රට දියුණු කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහට පමණයි යන්න කිසිදු විවාදයක් නෑ

103

යහපාලනය එලවා දැමූ මේ ආණ්ඩුව කළේ රට බංකොලොත් කිරීමයි-එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන
 

යහපාලන ආණ්ඩුව එලවා දමා මේ ආණ්ඩුව කළේ රට බංකොලොත් කිරීම යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.රුවන් විජයවර්ධන මහතා මේබව ප්‍රකාශ කළේ කොළඹදී පෙරේදා (25දා) විද්වත් වෘත්තිකයන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවේදීය.

රටේ පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගතහැකි එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා බව අද රටේ බහුතරයකගේ හෘද සාක්ෂිය පිළිගන්නා බවත් ප්‍රකාශ කළ විජයවර්ධන මහතා මහා සංඝරත්නය, විද්වත් වෘත්තිකයන් මෙන්ම පහළම තලයේ ගැමියා දක්වා මෙය පිළිගන්නා නමුත් රටේ අවාසනාවකට ඔවුන් එය එළිපිට කීමට මැලිකමක් දක්වන්නේ යැයිද කීවේය. වත්මන් රජය වසර තුනකදී අත් කර දුන් එකම ඉරණම වන්නේ ලෝක උද්ධමන දර්ශකයේ තුන්වන ස්ථානයට ලංකාව රැගෙන ඒම බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා මෙසේද කීය.

රටේ උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ජනතාව දැඩි ජීවන බරකින් පෙලෙමින් සිටිනවා. ලෝක උද්ධමන දර්ශකයේ ඉහළටම ලංකාව ගෙන යන්න මේ ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. අපි අද වන විට ඉන්නේ තුන්වන ස්ථානයේයි. අපිට උඩින් ඉන්නේ ලෙබනනය හා සිම්බාබ්වේ.

2015ට කලින් මේ ආණ්ඩුව උද්ධමන දර්ශකයේ ඉහළට ගෙන එද්දී තමයි අපි ආණ්ඩු බලය ගත්තේ. එම නිසා අපි උද්ධමන දර්ශකයෙන් පහළට ගමන් කරන්න පටන් ගත්තා. වත්මන් ආණ්ඩුවේ සමහර පුද්ගලයෝ කියනවා අපි ණය ගත්ත නිසා තමයි මේ තත්ත්වයට රට ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි ගත්ත ණය 80% කින්ම කළේ මහින්ද රාජපක්ෂ රජය අරගෙන තිබුණු ණය ගෙවපු එකයි. ගත්ත ණය වලින් සංවර්ධනයට යොදන්න හැකියාව ලැබුණේ 20% ක් පමණයි.

එයාලා ගත්තු ණයවල පව් ගෙවන්න සිද්ධ වුනේ අපිටයි. හම්බන්තොටට ගිහින් බලන්න එයාලා ගත්ත ණයවලින් ඉදිකර තිබෙන කාටවත් ප්‍රයෝජනයක් නැති ගොඩනැගිලි කොපමණ තියෙනවාද කියලා. හම්බන්තොට නගරයේ කෝටි ගණනක මුදලක් වැය කර සම්මන්ත්‍රණ ශාලාවක් හැදුවත් එයින් තවමත් කිසිඳු ආදායමක් උපයලා නෑ. සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයත් එහෙමයි. මත්තල ගුවන් තොටුපොල, හම්බන්තොට වරාය තවමත් ගත්ත ණය ගෙවන්න තරම් ආදායම් උපයලා නෑ.

හොඳම සුදු අලියා වෙන්නේ නෙළුම් කුළුණ. වියදම් කරපු මුදලින් එක රුපියලක් තවම ආදායම් ලෙස එකතු වෙලා නෑ. ඉතින් මේවට ගත්ත ණය තමයි අපි අපේ ආණ්ඩුව කාලේ ගෙව්වේ. ඒවට අපට ණය ගන්න සිද්ධ වුණා. හැබැයි අපි සියළු ණය ගෙවන ගමන් ජනතාවට සහනත් දුන්නා. අපි ආණ්ඩුව ගත්ත ගමන් රජයේ සේවකයන්ට රුපියල් 10,000 කින් පඩි වැඩි කළා. ගෑස් මිල අඩු කළා.

වත්මන් ආණ්ඩුව මොනවද කළේ. පුළුවන් තරම් ජාතිවාදය වැපිරුවා. බොරු කිව්වා. සුවසැරිය ගිලන් රථ සේවය ගේනකොට මොනතරම් දේවල් කිව්වද? හැබැයි කොවිඩ් වලදී වඩාත්ම ප්‍රයෝජනවත් වුනේ සුවසැරිය නොවෙයිද? යහපාලන ආණ්ඩුව කරපු දේවල් කියන්න ගියොත් දවසක් මදි වේවි. හැබැයි ජනතාව විශ්වාස කළේ අපි ඔවුන්ගේ ඇඟට දැනෙන්න කරපු දේවල් නොවෙයි. එයාලාගේ හිතට දැනුනේ වත්මන් ආණ්ඩුව විපක්ෂයේ ඉදන් කියපු සුන්දර ජාතිවාදී බොරු ටික පමණයි.

අපිව එලවලා ගත්ත මේ ආණ්ඩුවෙන් ජනතාවට ලැබුණේ මොනවද? බංකොලොත් රටක් විතරයි. අපි වැඩි කරපු 10,000 නිසා රජයේ සේවකයෝ යන්තම් කනවා බොනවා. හැබැයි එතනින් එහාට ඔවුන්ට කිසි දෙයක් කළේ නෑ . හාල් කිලෝව රුපියල් 200 සීමාව පැනලා. පරිප්පු කිලෝව රුපියල් 500 ට ලංවෙලා. එදා අඩුවටම තිබුණේ පරිප්පු විතරයි. දැන් හෝටල්වලත් පරිප්පු නෑ.

ආණ්ඩුව පැමිණි පසු මුලින්ම කළේ වැට් බද්ද අඩු කරලා ව්‍යාපාරිකයන්ට සහන දුන්නු එකයි. එතනින් අපට රුපියල් බිලියන ගණනක් අහිමිවුනා. ඊට පස්සේ සීනි බදු අඩු කරලා ව්‍යාපාරිකයන්ට සහන දුන්නා. එතනිනුත් රටට රුපියල් කෝටි 600 ක මුදලක් අහිමි වුණා. අනෙක් පැත්තෙන් කොවිඩ් එන්නත නියමිත වේලාවට නොගැනීම නිසා අපිට ඩොලර් 10 ට අඩුවෙන් ගන්න තිබුණ එන්නතක් ගන්න වුනේ ඩොලර් 15 ත් ඉක්මවලායි.

මීට කලින් අපි හිටියේ දියුණුවෙමින් පවතින රටක් ලෙසටයි. අපි ලෝකයට කියනවා අපි ගත්ත ණය ගෙවන්නේ නෑ කියලා. ඉතින් අපි කොතනද ඉන්නේ කියලා ලෝකයටම පෙනෙනවා. ණය ගෙවන්න බැරි රටකට ආයෝජකයෝ එන්නේ නෑ. දවසට පැය ගණනක් විදුලිය කපන රටකට ආයෝජකයෝ එන්නේ නෑ. ඉන්ධන පෝලිම් තියෙන රටවලට ආයෝජකයෝ එන්නේ නෑ. ආයෝජන කලාපවල ඉන්න ආයෝජකයොත් දැන් කර්මාන්ත වසා දමා යන්න හදනවා. අපේ මූල්‍ය අර්බුදයේ වාසිය ගන්නේ බංග්ලාදේශය. ලංකාවට එන්න හදපු ආයෝජකයෝ දැන් එතනට යන්න හදනවා.

ඉන්ධන, ගෑස්, බෙහෙත් හා ආහාර අර්බුදයක් අබියසට දැන් අපි ඇවිල්ලා හමාරයි. මේ මොහොතේ රට දියුණු කරන්න පුළුවන් එකම කෙනා රනිල් වික්‍රමසිංහ මහතා බවට කිසිදු අවිවාදයක් නෑ. හැමෝම එය පිළිගන්නවා. හැබැයි කව්රුත් එය ප්‍රසිද්ධියේ කියන්න කැමැති නෑ. හැබැයි හෘද සාක්ෂිය

පිළිගන්නවා. ඉතින් අපි කියන්නේ හෘද සාක්ෂිය කියනදේ ප්‍රසිද්ධියේ කියන්න. රනිල් වික්‍රමසිංහට රට බාර නොදෙනතාක් රට පස්සට යන්නේ.

ආණ්ඩුව රඹුක්කනදී කළා මෙන් හමුදාව, පොලිසිය යොදවා ජනතා නැගිටීම් තුවක්කුවෙන් මර්දනය කරාවි. ඊට පෙර තමන්ට තිබෙන අවස්ථාව භාවිතාකර රනිල් වික්‍රමසිංහට රට බාර දෙන වගකීම ඉටු කරන ලෙස අපි ජනතාවට සිහිපත් කරනවා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment