රට තවත් අරාජික කරන්න එපා : මහානායක හිමිවරු රටේ නායකයින්ගෙන් ඉල්ලති  

307

අත්තනෝමතික වූ බල අරගලයක් තුළින් රට තවදුරටත් අරාජික වන හෙයින් ප්‍රජාතන්ත්‍රවාදී ගිවිසුම තුළ සියලු පක්ෂ නායකයින් එක්ව පාර්ලිමේන්තුව කැඳවා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලාංකීය ප්‍රතිරූපයට හානි නොවන විධිමත් පාලන තන්ත්‍රයක් ගොඩ නැගීමේ අවශ්‍යතාව සපුරාලන ලෙස ත්‍රෛනිකායික මහා නායක හිමිවරු රටේ නායකයින් වෙත නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරති.

රට තුළ නිර්මාණය වී ඇති දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් රටේ ආරක්ෂාවත් මහ ජනතාවගේ ජීවිතත් දැඩි තර්ජනයට ලක්ව ඇති බැවින් නිසි සැලැස්මකට යටත්ව සියලු දෙනා කටයුතු කළ යුතු යැයි ද උන්වහන්සේලා අවධාරණය කරති.

රටේ නීතියට අවනතව නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් සාමකාමීව විරෝධය දැක්වීම හැර මහජන දේපළවලට හානි පැමිණවීම නුසුදුසු බව තේරුම් ගනිමින් විරෝධතාවේ නියුතු ජනතාව බුද්ධිමත්ව හා වගකීමෙන් කටයුතු කළ යුතු යැයි ද උන්වහන්සේ අවධාරණය කරති.

පවත්නා සැබෑ වාතාවරණය පිළිබඳව දැනගැනීම මහ ජනතාවගේ අයිතියකි. නිදහසේ තොරතුරු වාර්තාකරණයට ඉඩ ලබාදී ජන ජීවිත ආරක්ෂා කරමින් රටේ සාමය පවත්වාගෙන යෑමට කටයුතු කිරීම ආරක්ෂක අංශවල වගකීම සහ යුතුකම බවද උන්වහන්සේලා අදාළ නිවේදනය මගින් අවධාරණය කරති.

මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහනායක ස්වාමීන් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතනාභිධාන මහනායක ස්වාමින් වහන්සේ, අමරපුර මහා නිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහනායක ස්වාමීන් වහන්සේ සහ රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහනායක මකුලෑවේ ශ්‍රී විමලාභිධාන මහනායක ස්වාමීන් වහන්සේ එක්ව නිවේදනය නිකුත් කොට ඇත්තාහ.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment