රට ගොඩගන්න එන අවුරුද්දේ ආණ්ඩුව ගෙදර යවනවා – මන්ත‍්‍රී නලින් බණ්ඩාර (සජබ)

155

එළැඹෙන 2022 වසරේදී වත්මන් ආණ්ඩුව ගෙදර යවන බවත් රට ගොඩ ගැනීමට ඉන් එහා විසඳුමක් නැතැයි සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

මේ වසර අවසන් වෙන්න තව දින කිහිපයයි තියෙන්නෙ. එය අවසන් වන්නේ භාණ්ඩාගාරයත් අවසන් කරමින්. ඒ විතරක් නෙමෙයි ආණ්ඩුව කෙරෙහි ජනතාවට තිබූ විශ්වාසයත් අවසන්. ආණ්ඩුවේ අයවැය මාසයක් යන්න කලින් කඩ කරලා. සමස්ත ගොවියාගේ ගොවිබිම් විනාශ කරමින් රටේ ජනතාවට බත්පත නැති කරමින් ආර්ථිකයත් නැති කරමින් මේ 2021 අවසන් කරන්නේ.

2022ට අභියෝග ගණනාවක් තියෙනවා. එය මේ ආණ්ඩුවට තව දින කීයක් ද දෙන්නේ කියලා. අපි විපක්ෂයක් විදියට තවත් කල් දෙන්න බැහැ ජනාධිපතිතුමාට, ආණ්ඩුව කල් තියෙනවා කිව්වට තව කල් දෙන්න බැහැ. රටේ ජනතාව ඉන්නේ විශාල පීඩනයකින්. ජනතාව බරපතළ ප‍්‍රශ්න වල මිරිකිලා. රටේ ජනතාවට කන්න හාල්, එළවළු ටික, ඉන්ධන නැහැ. ඩොලර් නැහැ. රට විනාශ කරලා. අපිට සිදුවෙනවා ඉතාම ඉක්මනින් මේ ආණ්ඩුව ගෙදර යවන්න.

රටේ ගොවියාට සිදුවෙනවා උදැල්ල, කැත්ත, ට‍්‍රැක්ටරය වෙනත් උපකරණ අරන් ආණ්ඩුව එක්ක යුද්ධ කරන්න. කාන්තාවන්ට සිදුවෙනවා මෝල් ගහ ගන්න. ඒ තරම් ජනතාව තලාපෙලෙන ආණ්ඩුවක්. මෙවැනි ආණ්ඩුව ඉතිහාසයේ තිබිලා නැහැ.

අපිට වසරකට හාල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ විසි අටක් ඕන. එයින් 65%ක්ම හොයාගන්නේ මහකන්නයෙන්. දැන් තියෙන දත්ත තොරතුරු අනුව අපිට මහ කන්නයේ අස්වැන්න 50% අඩුයි. එහිදී අපිට ලැබෙන්නේ සහල් මෙටි‍්‍රක් ටොන් 9,10,000 (නව ලක්ෂ දහදාහයි) එහිදී ඒ වගේම ප‍්‍රමාණයක් පිටරටින් හාල් ගේන්න සිදුවෙනවා. හාල් කිලෝවක් 80ට ගත්තොත් ආසන්න වශයෙන් ඩොලරය සත 40 වුණොත් හාල් කිලෝ එකකට ඩොලර් මිලියන

364 ක් වියදම් වෙනවා. එම මුදල් මේ ආණ්ඩුවට තියෙනවද? නැහැ. ලබන වසරට රටේ ජනතාවට කන්න හාල් නෑ. කුඹුරු පාළුවට ගිහිල්ලා. පිටරටින් ගේන්න මුදල් නැහැ. ජනතාවට මොනවද ලබන වසරට කන්න දෙන්නේ. මේ ප‍්‍රශ්නයට ආණ්ඩුවේ මොළ හතානෝගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. 2022 තියෙන්නෙ දුර්භික්ෂයක්. ආහාර හිඟයක් ඇති වෙලා කන්න නැතුව මැරෙන වසරක් වේවි.

මහ කන්නය ඉවරයි. යූරියා නැහැ. ගේන්න සල්ලිත් නෑ. ලාහුගල ප‍්‍රදේශයේ රුපියල් 30,000ට යූරියා මිටිය ගත්ත ගොවියෝ අපිට හමු වුණා. මේකට ගෝඨාභය දෙන විසඳුම මොකක්ද? විසඳුම් නැහැ.

වැඩි මිලට පොහොර අරන් ගොවියට වගා කරන්න බෑ. ගොවියා ණයකාරයෙක් වෙනවා. රට විනාශ වෙලා ඉවරයි. වී වගාවට පමණක් නෙවෙයි එළවළු, බඩ ඉරි`ගු සියල්ලටම එහෙමයි. අද බිත්තර, කුකුළු මස් මිල යන්නේ මේ නිසා. අද හැම අංශයක්ම කඩා වැටිලා. උඩරට ගොවියා අනාථයි මෙහෙම කවදාවත් වෙලා නැහැ.

සමස්ත ජනතාවට කියනවා 2022 සූදානම් වෙන්න මේ ආණ්ඩුව ගෙදර යවන්න. ඉන් එහා විසඳුමක් නැහැ. මේක කොවිඞ් නිසා ඇති වෙච්ච තත්ත්වයක් නෙමෙයි. ලෝකේ අනිත් රටවල විදේශ සංචිත වැඩි වෙනවා. උදාහරණ බංග්ලාදේශය, වියට්නාමය, මියන්මාරය.

අද මේ අයට ලෝක බැංකුව, ජයිකා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවලට යන්න බැහැ. මේකෙ ඉන්න හැට පැනපු හොට බිම ඇනුණු මුදල් ඇමැතිලා. ජනාධිපතිලා, අගමැති ලා ඉන්න ආණ්ඩුවකට ණය දෙන්න ඒ ආයතන ඉදිරිපත් වෙන්නේ නැහැ. අන්න එතකොට යනවා ගිනිපොලී කාරයන් ළඟට. එහිදී චීනය 7%ට ඒකෙ ප‍්‍රතිඵල තමයි අපි භුක්ති විඳින්නේ.

ඉන්ධන මිල වැඩි කිරීම හරහා ගොවීන් කම්කරුවන් ප‍්‍රශ්නවලට මුහුණ දීලා. මේ අය හිතාගෙන ඉන්නේ ඉන්ධන මිල බලපාන්නේ කොළඹ හතේ කාර්වල යන අයට විතරයි කියලා. හැම අංශයකටම මෙය බලපාලා. ගොවීන් අහනවා අපි හාන්නේ කොහොමද කියලා. ට‍්‍රැක්ටරයට ඞීසල් ටික ගහ ගන්න විදියක් නැහැ. වතුර මෝටරේට භූමි තෙල් ටික දාගන්න විදියක් නැහැ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment