රට ගොඩනැගීමට තීරණ ගැනීම සර්වපාක්‍ෂික ආණ්ඩුවේ අරමුණයි

93

ජනාධිපති රනිල් වික්‍රමසිංහ

පාර්ලිමේන්තුව ආණ්ඩුවක් බවට පත්කර රට ගොඩනැඟීමේ තීන්දු තීරණ ගැනීම සර්වපාක්‍ෂික ආණ්ඩුවක අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී. එල්. පීරිස් හා ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ඇතුළු කණ්ඩායම ජනාධිපති කාර්යාලයේදී රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, ඒ පිළිබඳ සාකච්ඡා කොට පොදු එකඟතාවකට එළැඹීම වඩාත් සුදුසු වන අතර ඊට සියලු දෙනාගේ සහාය අපේක්‍ෂා කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සැප්තැම්බර් පළමු සතියේ අන්තර්කාලීන අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එමගින් ජනතාවට සහන ලබාදීමට බලාපොරොත්තු වන බව වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු ආංශික අධීක්‍ෂණ කමිටු වහාම ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවත් එහි සභාපතිවරුන්ට කාර්යාල පහසුකම් දීමට සැලසුම් කර ඇති බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවයෙන් ඉහළ කාර්යක්‍ෂම සේවාවක් රටට අවශ්‍ය බවද කියා සිටියේය.

ආංශික අධීක්‍ෂණ කමිටු සභාපතිවරු කැබිනට් මණ්ඩලයට කැඳවීමට ද තමා සූදානම් බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරිපත් කළ සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගරු කිරීම පිළිබඳ ස්තුතිය පළ කළ මෛත්‍රිපාල සිරිසේන මහතා සර්වපාක්‍ෂික ආණ්ඩුවක් වෙනුවෙන් සිය පක්‍ෂයේ සම්පූර්ණ සහාය ලබාදෙන බව පැවසීය.

ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ පිළිගත් ක්‍රමයකට සර්වපාක්ෂික ආණ්ඩුවක් සෑදිය යුතු බවයි. ඒ සඳහා සියලු දෙනා එක්ව එය සාර්ථක කරගත යුතු බවත් පෙන්වා දුන්නේය.

ජනතාව ඉල්ලූ වෙනස මේ වනවිට සිදු වී ඇති බව පෙන්වා දුන් ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා, සුනාමි අවස්ථාවේදී මෙන්ම යුද ජයග්‍රහණයේදීත් අත්හැරුණු අවස්ථා මේ මොහොතේ අත්නොහැර රට නිවැරැදි මාවතට හරවා ගැනීමට පියවර ගැනීම සියලු දෙනාගේ වගකීමක් බව ද පැවසීය. සර්වපාක්‍ෂික ආණ්ඩුවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරිපත් කළ යෝජනා 11කින් සමන්විත වැඩපිළිවෙළ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීම ද සිදු කෙරිණ.

රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, අංගජන් රාමනාදන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මහාචාර්ය ජී. එල්. පීරිස් හා ඩලස් අලහප්පෙරුම යන මහත්වරු ඇතුළු කණ්ඩායම සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පවසා සිටියේ වසර 10කට ගැළපෙන ආර්ථික සැලැස්මක් සැකසීම සඳහා සියලු දෙනා එකාවන්ව ඊට පදනම දැමිය යුතු බවයි.

අරගලකරුවන්ගේ ආරම්භයට, ආර්ථිකයේ කඩාවැටීම සහ බඩගින්න හේතු වූ බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා, අරගලකරුවන් අවසන් මොහොතේ ප්‍රචණ්ඩත්වයෙන් අරගලය අවසන් කළේ යැයි කියා සිටියේය.

එදා පාර්ලිමේන්තුව කලහකාරීන්ගෙන් ආරක්‍ෂා නොකළේ නම් අද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මේ ආකාරයෙන් එක්ව සාකච්ඡා කිරීමට ඉඩක් නොලැබෙන බව ද පැවසීය.

සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිළිබඳ සුබවාදී අපේක්‍ෂාවක් තිබෙනවා. එය කිසිසේත් වෙනස් විය යුතු දෙයක් නොවේ යැයි මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ විධිමත් සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා සාකච්ඡා කිරීමට සියලු දෙනා සූදානම් විය යුතු බවයි. ඩිලාන් පෙරේරා, චරිත හේරත්, නාලක ගොඩහේවා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment