රට තුළ උද්ගතව ඇති ගැටලු විසඳීමට කිසිම පාර්ලිමේන්තු නියෝජිතයකු මැදිහත් නොවීම කනගාටුවක්

276

ත්‍රෛනිකායික මහානාහිමිවරු පවසති

රට දැඩි අසීරුතාවකට පත්ව සිටින මෙවන් මොහොතක මිලියන ගණනින් මහජන මුදල් විනාශ කොට අසීමිත වරප්‍රසාද විඳිමින් අවිචාරවත් ලෙස මහජන නියෝජිතයන් කටයුතු කරන ආකාරයෙන් ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන්නන් ලෙස ඔවුන්ගේ වලංගු භාවයක් පවතී ද යන්න ගැටලුවක් බව ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පවසති.

ජනතාව පීඩාවට පත් කරන අනර්ථකාරී අත්තනෝමතික පක්ෂ දේශපාලන තීරණ තුළ එල්බ සිටීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මහජන නියෝජිතයකුට සදාචාරාත්මක අයිතියක් තිබේද යන්න පිළිබඳව ප්‍රශ්න කළ යුතුව ඇතැයි ද උන්වහන්සේ පවසති.

රට තුළ උද්ගතව ඇති දේශපාලනික, ආර්ථික හා සාමාජිය අර්බුද විසඳීමෙහිලා සාධනීය මැදිහත්වීමක් සිදුකිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මහජන නියෝජිතයකු කටයුතු නොකිරීම පිළිබඳව අප්‍රසාදය සහ කනගාටුව පළ කරන බවද උන්වහන්සේ ප්‍රකාශ කරති.

මල්වතු පාර්ශ්යේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සිය අත්සනින් යුතුව ජනපති, අගමැති, විපක්ෂනායක හා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු නිවේදනයක් නිකුත් කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරු මේ බව අවධාරණය කරති.

එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

පසුගිය අප්‍රේල් මස 04 හා 20 දිනවල ත්‍රෛනිකායික මහා සංඝ රත්නය නියෝජනය කරමින් ජනාධිපතිතුමන් වෙත අපි රට තුළ ආර්ථික හා දේශපාලනික ස්ථාවරත්වයක් වහා ඇති කිරීමට යෝජනා මාලාවක් ඉදිරිපත් කළෙමු. ජනාධිපතිතුමා විසින් 2022 අප්‍රේල් මස 21 වන දාතමින් අප වෙත දන්වා ඇත්තේ එකී යෝජනා මාලාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි. එහෙත් මේ වන තෙක් මහජනතාව පත් වී ඇති අසීරුතාව කෙරෙහි සංවේදී වෙමින් රට තුළ උද්ගතව ඇති දේශපාලනික, ආර්ථික හා සාමාජිය අර්බුද විසඳීමෙහිලා සාධනීය මැදිහත් වීමක් සිදුකිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මහජන නියෝජිතයකු කටයුතු නොකිරීම පිළිබඳව අපගේ අප්‍රසාදය සහ කනගාටුව පළ කරමු.

පාර්ලිමේන්තුව තුළ සිය පක්ෂ දේශපාලන රටාව සහ ඒ හා සබැඳි අභිමතාර්ථයන් සඵල කරගැනීම වෙනුවෙන් ඇතැම් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව තුළ සිදුකරන පටු දේශපාලන අරමුණු පෙරදැරි කරගත් කතා සහ යෝජනා ආදිය මගින් ඔවුන් තුළ දේශපාලනික පරිණත භාවයක් නොමැති බවත් වත්මන් ගැටලු පිළිබඳව කිසිදු සංවේදී භාවයක් නොමැති බවත් ප්‍රකට වනු පෙනේ. එහෙයින් තවදුරටත් ජනතාව පීඩාවට පත්කරන අනර්ථකාරී අත්තනෝමතික පක්ෂ දේශපාලන තීරණ මත එළඹ සිටීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මහජන නියෝජිතයෙකුට සදාචාරාත්මක අයිතියක් තිබේද යන්න ප්‍රශ්න කළ යුතුව පවතී.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් 225 දෙනාම මේ මොහොතේ සාමුහිකව ජනහිතවාදීව මහජන විශ්වාසය දිනාගත හැකි විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතු වෙයි.

මෙරට රාජ්‍ය නායකත්වය ප්‍රමුඛ කොටගත් සෑම මහජන නියෝජිතයෙකුම දේශයේ සුරක්ෂාවත් මහජන සුබසාධනයත් උදෙසා කටයුතු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැඳී සිටින බැවින් පටු ආත්මාර්ථකාමී දේශපාලන න්‍යාය පත්‍ර මත පදනම් නොවී රටේ පවත්නා තත්ත්වය මනාව අවබෝධ කොට ගෙන ජනතා හඬට සවන් දී රට දේශපාලනික වශයෙන් ස්ථාවර කොට ආර්ථික දේශපාලනික සහ සාමාජීය අර්බුද විසඳා ගැනීමට උත්සුක විය යුතු වේ. එහෙයින් අප විසින් 2022 අප්‍රේල් මස 04 හා අප්‍රේල් මස 20 වන දාතමින් ඉදිරිපත් කරන්නට යෙදුණු ලිපිවල දැක්වෙන පරිදි එම යෝජනා මාලාව ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන මෙන් නැවත නැවතත් මෙයින් දන්වා සිටුම්හ. සියලු දේශපාලන පක්ෂ ඒකාබද්ධව වියතුන්ගෙන් සුසැදි සර්ව පාක්ෂික පොදු අන්තර් කාලීන පාලන ක්‍රමයක් ගොඩ නැගීමට උත්සුක වන ලෙස ද සිහිපත් කරම්හ.

මහා සංඝරත්නය ලෙස අපි කිසිවිටෙකත් පටු දේශපාලන අරමුණුවලට ගොදුරුව කිසිවකු හෝ බලයට ගෙන ඒමට හෝ බලයෙන් ඉවත් කිරීමට අපේක්ෂා නොකරමු. එහෙත් නොයෙක් බාධක කම්කටොළු මැද සිවුපසයෙන් මහා සංඝරත්නය පෝෂණය කළ හා කරන ලංකාවාසී මහජනයා අද වන විට ඉහළ යන ජීවන වියදම හමුවේ පත්ව ඇති දැඩි අසරණභාවය පිළිබඳව අපි සංවේගයට පත්වී සිටිමු. එහෙයින් ජනහිතකාමි දේශපාලන රටාවක් වෙනුවට ජනතා බදු මුදලින් වරප්‍රසාද භුක්ති විඳිමින් ආත්ම සුඛ විහරණය සඳහා පමණක් යොමු වී ඔබ සැම දෙනා කටයුතු කරන්නේ නම් ඉදිරියේදී මහජනතාවගේ දැඩි ප්‍රතික්‍රියාවන්ට මුහුණ දීමට සිදුවන බව ද වැඩිදුරටත් පෙන්වා දෙනු කැමැත්තෙමු.

සමන්ති වීරසේකර,සිරිල් විමලසුරේන්ද්‍ර
 

advertistmentadvertistment
advertistmentadvertistment