රට ගොඩනඟන ඩොලර් 100 යේ පදනම

548

මෙය සරල ගණිත ගැටලුවකි. අලුතෙන් සහ නිර්මාණශීලීව හිතන්නට හැකියාව ඇති බුද්ධිමතුන්ට මෙය වටහා ගැනීම එතරම් අපහසු නැත. මෙරට පමණක් නොව බොහෝ රටවල් ගොඩනොනැගෙන්නට හේතු ඇත. එනම් ඒ සඳහා නිසි දැක්මක් නොමැතිකම, සාධාරණ සමාජයක් සඳහා වන පදනමක් නොමැතිකම, ධනය, සම්පත් සේවය, සුබසාධනය සහ මිනිස් මූලික අයිතිවාසිකම් සාධාරණව බෙදෙන මූලික ප්‍රතිපත්තියක් නොමැතිකම, අදාළ අංශානුකූල වන ජාතික ප්‍රතිපත්තීන් නොමැතිකම, දේශපාලන ව්‍යුහය තුළ සිදුවිය යුතු යථාවාදී සංශෝධන මොනවාද යන්න හඳුනා නොගැනීම, ඕනෑම රටක් රාජ්‍යයක් අබියස පිළිවෙළින් නිර්මාණය වන ප්‍රධාන අභියෝග මොනවාද, ඒවා එපිළිවෙළින්ම ජය ගන්නේ කෙසේද යන්න හඳුනා නොගැනීම සහ ඒ සඳහා ගතයුතු සෘජු තීන්දු තීරණ මොනවාද යන්න ගැන අවබෝධයක් නොමැතිකම නොහොත් අදාළ දේශපාලන න්‍යායපත්‍රය නිවැරදිව පෙළගස්වා ගැනීමට අපොහොසත් වීම වේ.

මෙය ඉතාමත් සරලය. ආනායාසයෙන් ක්‍රියාවට නැංවිය හැකිය. සරලව සෘජුව සහ සමීපතමව ගතයුතු වන තීන්දුවක් පමණි. මේ සඳහා ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නැත. කොමිෂන් සභා අවශ්‍ය නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ වෙනත් විදේශීය රටකින් හෝ ආයතනයකින් ණය හෝ ආධාර අවශ්‍ය නැත. අමතරව මුදල් අච්චු ගසන්නට සහ කල් මරන්නට ද අවශ්‍ය නැත. කෙටියෙන් කියනවා නම් මෙය භාණ්ඩාගාරික ප්‍රශ්නයක් බවට ද පත්කර ගත යුතු නැත. මෙය අප විසින් ම ගතයුතු සරල තීන්දු තීරණ කීපයක ප්‍රතිඵලයකි.

මෙය උද්ධමනයට තිත තබන ක්‍රමයයි. ජාතික ආර්ථිකයක් නිර්මාණය කෙරෙන ණය සහ බය නැතිව දෙපයින් නැඟී සිටින ජාතියක් හැදෙන ශ්‍රමය සහ දහදිය වැඩි වැඩියෙන් වගුරන්නට ස්ව කැමැත්තෙන් ම ශ්‍රම බළකාය පෙළඹෙන උපරිම වශයෙන් ආනයනය අවම කර අපනයනයට දොරගුළු හැරෙන අවිධිමත්කම දූෂණය සහ වංචාව බැහැර කෙරෙන සරලම ක්‍රමයයි. බලය නොබෙදා ඒකීය රට යන සංකල්පය තුළ සියලු ජාතික ප්‍රශ්න පහසුවෙන් විසඳන ක්‍රමයයි. ස්වයංපෝෂිත සහ අභිමානවත් ජාතියක්ය කියා කටහැර කියන්නට හැකි වන විදියයි. ආනායාසයෙන් රට පාලනය කරන එකම ක්‍රමවේදයයි.

