රට ගොඩනැගීමට එක්ව කටයුතු කරමු: ජනපති දෙමළ සන්ධාන හමුවේදී කියයි

157

එක්සත් ශ‍්‍රී ලංකාවක, සියලූ ජාතීන් සෞභාග්‍ය කරා ගෙන යමු
– දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්

‘‘රට ගොඩනැඟීම සඳහා එක්ව කටයුතු කරමු’’ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙමළ ජාතික සන්ධානය සමඟ ඊයේ පැවැති සාකච්ඡාවේදී පැවසීය.

තමා සමස්ත රටවැසියන්ගේ නායකයා ලෙස සියලූ ජනතාව කෙරෙහි එක ලෙස අවධානය යොමු කරන බව ජනාධිපතිවරයා කියා සිටියේය. දෙමළ ජාතික සන්ධානය සමඟ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි සැකකරුවන් මුදා හැරීම, නඩු සහ චෝදනා ගොනුකර නැති සැකකරුවන් පිළිබඳ ඉදිරි කටයුතු කිරීම, සත්‍ය සෙවීමේ යාන්ත‍්‍රණය ඇරඹීම, ත‍්‍රස්ත විරෝධී පනත සංශෝධනය කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලූ විසඳීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රජය ක‍්‍රියාකරමින් ඇතිබව ජනාධිපතිවරයා පැවසීය.

තවදුරටත් එක්ව කටයුතු කිරීමෙන් උතුරු – නැගෙනහිර ඇතුළු රටේ සමස්ත ජනතා අරමුණු ඉටුකර, රට සංවර්ධනය කරා ගෙනයා හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 රට ගොඩනැගීමට එක්ව කටයුතු කරමු: ජනපති දෙමළ සන්ධාන හමුවේදී කියයි
 රට ගොඩනැගීමට එක්ව කටයුතු කරමු: ජනපති දෙමළ සන්ධාන හමුවේදී කියයි

එක්සත් ශ‍්‍රී ලංකාවක දේශපාලන විසඳුමක් සමගින් රට සෞභාග්‍ය කරා, යෑම තම අපේක්ෂාව බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සඳහන් කළේය. රටක් ලෙස අප එකතු විය යුතුයි. එක රටක් එක ජාතියක් ලෙස ක‍්‍රියාකරමින් පවතින තත්ත්වයෙන් රට මුදාගැනීම සියලූ පාර්ශ්වයන්ගේ වගකීම බව සම්බන්ධන් මහතා කියා සිටියේය.

ශ‍්‍රී ලංකාව පෙරදිග ස්විස්ටර්ලන්තය බවට පත්වනු දැකීමට කැමැත්තෙන් පසුවන බව සම්බන්ධන් මහතා පැවසීය.

දීර්ඝ කාලයක් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින පිරිස් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර, දීර්ඝ කාලයක් වගා සඳහා යොදාගත් ඉඩම් ඒ සඳහා නිදහස් කිරීම, අතුරුදන්වූ පුද්ගලයන් පිළිබඳ විමර්ශනයක් සිදු කිරීම, නව ව්‍යවස්ථාව දෙමළ සහ සිංහල භාෂාවන්ට පරිවර්තනයෙන් පසු ඊට එක්විය යුතු සංශෝධන සාකච්ඡා කිරීම, උතුරු – නැගෙනහිර සංවර්ධන අරමුදලක් පිහිටුවීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරිණි.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය ආචාර්ය
ජී. එල්. පීරිස්, චමල් රාජපක්ෂ, අලි සබි‍්‍ර, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන්, චාල්ස් නිර්මලනාදන්, සිවඥානම් ශ‍්‍රීදරන්, ශානක්‍යයන් රාජපුත්තිරන්, තවරාජා කලෙයි අර්සන්, සෙල්වම් අඩෙයිකලනාදන්, එස්. නොහාර්තලිංගම්, කෝවින්දන් කරුණාකර යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment