රට ගොඩනැඟීමට  වෙනස් නොවන ජාතික  ප්‍රතිපත්තියක් අවශ්‍යයි

110

ප්‍රථම ජීවානුහරණ ඖෂධ නිෂ්පාදනාගාරය  කටුනායකදී විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි
 

මෛත්‍රීත්  රාජිතත්  ඇවිත්
 

 රට ගොඩනැඟීමට ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් පක්ෂ බේදයකින් තොරව එකම ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ කටයුතු කර රට ගොඩනැඟීමට කැපවීමේ අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

රට ගොඩනැඟීමට  වෙනස් නොවන ජාතික  ප්‍රතිපත්තියක් අවශ්‍යයි

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉහළටම ඔසවා තබමින් දියුණු ආර්ථිකයක් ඇති කිරීමට නම් හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් සේම දේශපාලන ස්ථාවරත්වයක්ද පැවතිය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා “ජාතික සභාව” වේදිකාවක් කර ගනිමින් ජාතික ප්‍රතිපත්ති රාමුව පිළිබඳ සාකච්ඡා කිරීමට එක් වෙමු යැයිද පැවසීය.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ස්ථාපිත ප්‍රථම ජීවානුහරණය කරන ලද ද්‍රව්‍යමය ලෙස නිපදවන ඖෂධ නිෂ්පාදනාගාරය කටුනායක ආයෝජන කලාපයේදී ඊයේ (10දා) විවෘත කරමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

රට ගොඩනැඟීමට  වෙනස් නොවන ජාතික  ප්‍රතිපත්තියක් අවශ්‍යයි

 මේ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙනයයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මෙම ස්ථානයෙන් විශාල රැකියා ප්‍රමාණයක් බිහිවෙලා තිබෙනවා. මේ ආයෝජනය සිදු කර තිබෙන්නේ ලංකාවේ ආර්ථිකයේ අසීරුම කාල වකවානුවක බව කිව යුතුයි. අපේ වැය ශීර්ෂයේ තිබෙන හිඟකම මේ ආර්ථිකය කඩා වැටීමට එක හේතුවක්. අපට ලැබෙන විදේශ විනිමය අපේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා අපට සිදු වෙලා තිබෙනවා සෑම වසරකම ණය ලබා ගන්න. දැන් ණය ගෙවන්න බැරි තත්ත්වයකයි අපි ඉන්නේ. අපේ ආර්ථිකය යළි ගොඩනැඟිය යුතුයි. සාර්ථක වෙන්න නම් අපි එකක් මතක

 තියාගන්න ඕන. අපිට අවශ්‍ය විදේශ විනිමය අප උපයා ගත යුතුයි. විදේශ විනිමයේ හිඟයක් තබා ගන්න බැහැ. වැය ශීර්ෂ හිඟයක් තියාගන්න බෑ. අපේ අරමුණ විය යුත්තේ වැය ශීර්ෂයේ අතිරික්තයත් තබා ගැනීම. එහෙම නම් අපේ විදේශ ආදායම් වැඩි කර ගන්න ඕන. ඒ සඳහා අපනයනය අරමුණු කරගනිමින් නිෂ්පාදනය කරන භාණ්ඩ, වගා කරන බෝග වගේම ලබා දෙන සේවාවන් ඉහළ නංවා ගත යුතුයි. අපට අවශ්‍යව ඇත්තේ ඉතාම තරඟකාරී තාක්ෂණය යොදවන අපනයන කෙරෙහි යොමූ වූ ආර්ථිකයක්.

 අද ජනතාව විවිධ දුෂ්කරතාවලට මුහුණ පා සිටිනවා. බොහෝ දෙනෙක්ට රැකියා අහිමි වී තිබෙනවා. සමහර අය වේලක් කුසගින්නේ ඉන්නවා. මේවට අපි දීර්ඝ කාලීන විසඳුමක් හොයන්න ඕන. නැවත ඒ තත්ත්වයට ගිහින් විසඳුම් සොයන්න බැහැ. ඒ නිසා තමයි අද ඉතා තරඟකාරී, නවීන තාක්ෂණය යොදවන අපනයන ආර්ථිකයක් ඇති කරගන්න සැලසුම් හදන්නේ. ඒ සඳහා තමයි අපි ප්‍රතිපත්ති සැකසිය යුත්තේ.

 අද අපි විවෘත කරන මෙම ආයතනය ආරම්භ කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙසත්, මම අගමැතිවරයා ලෙසත් ඉන්න කාලේ. රාජිත සේනාරත්න මහතා එදා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළා. අපි සියලු‍ දෙනා මෙය ඉදිරියට ගෙන ගියා. මේක යහපාලන ආණ්ඩුවේ එක ප්‍රතිඵලයක්. අපි නිෂ්ශබ්දවයි වැඩ කළේ. ඊට පස්සේ ආණ්ඩුව වෙනස් වුණා. අලු‍ත් ආණ්ඩුවක් ආවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුණාට පස්සේ මේ වැඩපිළිවෙළ නැවැත්තුවේ නෑ. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් මාරු වෙනකොට පැවති ආණ්ඩුව කරපු වැඩකටයුතු නතර කරනවා. ඒත් මේක නතර කළේ නැහැ. ඉන් පසුව මම ජනාධිපති වෙලා අද මේක විවෘත කරනවා.

 අපි සියලු‍ දෙනා එක ජාතික ප්‍රතිපත්තියක සිට කටයුතු කළ යුතුයි. අපිට පුළුවන් එදිනෙදා වාද විවාද කරන්න.ඒත් අපි එක ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕන. ඒ ජාතික ප්‍රතිපත්තිය ඔස්සේ ඉදිරියට යනවා නම් කිසි විටෙක අපි අසාර්ථක වෙන්නේ නැහැ. අපි ආණ්ඩුවෙන් ආණ්ඩුවට ප්‍රතිපත්ති වෙනස් කළා. ආණ්ඩු ඇතුලේ ඇමැතිවරු වෙනස් වෙන කොටත් ප්‍රතිපත්ති වෙනස් කළා. ඉතින් කොහොමද රට දියුණු වෙන්නේ.

 අද සියලු‍ පක්ෂ මෙතන ඉන්නවා, ජනතා විමුක්ති පෙරමුණ හැර. ඒ නිසා මම මෙතැනදි කියන්න කැමතියි අපි ජාතික රාමුවක් අනුව වැඩ කරමු. එතකොට ආණ්ඩු මාරු වෙනවද, නැද්ද කියන එක ප්‍රශ්නයක් නොවේ. ඒ නිසයි දැන් පාර්ලිමේන්තුවේ සියලු‍දෙනාට සහභාගි විය හැකි අයුරින් කමිටු ගණනාවක් ආරම්භ කර තිබෙන්නේ. අපි ජාතික සභා ඇති කළා. මම බලාපොරොත්තු වෙන්නේ මේක වේදිකාවක් කර ගන්න මේ ජාතික ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කරන්න හා ඒවා ක්‍රියාත්ම කරන්න.

 හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, වරාය හා නාවික ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ, කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, රාජ්‍ය ඇමැතිවරුන්වන ලසන්ත අලගියවන්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, දුමින්ද දිසානායක, මයන්ත දිසානායක, සුජිත් සංජය, හර්ෂණ රාජකරුණා, නිමල් ලංසා, ජේ.සී. අලවතුවල, ඉරාන වික්‍රමරත්න, රාජිත සේනාරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment