රට ගොඩගැනීමට ඇති එකම මඟ වන – ඛනිජ තෙල් හා ගෑස් ගොඩගැනීම නව අධිකාරිය සතු වගකීමයි

274

* ඛනිජ තෙල් අධිකාරිය ඇරඹීමේ  සමාරම්භක උළෙලේදී බලශක්ති ඇමැති උදය ගම්මන්පිල කියයි

ණය බරින් මිරිකිලා ඉන්න ශ‍්‍රී ලංකාවේ අනාගතයට ඇති එකම බලාපොරොත්තුව ගෑස් හා තෙල්  ගොඩගැනීම පමණක් බවත් ඒ වගකීම අලූතින් ස්ථාපිත කරන ශ‍්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය ඉටුකරන බව බලශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල මහතා ඊයේ පැවැසීය.

නව අධිකාරිය පිහිටුවීමේ නිල උත්සවය කොළඹ සෙලින්කෝ මන්දිරයේ පැවැති අවස්ථාවේ ඇමැතිවරයා මේ බව කීය.

2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනත මගින් පිහිටුවනු ලැබූ නව අධිකාරිය මගින් උද්ගාමී ඛනිජතෙල් කර්මාන්තය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන්, ප‍්‍රතිපත්ති උපදේශක කමිටුව වෙත නිර්දේශ සිදුකිරීම, 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ විධිවිධාන කි‍්‍රයාත්මක කිරීම, පනතේ විධිවිධාන සලස්වා ඇති ආකාරයෙන් ශ‍්‍රී ලංකාවේ උද්ගාමී ඛනිජ තෙල් කර්මාන්තයට සම්බන්ධ සියලූ නියාමන කර්තව්‍යයන් ඉටුකිරීම සිදුකරනු ලබනු ඇත.

අධිකාරියේ සභාපතිවරයා වශයෙන් ඛනිජ තෙල් කර්මාන්තයේ විශේෂඥයකු වන සාලිය වික‍්‍රමසූරිය මහතා කටයුතු කරන අතර ඛනිජ තෙල් කර්මාන්ත ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීනයකු වන සුරත් ඕවිටිගම මහතා මෙහි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙසින් කටයුතු කරයි.

නීතිඥ ඩබ්ලිව්. ජේ. ෂවින්ද්‍ර ප‍්‍රනාන්දු, ආචාර්ය එන්. පී. විජයානන්ද, ජේ. ආර්. යූ. ද සිල්වා, බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි, ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් දමිත කුමාරසිංහ, සමුද්‍ර පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහ`දපුර යන මහත්ම මහත්මීන් ශ‍්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සෙසු සාමාජික සාමාජිකාවන් වේ. මීට අමතරව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ ඔහුගේ නියෝජිතයෙක්ද අධ්‍යක්‍ෂ මණ්ඩලයට ඇතුලත්වීමට නියමිතය.

බලශක්ති අමාත්‍යවරයා එහිදී මෙසේද කීය.

විශේෂයෙන්ම අපි දැක්ක දෙයක් තමයි බොහෝ බලාපොරොත්තු තියාගෙන තෙල් සොයාගත් අපි‍්‍රකානු සහ ලතින් ඇමෙරිකානු රටවල්වල තෙල් සම්පත ලැබුණත් ගෑස් සම්පත ලැබුණත් හැබැයි ධනවත් වුණේ රට නෙවෙයි දේශපාලකයන් සහ නිලධාරීන් පමණයි. ඒ අපි‍්‍රකාවට සහ ලතින් ඇමෙරිකාවට අත්වුණු ඉරණම ශ‍්‍රී ලංකාවට අත් නොවෙන්න නම් අපි මේ ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවා අමාත්‍යවරයා සතුව තිබුණු නියාමන බලතල මේ අධිකාරියට භාර දුන්නේ මේ තුළින් වෘත්තීය මට්ටමින් ස්වාධීනත්වයකින් මේ නියාමන කටයුතු සිදුකරලා එක් එක් තනි පුද්ගලයන් ධනවතුන් වෙනවා වෙනුවට ශ‍්‍රී ලංකාව ධනවත් රටක් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරගන්න. මේ ආයතන අධ්‍යක්‍ෂවරු පත් කිරීම සම්බන්ධයෙන් තියෙන කි‍්‍රයාපටිපාටිය ශ‍්‍රී ලංකාවට නැවුම් අත්දැකීමක් සුවිශේෂී ක‍්‍රමවේදයක් අපි අනුගමනය කරලා තියෙනවා.

ශ‍්‍රී ලංකාවේ ගෑස් සහ තෙල් ගොඩ ගැනීමට බාධාවන් බවට පත්වෙලා තිබුණු බාධාවන් ගණනාවක් පසුගිය වසරක් පුරා අපි ඉවත් කළා. අපි වෘත්තීය මට්ටමේ නිලධාරීන්ව ආයතනයට හඳුන්වා දුන්නා. දෙවනුව අපි ගෑස් ප‍්‍රතිපත්තියක් හඳුන්වා දුන්නා. දැවැන්ත බිම් කැබලි විස්සකට තිබුණු භූමිය අපි කුඩා බිම් කැබලි අටසිය හැත්තෑ තුනකට පරිවර්තනය කළා. ඒ වගේම අවශ්‍ය නියාමන පසුබිම කරන්න අවශ්‍ය පනත සම්මත කළා. අද දිනයේ අපි අධිකාරිය පිහිටුවලා අධ්‍යක්‍ෂ මණ්ඩලය පත්කළා.

දැන් තියෙන්නෙ ඉතිං ගෑස් සහ තෙල් ගොඩ ගැනීම පමණයි. ඒ වගකීම මේ අධිකාරියට භාරයි. මෙතනදී අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසය වන විට දැනට ගෑස් නිධි නිශ්චිතවම හ`දුනාගෙන තිබෙන ඵ2 කැබැල්ල ප‍්‍රසිද්ධ වෙන්දේසියක් කරලා සුදුසු ආයෝජකයෙක් ඒ සඳහා සොයා ගැනීමට. එය 2022 මාර්තු මාසය වන විට ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊට අදාළ මූලික කටයුතු මේ දිනවල සිදුකරමින් පවතිනවා. ඒ වගේම අනෙකුත් බිම් කොටස් සම්බන්ධයෙන් අපි දැනට ඒකාබද්ධ ගවේෂණයන් කරන්න අවශ්‍ය සමාගම් වලට අවශ්‍ය දත්ත සපයමින් ඒකාබද්ධ ගවේෂණයන් සිදුකිරීම ආරම්භ කරලා තියෙනවා. අපිට වැඩිපුරම ඉල්ලූමක් තියෙන්නේ දැනට මන්නාරම් ද්‍රෝණියට පමණයි. ඒකට හේතුව අපිට විදිමත් නිශ්චිත දත්ත තියෙන්නේ මන්නාරම් ද්‍රෝණියට පමණයි. නමුත් මෑතකදී අපි ඇමෙරිකාවේ ඊැකක ඨැදිච්ජැ සමාගම සමඟ එකතුවෙලා ගුවනින් කාවේරි ද්‍රෝණිය දත්ත රැුස් කිරීම සිදුකළා. අධ්‍යක්‍ෂ ජනරාල්තුමා දැනුම් දුන්නා තවත් මාසයකින් විතර පමණ අපිට ඒ සම්බන්ධ වාර්තාව ලැබේවි කියලා. එතකොට අපිට පුළුවන් වෙනවා නිශ්චිතව කාවේරි ද්‍රෝණියට උනන්දුවක් දක්වන ආයෝජකයන් සොයාගන්න.

මෙහිදී නව අධිකාරියේ සභාපති සාලිය වික‍්‍රමසූරිය මහතාද අදහස් දැක්වීය.

එරික් ජිනපි‍්‍රය
 

advertistmentadvertistment
advertistmentadvertistment