අරගලය නිසා ජනපතිවරු දෙදෙනකු ගොඩ

හිටපු ජනපතිවරු – වැන්දඹුවන් රකින්න වසරකට මිලියන 40කට අධික වියදමක්

එකවර ජනපතිවරු දෙදෙනකුට වැටුප් ගෙවන පුදුම එකම රට

විශ්‍රාම වැටුප් කිහිපයක් ලැබීමේ අවස්ථාව

විශ්‍රාමයෙන් පසුවත් වැටුප්, ලේකම්, ඉන්ධන දීමනා

වැන්දඹුවන්ටත්, ජීවිත කාලය පුරාම වාසයට නිල නිවසක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන

ගැහැනියක පිරිමියකු කරන්නටත්, පිරිමියකු ගැහැනියක කරන්නටත් පමණක් බැරි විධායක ජනාධිපති ක්‍රමයක් මෙරටට හඳුන්වා දුන්නේ 1977 මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ නායකයා වූ ජූලියස් රිචඩ් ජයවර්ධනය. 1948 සිට 1972 දක්වා ක්‍රියාත්මක වූ සෝල්බරි ආණ්ඩු ක්‍රමය වෙනුවට සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය හඳුන්වාදුන් 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උපරිම ආයුෂ පැවැතියේ JR විසින් සුජාත කළ 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දක්වා පමණි. එතැන් සිට ආරම්භ වූයේ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති මාලා නාටකයයි.

විධායක ජනාධිපතිවරුන්ගේ නාමාවලිය

1972 ජනරජ ව්‍යවස්ථාව අනුව මෙරට මුලින්ම පත්වූ නාම මාත්‍රික විධායක බලතල නොමැති ජනාධිපතිවරයා වූයේ “විලියම් ගොපල්ලව” මහතා වූ අතර, ඊට පෙර සෝල්බරි ආණ්ඩුක්‍රම පරිපාලනය යටතේ බ්‍රිතාන්‍ය රැජනගේ මෙරට නියෝජිත කාර්යය සිදුකළ ආණ්ඩුකාරවරයා ලෙස ඔහු සේවය කළේය. අනතුරුව ජනතා ඡන්දයකින් ජනාධිපතිවරණයක් නොපවත්වා 1977 පැවැත්වූ මහ මැතිවරණයෙන් පසු ලද 5/6ක දැවැන්ත මහජන බලය උපයෝගී කර ගනිමින් 1978 ශ්‍රී ලංකාවට පුළුල් විධායක බල සහිත නව විධායක ජනාධිපති ක්‍රමයක් හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදුන්නේය. ඒ අනුව 1978 පෙබරවාරි 04 වැනිදා සිට මුල්ම විධායක ජනාධිපතිධුරය දැරීම ව්‍යවස්ථාකූලව ආරම්භ වූ අතර අද දක්වා තවදුරටත් විවිධ සංශෝධනවලට ලක්වෙමින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ 1978 JR හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ම වේ.

ඒ අනුව මේ වනවිට රට පාලනය කළ විධායක බලතල සහිත ජනාධිපතිවරුන්ගේ නාමාවලිය පහත දැක්වේ.

ජේ.ආර්. ජයවර්ධන 1978 – 1989

රණසිංහ ප්‍රේමදාස 1989 – 1993

ඩී.බී. විජේතුංග 1993 – 1994

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1994 – 2005

මහින්ද රාජපක්ෂ 2005 – 2015

මෛත්‍රිපාල සිරිසේන 2015 – 2019

ගෝඨාභය රාජපක්ෂ 2019 – 2022

රනිල් වික්‍රමසිංහ – 2022 සිට ඒ අනුව 1978 පටන් 2022 දක්වා විධායක ජනාධිපතිවරු 8 දෙනකු යටතේ ශ්‍රී ලංකාව පාලනය වී තිබෙන අතර, ඉන් මහජන ඡන්දයකින් තේරී පත් නොවුණ අවස්ථා 03ක් සටහන් වී තිබේ. 1978 දී J.R. ජයවර්ධනත්, 1993 දී රණසිංහ ප්‍රේමදාස ඝාතනය වූ පසු ජනාධිපති ධුරයට පැමිණි D.B. විජේතුංගත්, 2022 අරගලයෙන් ධුරය අත්හැර ගිය ගෝඨාභය රාජපක්ෂ නිසා හිස්වූ පසු අසුනට පත්වූ රනිල් වික්‍රමසිංහත් ඊට අයත් වේ. මුල්ම විධායක ජනාධිපති වූ J.R. ජයවර්ධන, 1994 දී ලෝකයේ මුල්ම විධායක ජනාධිපතිනිය ලෙස පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා LTTE යුද්ධය නිමා කළ මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරු අවස්ථා 02 බැගින් සිය ධුර කාලය දැරුවෝ වෙති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (36) ව්‍යවස්ථාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 36 ව්‍යවස්ථා ප්‍රකාශිතව ජනාධිපති ධුරයේ වැටුප්, දීමනා හා විශ්‍රාම වැටුප් පිළිබඳ ප්‍රතිපාදන සඳහන් වේ. එකී ව්‍යවස්ථාව අනුව, ජනාධිපති ධුරය දරන තැනැත්තන්ගේ වැටුප්, දීමනා, විශ්‍රාම වැටුප් හිමිකම පාර්ලිමේන්තු යෝජනා සම්මතයෙන් වැඩිකළ හැකි වුවත් කිසිවිටෙකත් එම හිමිකම් අඩු නොකළ යුතු වන්නේය.

තමාගේ විශ්‍රාම වැටුප තමාම තීරණය කෙරූ J.R. මෙරට දේශපාලනයේ මහා මොළකරු ලෙස සැලකෙන, J.R. විසින් විවෘත ආර්ථිකය ද විධායක ජනාධිපති ධුරය ද අප රටට හඳුන්වා දුන් අතර, තම දෙවන ධුර කාලය නිම වීමට පෙර පාර්ලිමේන්තුව මගින් සම්මත කරගනු ලැබූ 1986 අංක 04 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත මගින් සිය විශ්‍රාමය ද, අභිමත පරිදි සුරක්ෂිත කරගනු ලැබුවේය. ඒ අනුව එකී පනත අනුව හිටපු ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ වැන්දඹුවන්ට නිල නිවාස සහ වෙනත් දීමනා සහ පහසුකම් ප්‍රදානය කිරීම් ඇතුළු ජනාධිපතිවරුන්ගේ හා වැන්දඹුවන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම ද තහවුරු කර ඇත.

ජනාධිපති විශ්‍රාමික වරප්‍රසාද හා හිමිකම්

උක්ත පනතේ ප්‍රතිපාදන අනුව, සෑම ජනාධිපතිවරයකුට ම හා හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකුට ම සිය ජීවිත කාලය තුළ වාසය සඳහා උචිත නිවාසයක් කුලියෙන් තොරව සැපයිය යුතුය.

එසේ නිවාසයක් නොසපයන අවස්ථාවක, ජනාධිපතිවරයාට හෝ ජනාධිපතිවරයාගේ වැන්දඹුවට හෝ ගෙවිය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් 1/3කට සමාන මාසික දීමනාවන් ගෙවිය යුතුය.

තවද, තත් කාලයේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් ධුරය දරන තැනැත්තකුට සමාන මාසික වැටුපක්, ලේකම් දීමනාවක් ලෙස හිටපු ජනාධිපතිවරයකුට ගෙවිය යුතු අතර, ඒකාධිපති වැන්දඹුවන් නම් තත්කාලයේ, අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම් ධුරයට හිමිවන මාසික වැටුපට සමාන දීමනාවන් එකී වැන්දඹුවට ගෙවිය යුතුය.

එමෙන්ම විශ්‍රාමික ජනාධිපති හෝ ජනාධිපති වැන්දඹුවන නිල ප්‍රවාහන පහසුකම් සලසා දියයුතු අතර, එය තත් කාලයේ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකුට සපයන නිල ප්‍රවාහන හා වෙනත් පහසුකම්වලට සමාන විය යුතුය.

ඊට අමතරව ජනාධිපතිවරයකු මිය ගියවිට හෝ එම ධුරය දැරීම නතර වූ විටෙක ඒ ජනාධිපතිවරයාට නිල වශයෙන් ලැබීමට තිබූ මාසික වැටුපෙන් 2/3ක වටිනාකම, අදාළ ජනාධිපති වැන්දඹුවට ජීවිත කාලය පුරාම ගෙවිය යුතුය.

ජනාධිපතිධුරය හොබවනවිට හා ඉන් විශ්‍රාම ගියවිට ද හිමිවන සියලු අංග සම්පූර්ණ ප්‍රතිලාභ ලබාදීමට බැඳී සිටින්නේ මහජනයා බව සිතන්නේ නම්, ඕනෑම මැතිවරණයක දී සිය මනාපය ජනතාව වඩා බුද්ධිමත්ව පළ කිරීමට නිරන්තරයෙන් සිතනු ඇත.

ජනාධිපති කාර්යාලය මගින් පවසන තොරතුරු අනුව මේ වනවිට හිටපු ජනාධිපතිවරුන් සහ හිටපු ජනාධිපති වැන්දඹුවන්ට ගෙවනු ලබන වර්ත මත විශ්‍රාම වැටුප් හා දීමනා පහත පරිදි වේ.

හිටපු ජනාධිපති වැන්දඹු හේමා ප්‍රේමදාස මහත්මිය සිය විශ්‍රාම වැටුප ලෙස රු. 65,000ක දීමනාවන් ලබාගන්නා අතර රු. 23,000ක පෞද්ගලික ලේකම් දීමනාවක් ද ලබාගනී. කෙසේ වෙතත් නිල ප්‍රවාහන පහසුකම් දීමනාවන් ඇය විසින් ලබාගැනීමත් සිදු නොකරන අතර, නිල නිවසක් ලබා දී තිබේ.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය රු. 97,500ක මාසික විශ්‍රාමික වැටුපකට හිමිකම් කියන අතර,

රු. 100,000ක පෞද්ගලික ලේකම් දීමනාවකට ද

රු. 500,000ක ඉන්ධන හා ප්‍රවාහන වරප්‍රසාදයක් හා නිල නිවසකට උරුමකම් කියනු ලැබේ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති විසින් රු. 97,500ක විශ්‍රාම වැටුප් දීමනාව, රු. 50,000ක පෞද්ගලික ලේකම් දීමනාව හා රු. 704,100ක ඉන්ධන හා ප්‍රවාහන පහසුකම් ලබාගන්නා අතර, ඔහුට ද රජය මගින් සිය වාසය සඳහා නිල නිවසක් ප්‍රදානය කර තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ද රු. 97,500ක විශ්‍රාම වැටුප මෙන්ම, රු. 704,100ක ඉන්ධන දීමනාව හා රු. 100,000ක පෞද්ගලික ලේකම් දීමනාව ද නිල නිවසක් ද භුක්ති විඳීම සිදුකරනු ලබයි.

ධුරය හැරගිය, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ධුරය අතරමඟ හැර ගිය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා 1986 අංක 04 දරන ජනාධිපති හිමිකම් පනත අනුව ගෝඨාභය රාජපක්ෂට ද සිය විශ්‍රාමික හිමිකම් ලැබේ.

ඒ අනුව රු. 97,500ක විශ්‍රාම වැටුප, රු. 704,100ක ඉන්ධන දීමනාව හා රු. 100,000ක පෞද්ගලික ලේකම් දීමනාව ලබාගනී. ඔහුට ද ව්‍යවස්ථාපිත නීතිය අනුව සිය ජීවිත කාලය වාසය කිරීමට හිමි නිල නිවාසයක රැඳී සිටීමට හිමිකම ලැබී ඇත.

විශ්‍රාම වැටුප් කිහිපයක්

රජයේ සේවකයකුට නම් සිය විශ්‍රාම දිවිය සතුටින් හෝ ගෞරවයෙන් ගත කිරීමට සුදුසු විශ්‍රාම වැටුපක් හා වෙනත් වරප්‍රසාද ලැබීම පිළිබඳ සමාජය තුළින් දක්නට ලැබෙනුයේ එතරම් යහපත් සංවාදයක් නොවේ. බොහෝවිට මහ මඟ අරගල දියත් කරනු ලබන්නේ, විශ්‍රාම වැටුප් විෂමතා, අර්බුද මුල්කර ගෙනය.

කෙසේ වෙතත් තම ජීවිත කාලයම රාජ්‍ය සේවයට කැප කරන විශ්‍රාමිකයකුට නොමැති වරප්‍රසාද ජනාධිපති විශ්‍රාම හිමියකුට අයත්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36(1) වගන්තිය අනුව “ජනාධිපති විශ්‍රාම වැටුප, යම් පූර්ව සේවයක් හේතුකොට ගෙන, ඒ තැනැත්තාට හිමිකම් ඇති වෙනත් යම් විශ්‍රාම වැටුපකට අතිරේකව යන්නේය.” යනුවෙන් අර්ථ ගැන්වීම තුළ හිටපු ජනාධිපතිවරයකුගේ පෙර සේවය අනුව ලබාගන්නා ලද විශ්‍රාමික ප්‍රතිලාභ අභියෝගයකට ලක් කළ නොහැකිය.

ඒ අනුව අර්බුදයට හා සමාජ සංවාදයට ලක්වූ හිටපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට විශ්‍රාම වැටුප් කිහිපයක් ලැබීමට ඇති අයිතිය අනීතික නොවන බවට කරුණු අනාවරණය වේ.

ඒ මහතා, විශ්‍රාමික යුද සේවකයකු ලෙසත්, ආරක්ෂක ලේකම් ආදි රාජ්‍ය පරිපාලන සේවකයකු ලෙසත් විශ්‍රාමික ජනාධිපතිවරයකු ලෙසත් එකී දීමනා හා වරප්‍රසාදවලට හිමිකම් පානු ලැබේ.

අරගලයේ පසුවිපරම

2019 මෙරට 7 වන විධායක ජනාධිපති ධුරයට ලක්වූ ගෝඨාභය රාජපක්ෂ කලින්ම තම පුටුවට සමුදී ධුරය හැර ගිය ද ඉන් සිදුවූයේ ඔහුගේ විශ්‍රාම වැටුප තවත් ඉක්මන් කිරීම හා වෙනත් ප්‍රතිලාභ භුක්ති විඳ නිදහසේ ජීවත්වීමට උරුම වීම පමණකි. ඊට අමතරව, පත්වූ අනුප්‍රාප්තික රනිල් වික්‍රමසිංහට ද ජනාධිපති වැටුප් හා දීමනා ලබාදීමට මෙවිට ඔහු ද විශ්‍රාම ගිය පසු ඉහත සියලු වරප්‍රසාද ලබාගන්නා මට්ටමට මැතිවරණයක් නොතබාම පත් කිරීමය. අරගලයෙන් ඔහුගේ නිවස ගිනි තැබූව ද සිය ජීවිත කාලය පුරා ම විශ්‍රාම සුවය විඳීමට නිල නිවසක්, පෞද්ගලික ලේකම් ඇතුළු ප්‍රවාහන පහසුකම් සමග භුක්ති විඳීමට අලුත් මාවතක් විවර කර දෙනු ලැබීය.

එලෙසම ඉතිහාසයේ පළමු වතාවට, ජනාධිපතිවර සජීවි ධුර කාලයක් පත්වූ හා අනුප්‍රාප්තික ජනපතිට දීමනා ගෙවන කාලයක් නිර්මාණය කිරීමට අරගලය නොදුටු භූමිකාව මාර්ගය සකසා දී ඇත.

බදුබර හා ජනාධිපතිවරණය ජනාධිපති වැය

රාජ්‍ය ආදායමට වඩා වියදම් වැඩි, නාස්තිය හා දූෂණය අතින් ඉහළ, අල්ලස් හා දූෂණය රජයන ශ්‍රී ලංකා රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරුන්, නඩත්තුව හා වැන්දඹුවන් නඩත්තුව වෙනුවෙන් වසරකට රුපියල් මිලියන 40කට අධික වියදමක් ද ඊට අනුබද්ධව පවතින තවත් වියදම් රැසකින් ද සමන්විත වීම තව තවත් බදු බරින් මිරිකෙන ජනතාවට දැරිය හැකි ද යන්න විවෘත සංවාදයට තව තවත් ලක්විය යුතු වන්නේය. එමෙන්ම ජනාධිපති විශ්‍රාම ලබන්නකුට තවත් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් විශ්‍රාම වැටුප් කිහිපයක් ගෙවීම් ඇතුළු වෙනත් නෛතික ප්‍රතිපාදන සංශෝධනය කළ යුතු බව යුගයේ අවශ්‍යතාවක් ලෙස සිතා බැලිය යුතුය.

ඉතා අධික වැය බරකින් යුතු ජනාධිපති වැය ශීර්ෂ පවා වරින් වර වැඩි කරගනු ලබන්නේ පුළුල් ජනාධිපති බල තල නිසාය. J.R. ගැසූ ගැටයේ තවමත් සිරවී සිටින ශ්‍රී ලාංකික පුරවැසියා එයින් නිදහස් වීම වෙනුවට තව තවත් එහිම සිරවී දුක් විඳින බව නම් පෙනෙන්ට තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය පේන තෙක් මානයේ වුවද, ආර්ථික අර්බුද අගාධයේ සිටිනු විනා, එමගින් ඡන්දය පවත්වාගෙන යනු ලබන විනා, ජනතා සහන හෝ පාලනයේ හා දූෂණය නාස්තිය වැළැක්වීමේ විකල්ප සංශෝධන ඉදිරිපත් කරනු පෙනෙන්නට නැත. විධායක ජනාධිපති ධුරය හා එහි අසීමිත බලතල හා වරප්‍රසාද සිඳීමට කිසිවකුට වුවමනා නැත. මන්දයත් අපේ ජනතාව අවදි වනුයේ මැතිවරණවලින් පසු සිය තීන්දුවල විපාකය ගොනා බැඳි කරත්ත රෝදයෙන් පිටුපස ගොනාම බැඳගෙන දුක් විඳිනවිට දැනෙන වේදනාව භුක්ති විඳිනවිටය.

ජනක බෝකුඹුර

advertistmentadvertistment
advertistmentadvertistment