දේශපාලනඥයන් රැසකගේ නිවාසවලට ද පහරදී ගිනිතබා තිබේ. එසේම මොරටුව නගර සභාවට ද පහරදී විනාශ කර තිබේ.

මැදමුලන පිහිටි ඩී. ඒ. රාජපක්‍ෂ මහතා හා දන්දිනා රාජපක්‍ෂ මහත්මියගේ ස්මාරකවලට ද කිසියම් පිරිසක් පහරදී විනාශ කර ඇත.

ගාලුමුවදොර ගෝඨා ගෝ ගමට සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනා ගෝ ගමට පොදුජන පෙරමුණ විසින් එල්ල කරන ලද අමානුෂික ප්‍රහාරයට විරෝධය පළ කරමින් කෝපාවිෂ්ඨ වූ ජනතාව පෙරේදා (9දා) රාත්‍රි ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමැතිවරුන්ගේ ද මන්ත්‍රීවරුන්ගේ ද ප්‍රාදේශීය සභාපතිවරු ඇතුළු පොදු පෙරමුණේ ආධාරකරුවන් රැසකගේ ද නිවාස ගිනිබත් කරමින් දේපළවලට අලාභහානි කළහ.

හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ගාල්ල කිතුලම්පිටිය නිවසට ගිනිතබා සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති අතර එම නිවසට කිලෝමීටරයක් දුරින් වක්වැල්ල පාරේ පිහිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා මහතාගේ නිවසට ද ගිනිතබා පහරදී අලාභ හානි කර ඇත.

නියෝජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියගේ බෙන්තොට හබුරුගල නිවසට පහරදුන් පිරිසක් එහි තිබූ වාහනයකට ද ගිනිතබා අලාභ හානි කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතාගේ පිටිගල පැලවත්ත පාරේ නිවසට ද චන්දිම වීරක්කොඩි මහතාගේ හපුගල නිවසට ද පහරදී අලාභ හානි කර ඇත.

ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. වී. සරත් කුමාර මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරයකින් පසු අසනීප වූ ඒ මහතා කරාපිටිය රෝහලට ගෙන යන විටත් මියගොස් සිටි අතර ගාල්ල මහෙස්ත්‍රාත්වරිය ඊයේ කරාපිටිය රෝහලට ගොස් ඒ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයක් ද පැවැත්වීය.

ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්ධු, බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් අබේකෝන්, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම, කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණී අමරවංශ, මුණුගොඩ, අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පලාල් කුමාරසිංහ යන මහත්වරුන්ගේ නිවාසවලට ද පහරදී අලාභ හානි කර ඇති අතර අම්බලන්ගොඩ නගරාධිපති අරුණ ප්‍රදීප් මහතාට අයත් බව කියන හෝටලයකට ද ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කැබ් රථයට ද ගිනිතබා ඇත.

හබරාදුව ප්‍රාදේශීය සභාවේ උප සභාපති බන්දුපාල අබේකෝන් මහතාගේ අහංගම මැලියගොඩ සංචාරක නිවස්නයකට පහරදී අලාභ හානි කර ඇත. ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතාගේ සහෝදරයකුට අයත් ගාල්ල බටගන්විල පිහිටි වෙළෙඳ සලකට ද ප්‍රකෝප වූ පිරිස් පහරදී අලාභ හානි කර ඇත.

එයට අමතර ප්‍රකෝප වූ පිරිස් එක්සත් ජාතික පක්‍ෂයේ අක්මීමණ සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාගේ කාර්යාලයට ද පහරදී ඇත.

මේ අතර ඇඳිරිනීතිය ද නොතකා විශාල පිරිසක් ඊයේ ගාල්ල නගරයට රැස්ව විරෝධතාවයක් පැවැත්වූ අතර කරාපිටිය රෝහලේ වෛiවරුන් හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද ඊයේ දහවල් රජයට විරෝධය පළකරමින් උද්ඝෝෂණයක නිරත වූහ. ගාල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට ගෝඨා ගෝ ගම තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

පොලිසිය පැවසුවේ සාමය කඩවීමේ කිසිදු සිදුවීමක් වාර්තා නොවූ අතර ප්‍රදේශයේ ආරක්‍ෂාව තරකර ඇති බවයි.

මේ අතර කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ඉඳුනිල් ජගත් කුමාර මහතාට අයත් අංගොඩ පිහිටි නිවසට ද ජනතාව පහරදී ගිනිතබා විනාශ කර තිබේ.

එසේම පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතාගේ කොටිකාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසට ද පහරදී ගිනිතබා විනාශ කර ඇත.

උප පොලිස් පරීක්‍ෂක රංගන තුෂාර ප්‍රනාන්දු මහතා මියගොස් තිබුණේ අරලියගහ මන්දිරය අසල ඇතිවූ උණුසුම් තත්ත්වය හමුවේදීය.

කඳුළු ගෑස් උන්ඩයකට පිළිස්සීමෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලැබ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගියේය.

මේ අතර නිට්ටඹුව නගරයේදී පෙරේදා (09 වැනිදා) පැවැති මහජන උද්ඝෝෂණය අතරතුර සිදුවූ වෙඩි තැබීම නිසා මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඇතුළු තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වතුපිටිවල රෝහලේදී අධිකරණ වෛi නිලධාරී රමේෂ් අලගියවන්න මහතා විසින් සිදුකරනු ලැබීය.

මෙහිදී මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ මරණය පපුවට වෙඩි වැදීමකින් ද, ඔහුගේ ආරක්‍ෂකයාගේ මරණය මොට ආයුධයක් හිසට වැදීමකින්ද, උද්ඝෝෂකයන් අතර සිටි හිරු අදීෂන් ජයවීරගේ මරණය ගෙල පෙදෙසට වැදුණු වෙඩි පහරකින් ද සිදුවී ඇතැයි පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවේ දැක්වේ.

මියගිය හිරු ජයවීර හාපිටිගම පදිංචි දක්‍ෂ යතුරුපැදි ධාවකයෙකි.

පසුබිම් සේයාරුව – නිශාන් එස්. ප්‍රියන්ත

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා සහ කල්එළිය – චන්ද්‍රවීර වික්‍රමරත්න, අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල් සහ යූ. කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment