රට දිනවන ප‍්‍රතිපත්තිමය අරගලයට මග

284

සිංහල අවුරුදු සමය උදාවී ඇත. කොහාගේ නාදය වෙනුවට උද්ඝෝෂකයන්ගේ හඬ ඉස්මතු වී ඇත. සෞභාග්‍යය වෙනුවට තෙල් හිඟය, ගෑස් හිඟය හා විදුලි කප්පාදුව මෙන්ම ජීවන වියදම දරාගත නොහැකි මට්ටමට පත් වී ඇත. ජනතාව අන් කවරදාකටත් වඩා පාලකයන්ට එරෙහිව වීදි බැස ඇත. අර්බුදයේ වගකීම පාලකයන් විසින් භාරගෙන ගෙදර යා යුතු බව කියමින් සිටී. මේ සියලූම සටන් පාඨ සර්ව සාධාරණය වගකීමක් නැති, රට මේ තත්ත්වයට ඇද දැමූ පාලකයන් ගෙදර යැවිය යුතුව ඇත. එපමණක් නොව රට මේ තත්ත්වයට ඇද දැමීම වෙනුවෙන් ඔවුන් වගකිව යුතුය. එම විනාශයේ වන්දිය ඔවුන්ගෙන් අය කර ගත යුතුය. ඒ සඳහා ක‍්‍රමවේදයක් තිබිය යුතුය. සියල්ල එසේ සිදුවෙද්දී රට අරාජික වීමටද ඉඩදිය නොහැක. මන්දයත් පාලකයන්ගේ අවශ්‍යතාවය වී ඇත්තේ රට අරාජික කොට එහි වගකීමත් ජනතාව මත පැටවීමටය. එසේ වූවහොත් ජනතා අරගලය වැරදි දිසාවකට යොමු කෙරෙනු ඇත. එබැවින් ජනතා අරගලය දූෂිත පාලකයන් එලවා දැමීමට මෙන්ම නිවැරදි වැඩපිළිවෙළක් හරහා, ආර්ථික හා සමාජීය ස්ථාවරය ඇති කිරීම සඳහා යොමු කර ගත යුතුය. ඒ සඳහා වන විකල්ප වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීම තුළින් අරගලයට සමස්ත රටේ ජනතා සහය ලබා ගත හැකි වනු අතර එය රටේ ජයග‍්‍රහණය සඳහා වන ගමනේ අඩිතාලම වනු ඇත. එසේ නොවුනහොත් දූෂිත පාලකයන් ජනතා අරගලය තම වාසියට හරවා ගනිමින් මර්දනය දියත් කිරීම සඳහාත් රට තවදුරටත් ජාතික හා ජාත්‍යන්තර ඒජන්තයන්ට අවශ්‍ය පරිදි හැසිරවීමටත් යොදා ගනු ඇත. එම නිසා ප‍්‍රචන්ඩත්වයෙන් තොර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව තුළ මෙම පාලකයන් ඉවත් කිරීමටත් ප‍්‍රතිපත්තිගරුක වැඩපිළිවෙළක් හරහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයන්ද සහිතව රට ගෙන යන වැඩපිළිවෙළක් නිර්මාණය කර ගැනීමද මෙම අරගලයේ අවසාන අරමුණ විය යුතුය.

අද වන විට රටට ඇමැති මණ්ඩලයක් නොමැත. එමෙන්ම ඇමැතිවරු කිහිප දෙනෙක් පමණක් පත් කර තිබුණද, ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන සෞඛ්‍ය සඳහා මෙන්ම උගත් පරපුරක් බිහි කිරීම සඳහා වන අධ්‍යාපනය සඳහා ඇමැතිවරයෙක් පත් කර නැත. ඒ වෙනුවට මහාමාර්ග සඳහා ඇමැතිවරයෙක් පත් කර ඇත. මේ හරහා පාලකයන්ගේ පවතින අරගලය මෙන්ම අර්බුදය කෙරෙහි ඇති සංවේදීතාවය පැහැදිලි ය. ඔවුන් සුපුරුදු පරිදි තමන්ගේ කල් මැරීමේ න්‍යාය හා දූෂිත ගනුදෙනු පවත්වාගෙන යෑමේ ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක කරමින් සිටී. එවැනි තත්ත්වයක් තුළදී රටට ස්ථාවර වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකරන්නේ නම් අරගලයේ අරමුණ මුදුන් පමුණුවා ගැනීම අපහසු වනු ඇත.

ඕනෑම අර්බුදයක් විසඳන ක‍්‍රමවේදයක් ඇත. පළමුව අර්බුදය කුමක්ද යන්න හරි හැටි හඳුනාගත යුතුය. දෙවනුව අර්බුදය ඇතිවීමට හේතුව පැහැදිලි කරගත යුතුය. ඉන්පසු අර්බුදයට හේතු වූ කාරණය නැති කිරීමට සූදානම් විය යුතුය. එම හේතු නැති කිරීමට ක‍්‍රමවේදයක් හා වැඩපිළිවෙළක් තිබිය යුතුය. මේ මොහොත වන විට රටේ සමස්ත ජනතාව ජාති ආගම් කුල පක්ෂ භේදයකින් තොරව අරගලයට ආශිර්වාද කරමින් සිටී. එනම් මුළු රටම රටේ පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය හො`දින් වටහාගෙන ඇත. එමෙන්ම එම අර්බුදයට හේතුව දූෂිත පාලකයන් හා දූෂිත වූ පද්ධතිය (System) යන්න වටහා ගෙන ඇති අතර එම හේතු නැති කිරීම සඳහා දූෂිත පාලකයන් ඉවත් කිරීමත් රාජ්‍ය යාන්ත‍්‍රනවල පද්ධති වෙනසක් (System Change) අවශ්‍ය බවද අවබෝධ කරගෙන ඇති බව පෙනෙන්නට ඇත. නමුත් මෙම අර්බුදයට හේතු වූ කාරණා ඉවත් කිරීමේදී පාලකයන් ගෙදර යැවීමත් නව ක‍්‍රමයක් ස්ථාපිත කිරීමත් (New system establishment) කරන ක‍්‍රමවේදය පිළිබඳ
වැඩපිළිවෙළක් ප‍්‍රකාශයට පත් වී නොමැත. එය වහාම පවතින ව්‍යවස්ථා රාමුව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයෙන් ප‍්‍රචන්ඩත්වයෙන් තොරව සිදු කළ යුතුමය. එහිදී අප විසින් මේ මොහොතේ රටේ දේශපාලනික ආර්ථික හා සමාජීය ස්ථාවරභාවය ඇති කිරීම සඳහා අවශ්‍ය වන ප‍්‍රධාන අංශ 10 ක් හෝ 15 ක් හඳුනාගත යුතුය. එම අදාළ අංශ හරහා විද්වත් මණ්ඩල පක්ෂ පාට භේදයකින් තොරව පත් කර ගත යුතුය. එම කමිටු ඒ ඒ ක්ෂේත‍්‍ර සඳහා කෙටිකාලීන මධ්‍යකාලීන හා දිගුකාලීන විසඳුම් කාල රාමු සහිතව ඉදිරිපත් කළ යුතු අතර එම යෝජනා මාලාව ජනතාව අතරට ගෙන ගොස් ඔවුන්ගේ අදහස් ලබා අවසන් ලියැවිල්ලක් ”ජාතික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක්” ලෙස ඉදිරිපත් කොට එය පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත කළ යුතු බව මහජන නියෝජිතයන්ට බල කළ යුතුය. මෙම අංශ 10 හෝ 15 සඳහා තාවකාලික ඇමැති මණ්ඩලයක් සර්ව පාක්ෂිකව ඒකමතිකභාවයෙන් පත් කර ගත යුතු අතර අවශ්‍ය දක්ෂතාවය ඇති පිරිස් පාර්ලිමේන්තුව තුළ නොමැති නම් ජාතික ලැයිස්තුව හරහා අදාළ පිරිස් පාර්ලිමේන්තුවට ගෙන ඒමටත් ඔවුන්ට මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීම සඳහා නායකත්වයක් ලබා දීම කළ හැක.

ඕනෑම ඇමැති තනතුරක් භාර ගන්නා පුද්ගලයෙක් කළ යුතු වැඩපිළිවෙළ ජාතික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුගතව ඉදිරිපත් කළ යුතු අතර නිශ්චිත කාල රාමුවක් තුළදී අදාළ අංශවල ප‍්‍රගතිය සමාලෝචනය කිරීමට ජාතික විගණනයකට අනුගතව කළ යුතුය. එහිදී ජාතික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයන්ට අනුගත ප‍්‍රගතිය පෙන්විය නොහැකි ඇමැතිවරුන්ට එරෙහිව ගත හැකි නීතිමය ක‍්‍රියාමාර්ග මෙන්ම ඇමැති ධූරයෙන් ඉවත් කිරීම හා රටට සිදු වූ පාඩුව අදාළ පුද්ගලයන්ගෙන් හෝ වගකිව යුතු කණ්ඩායමෙන් අයකර ගැනීමේ ක‍්‍රමවේදයක් මෙම පාර්ලිමේන්තුව තුළින්ම සම්මත කර ගත යුතුව ඇත.

එවිට ඇමැතිධුර ලබා ගැනීම හුදු වරප‍්‍රසාද ලබා ගන්නා ක‍්‍රමවේදයක් නොව වගකීම් සමුදායක් රට වෙනුවෙන් ඉෂ්ට කිරීමේ භාරධූර කාර්යයක් වනු ඇත. ඒ හරහා එම හැකියාව හා කැපවීම නැති පිරිස් පමණක් මෙම තනතුරුවලට පත්වීම වැළැක්වීමටත් ඒ හරහා සැබෑ ලෙසටම රටට ආදරය කරන, සේවයක් සඳහා කැපවෙන පිරිස් රටේ පාලනයට වගකීමක් සහිතව පත් කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. මේ ආකාරයට ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයාගේ සිට ජනාධිපතිවරයා දක්වාම අවම සුදුසුකමක් සහිත අවම ප‍්‍රමිතියක් මේ පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගත යුතුව ඇත. එවිට පාර්ලිමේන්තුව සැබෑ ලෙසටම උත්තරීතර වනු ඇත. මුදල් හම්බ කිරීම වෙනුවට රට දියුණු කිරීමට කැපවීමක් සහිත පිරිස් පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇත. ඒ හරහා අවශ්‍ය කරන පද්ධති වෙනස (System Change) සිදු කෙරෙනු ඇත.

මෙම ජාතික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් එළිදැක්වීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කිරීමටත් එම වැඩපිළිවෙළ සකස් කිරීම සඳහා රටට ආදරය කරන ඒ ඒ ක්ෂේත‍්‍රවල විද්වතුන් සම්බන්ධීකරණය සිදු කිරීමත් ඒ හරහා අර්බුදයට හේතු වූ කාරණා ඉවත් කරගන්නා මාර්ගය එළිදැක්වීමත් ඊට අවශ්‍ය නීති සම්පාදනය කිරීම සඳහා ජනතා සහයත් ලබාගත යුතුව ඇත. ඒ තුළින් ජනතා අරගලය රට ස්ථාවර කරන ජයග‍්‍රහණයකින් අවසන් කළ හැකි වනු ඇත. මෙම ඇති කරන වැඩපිළිවෙළ රට දිනවන තෙක් රැගෙන යන තුරු සමස්ත ජනතාව අවදියෙන් සිටිය යුතුමය. ඒ සඳහාද යාන්ත‍්‍රණයක් සකස් කර ගත යුතුමය.

එකමුතුකමින් හා සංයමයෙන් ප‍්‍රතිපත්ති ගරුකව අරගල කර රට දිනවමු.

වෛද්‍ය නවීන් ද සොයිසා,
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.

advertistmentadvertistment
advertistmentadvertistment