ඉතින් අපි කතාකරමු ඒ රට ගොඩනඟන ඩොලර් 100 පදනම කුමක් ද කියා. අපි අද ජාත්‍යන්තර හිඟන ජාතියක් වුවද වසර 2500ක ප්‍රෞඪ ඉතිහාසයක් ඇති ජාතියක් වන බව අමතක නොකළ යුතුය. ඉතිහාසය ගෙන බැලුව ද ස්වයංපෝෂිත ජාතියක් ලෙස ජීවත් වූ කාල වකවානු ගැන ඕනෑ තරම් අසා ඇත. අපට එලෙස ජීවත්වන්නට මේ දේශපාලනය හැර අන් කිසිදු බාධාවක් ද නොමැත. ජාතියක් ලෙස නැඟී සිටින්නට අවැසි සියලු සම්පත් අප සතුය. එහෙත් අද අප ජීවත්වන්නේ විශ්ව ගම්මාන තුළය. අප ගනුදෙනු කළ යුතුව ඇත්තේ ද ලෝක වෙළෙඳපොළ තුළමය. එනිසා අපට නැඟී සිටින්නට හෝ නැසී යන්නට සිදුවන්නේ ද ඒ තුළමය. අපේ අධිෂ්ඨානය නැඟී සිටීම නම් එසේත් නැත්නම් අපේකම් සියල්ල රැකගැනීමත් සමග නම් අපට තිබ්බ ඒ අභිමානය යළි තහවුරු කර ගැනීමට නම් අපට ඒ සඳහා ශක්තිමත් පදනමක් තිබිය යුතුමය. ඒ තමයි මා මේ සඳහන් කරන ඩොලර් සියයේ පදනම. රට ගොඩනඟන්න නම් අප සතු ශ්‍රම බළකාය මුළුමනින් ම වැඩබිමට බැස්සවිය යුතුමය. ඵලදායී රැකියාවන් හි නිරත කරවිය යුතුමය. සාධාරණ සමාජ වටපිටාවක් නිර්මාණය විය යුතුමය. එහෙත් එය බලහත්කාරයෙන් සිදුකළ නොහැකිය. ආයාචනා කිරීමෙන් ද එය කළ නොහැකිය. එය සාර්ථකව කළහැකි වන්නේ ශ්‍රමිකයාගේ ස්ව කැමැත්ත මත පමණි. එහෙත් එය කෙසේ කරම් ද, කෙසේ නම් එය සිදුවේවිද?

පෘථග්ජන මිනිසාගේ පොදු අපේක්‍ෂාව කුමක්ද තමා ඇතුළු පවුල යහතින් ජීවත් වීමයි. තමා ජීවත් වන සමාජය යහපත් බවට පත්කර ගැනීමයි. ඒ සඳහා සමාජ සාධාරණය අවශ්‍යය. ධනය, සම්පත් සේවය, සුබ සාධනය සහ මිනිස් මූලික අයිතිවාසිකම් සාධාරණව බෙදෙන සහ සුරැකෙන මූලික ප්‍රතිපත්තියෙහි පිහිටන දේශපාලනයක් අවශ්‍යය. එවන් රටවල් අද අතක ඇඟිලි ගණනින් හෝ දැකගන්නට ද ඇත. එම රටවල් තුළ දැකගන්නට ඇති සුවිශේෂී ලක්‍ෂණය කුමක්ද? තම ශ්‍රම බළකාය මුළුමනින් ම පාහේ ඵලදායී

රැකියාවන්හි නිරත වන බවයි. ස්ව කැමැත්තෙන්ම තම හැකියාවට සුදුසුකමට සරිලන රැකියාවක නිරත වන බවයි.

විවිධාංගීකරණය වූ ක්‍ෂේත්‍රයන්හි අතුරු සිදුරු නැතිව නිරත වන බවයි. ඊට හේතුව කුමක්ද? ඒ හැම ශ්‍රමිකයෙකුටම සාධාරණ සහ බොහෝ දුරට සමාන වටිනාකමක් ලැබී තිබීමයි. එනම් කුමක්ද? ඒ සාධාරණ වටිනාකම ඇ.ඩො. 100 ට ආසන්න දෛනික වැටුපක් සහ ආදායමක් ලබාදීමයි. එසේ නම් මේ ගෝලීයකරණය වූ සමාජය තුළ අපගේ ශ්‍රමිකයාට ද එය හිමි නොවිය යුතු ද අපි හෙළන දහදිය බිඳු සහ ශ්‍රමය අවතක්සේරු ද ඊට සාධාරණයක් ඉටු නොවියයුතු ද එසේ නොමැතිව ශ්‍රමිකයා දිරිගැන්වෙන්නේ කෙසේද ඔහු හෝ ඇය තෘප්තිමත් වන්නේ කවදාද සදාකාලිකවම එම රැකියාව අතහැර නොයන්නේ කවදාද, එහෙත් ඩොලර් 100 ක් යනු අද අපට රුපියල් 36,350කි. ඒත් කම්කරු වැටුප රු. 800 සිට 1000 ක් දක්වා වැඩිකර ගන්නට ක්‍රමවේදයක් නොහඳුනන වැඩ කරන වෙනත් කම්කරුවෙකුට, ගොවියෙකුට, ධීවරයෙකුට, කාර්මිකයෙකුට හෝ ස්වයං රැකියාවයක නිරත වන්නෙකුට දෛනිකව රු. 2000 ක් හිමිකර දෙන්නට ක්‍රමවේදයක් නැතිව ළතැවෙන අප කෙසේ නම් මේ අරුම පුදුම

ඩො. 100 වටිනාකම ලබා දෙන්නද?

ඒත් මා නැවත නැවතත් කියන්නේ මේ තමයි යථාර්ථය. මෙය තමයි මේ රට ගොඩනඟන විiාත්මක පදනම. මෙය තමයි සැබෑ සිස්ටම් චේන්ජඩ් එක නොහොත් අපට වැරදුන තැන නිවැරදි කරලීම, අද අපට ඩො. 100ක් යනු රු.36,500ක් වුවද හෙට 40,000 – 50,000 ක් හෝ ලක්‍ෂයක් වන්නට ද බැරි නැත. රටක් කඩාවැටීමේ ස්වභාවය පෙන්නුම් කරන විදිය එයයි. ඒ අපගේ ආර්ථික ක්‍රියාකාරකම් අනුව රුපියල පිරිහෙන තරමටයි. එහෙත් වසර 1950 සිට 1965 වන තෙක් අප ඩොලරයකට ගෙවනු ලබුවේ රු. 4.76 කි. 1977 දි

රු. 8.87 ක් ද, 1990 දී රු. 40.06 වශයෙන් ගෙවන ලදී. එසේ නම් මා මේ යෝජනා කරන ඩොලර් 100 යේ දෛනික ගෙවීම 1950 දී සිට 1965 වන තෙක් කළා නම් එය රු. 476 කට ද වසර 77 දී කළා නම් රු. 887 කට ද වසර 90 දී කළා නම් එය රු. 4060 ට ද සීමාවනු ඇත. එහෙත් එම කාල වකවානුව තුළ වෙන් වෙන්ව ගෙන බැලුවත් අපගේ ශ්‍රමිකයන්ට ලබා දී තිබූ වටිනාකම් මොනතරම් සොච්චම් ද. එවන් ශත ගණන් වටිනාකමකින් ඇරුඹු ශ්‍රම වටිනාකම රුපියල බාල්දුවෙන තරමට අනෙකුත් සියලු දේ මිල ගණන් වැඩි වුවද ඊට සාපේක්‍ෂව වැඩි වූවා ද නැත. මෙහිදී අපට හොඳ උදාහරණයක් ද ගන්නට හැකියාව ඇත. 1950 වන විට සෑම පැතිකඩක් සහ සියලු ශක්තීන් අතින් අපත් සමඟ කරට කර සිටි ජපානය එදවස දළ වශයෙන් පොදු දෛනික ශ්‍රමය වටිනාකමෙන්

10,000 ක් බවට නිගමනය කළාය. වසර 70 ක් ඉකුත් වුවද අදත් ඔවුන්ගේ එම තක්සේරුව ස්ථාවරය. මොන යම් හේතුවක් මතවත් ඔවුන් එය ඉල්ලුම් සැපයුම් න්‍යායට අනුව හෝ වෙනත් බලපෑමකට යටත් නොකරති. මන්ද එය ඔවුන්ගේ එකම පැවැත්ම වන බැවිනි.

රටක සංවර්ධනයේදී එරටෙහි ශ්‍රමිකයා තරම් රැකගත යුතු විටිනා සම්පතක් තවත් නැත. ඕනෑම රටක් රාජ්‍යයක් සමාජ සංස්ථාවක් පමණක් නොව පවුල් සංස්ථාවක වුවද, සවර්ධනය පවතින්නේ එහි සාමාජිකයන් නිරත වන

රැකියාවන් මතය. ඒ සඳහ තම සහජ දක්‍ෂතාවට, හැකියාවට, සුදුසුකමට සහ කැමැත්තට අනුව නිරත වන්නට රැකියා අවස්ථාද තිබිය යුතුය. මෙහිදී වඩාත් වැදගත් වන්නේ සහ ඵලදායී වන්නේ තමන් තෝරාගන්නා රැකියාවට ලැබෙන වටිනාකමය. එනිසා එම වටිනාකම සියලු ශ්‍රමිකයන්ගේ පොදු වුවමනා එපාකම් එකසේ සලකා ගෝලීය වශයෙන් වුවද පවතින ඉල්ලුම් සැපයුම් න්‍යායට ද යටත් නොකර නිගමනය කර ස්ථාවර කරන ලද තක්සේරුවක්ම විය යුතුය. මන්ද සංවර්ධනයේදී වැඩකරන යම් පුද්ගලයෙක් වේද ඔහු කරන වැඩ කොටස සංවර්ධනයට එතරම්ම ඵලදරන බැවිනි.

වටහාගත යුතු ඊළඟ කාරණාව වන්නේ පුද්ගලයන් වශයෙන් නොව පොදු වශයෙන් මෙරට වෙසෙන ශ්‍රම බළකාය මුළුමනින් ම පාහේ ඵලදායී වන රැකියා තුළ නිරත කරවීමට නම් වැටුප් සහ ආදායම් විෂමතා අවම කළ යුතු වන වගත්, ස්වයංරැකියා ප්‍රවර්ධනය වැනි දේ සඳහා යටිතල පහසුකම් සැපයීම ක්‍රමවත් කිරීමත්, දෛනික වැටුප හෝ ආදායම ඩොලර් 100 කේන්ද්‍ර කරගත් නිගමනයකට එළඹීම පමණි.

ඩොලර් 100 ක් කේන්‍ද්‍ර කරගත් වැටුප් නිගමනවලට එළඹෙන්නට සිදුවනවා මෙන්ම ආදායම්ලාභීයා ඩොලර් 100 දෛනික හිමිකරුවෙක් බවට පත්කරන්නට නම් ඔහු නිපදවන භාණ්ඩවලට මෙන්ම සපයන සේවාවට ද අදාළව මිල නියම විය යුතු වනු ඇත. ඒ සඳහා යාන්ත්‍රණයකට අනුව වී කිලෝවකට, එළවළු කිලෝවට, කිරි ලීටරයට

ඩො. 2 ක් තරමට ද අනෙකුත් ධාන්‍ය වැනි දේ සඳහා ඩොලර් 3 ක් තරමින් ද ඉඟුරු, කහ, ගම්මිරිස් ඇතුළු අනෙකුත් සුදු බෝග සඳහා ඊටත් වඩා වැඩියෙන් ද ගෙවන්නට සිදුවනු ඇත. එපරිදි සියලුම නිෂ්පාදකයන්ගේ දෛනික ආදායම ඩොලර් 100 පදනම සහ කේන්ද්‍ර කරගත් සියලු පාරිභෝගික භාණ්ඩ හා සේවාවන් වෙන් වෙන්ව ගණනය කළ යුතු වනු ඇත. එවිට වර්තමානයට සාපේක්‍ෂව පවතින වෙළෙඳපොළ ඉල්ලුම් සැපයුම් න්‍යායට අනුව සහ යටත්ව අවිධිමත්ව අපිළිවෙළට මෙන්ම තුට්ටු දෙකට වැටී ඇති සහ අහස උසට නැගී ඇති සියලුම භාණ්ඩ සහ සේවා නිෂ්පාදන වියදම් වැඩිවීම හේතු කරගෙන මිල ගණන් නොසිතූ නොපැතූ පරිදි සාධනීය මට්ටමකින් සැකසෙනු ඇත. එහෙත් එය උද්ධමනය ද නොවනු ඇත.

සේනානායකල, බණ්ඩාරනායකල නායක කම් කළ අවධියේ මෙම ඩොලර් 100 පදනම් කරගෙන එය තීන්දු කළා නම් අදත් එය රුපියල් 400 – 500 මට්ටමේ තබාගන්නට ද, ජේ. ආර් අවධියේ ඇරඹියේ නම් එය රු. 800- 900 මට්ටමේ ද, ප්‍රේමදාස යුගයේදී ඇරඹියේ නම් එය රු. 4000 ක මට්ටමේ තබා ගන්නට ද අවකාශ තබිණ. එනිසා මේ රට ගොඩනඟන්න නම් මෙපරිදි ඩො. 100 පදනම කරගත් දේශපාලන න්‍යාය පත්‍රයක් සම්පාදනය විය යුතුමය. එය ද ඉතාමත් ම සරල සෘජු සහ සමීපතම වන අනායාසයෙන් ගතයුතු වන තීන්දු තීරණ 10 පමණ වන අංග සම්පූර්ණ වූ වැඩපිළිවෙළක්ම පමණි.

දේශපාලුවන් කෙසේ වෙතත් මෙරට උගත් බුද්ධිමත් ජනතාව මෙය වටහා ගත යුතුව ඇත. මෙය ලිහාගත යුතු වන ඉතාමත් ම සරල ගණිත ගැටලුවකි. මෙය වහා ක්‍රියාවට නැංවිය යුතු වන එකම ක්‍රමවේදය වන බවත් මේ සඳහා අතුරු ආබාධ කිසිවක් නොපවතින බවත් ජතියම මුහුණදෙමින් ඇති සියලු දෝෂ වහා නිවාරණය වන නුදුරු අනාගතයේදීම ඩොලරයේ වටිනාකම රුපියලට සමකළ හැකි වන බවත් වැටහෙනු ඇත.

බී. එම්. එස්. බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment