රට නංවමු; නැතිනම්…

714

ලබන සතියේ 13, 14, 15 යන තෙදින කොළඹ වරාය තුළ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වරායේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේලු! මේ වර්ජනය පැවැත්වෙන්නේ ආණ්ඩුවේ අලුත් පනතට එරෙහිව ය. වරාය සේවකයන්ගේ වැටුප් හා වේතන ගැන කතා කිරීමෙන් වැළකී සිටීමට මේ අවස්ථාවේදී අපි තීරණය කළෙමු. ඔවුන්ගේ වැටුප ගැන හරිහැටි දන්නවා නම් රුපියල් තිස් හතලිස්දාහ මාසික පඩි ලබා පස් හයදෙනකුගෙන් යුත් පවුල් නඩත්තු කරන මේ රටේ ඇතැම් ජනයා පොලු අරගෙන වරාය ළඟ රැක සිටින බව ස්ථිර ය. දැනට ලැබෙන ආරංචිවල හැටියට 13 සහ 14 දෙදින පැවැත්වෙන්නේ සංකේත වැඩ වර්ජනයකි. 15 දා සම්පූර්ණ වැඩ වර්ජනයක් පැවැත්වෙන අතර එම වර්ජනය හේතුවෙන් වරාය තුළ නැව් මෙහෙයුම් කටයුතු සහ බහාලුම් මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන් නැවැත්වීමට කටයුතු කරන බව දැනගන්නට තිබේ. 13 දාට තව දින කිහිපයක් ඇත. මේ දින කිහිපය තුළ වරාය සේවකයන් සමග සාකච්ඡා කර කිසියම් ගේමක් ගසා ගැනීමට ආණ්ඩුව කටයුතු කරනු ඇත. මෙහිදී අපට ඇති ලොකුම ප්‍රශ්නය වන්නේ රටක් නංවාලීමට නොව කඩාකප්පල් කිරීමට මිනිසුන් තුළ කොපමණ ආසාවක් ඇත්ද යන්නය. රට නංවමු යැයි කියමින් එකකු නැගී සිටින විට රටට කෙළවමු යැයි කියමින් තවත් දාහක් නැගී සිටිනවා ඇත. මෙහිදී කවර හෝ පියවරක් ගෙන ජනතාවට හිරිහැරයක් නොවන අන්දමින් රටේ දෛනික කටයුතු පවත්වාගෙන යෑම ආණ්ඩුවේ වගකීම වේ. බලය ඇල්ලිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් මිස ත්‍රස්තවාදය තුළින් නොවේ.

ශිෂ්ටාචාරයේ ආරම්භයත් වරාය නමැති සංකල්පයේ ආරම්භයත් එකට ආරම්භ වූ බව පෙනේ. මුලින්ම වරායක් ලෙස හඳුන්වන ලද්දේ මුහුදින් වෙන්වූ ගොඩබිම් දෙකක් තුළ පිහිටි පිහිනාගෙන හෝ ප්‍රාථමික මුහුදු යාත්‍රාවල නැගී හෝ මිනිසුන්ට ගොඩබැසිය හැකි ස්ථානයකි. මුලදී වරාය යනු නිකන්ම නිකන් වෙරළකි. ප්‍රාථමික මිනිසුන් සාගරය හරහා වෙනත් ගොඩබිම් බලා ගියේ එක්කෝ කෑම සෙවීමටය. නැත්නම් එම ආගන්තුක ගොඩබිම්වල කුමක් තිබෙනවාද යන කුතුහලය සංසිඳවා ගැනීමටය. මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ දියුණුව පිටුපස කුතුහලය නමැති සාධකය ද අඩුවක් නැතිව තිබිණ. නිකන්ම නිකන් වෙරළකට දිගින් දිගටම මිනිසුන් ගොඩබසින විට එතන කිසියම් කාර්යබහුල තත්ත්වයක් හටගනී. එවිට මිනිස්සු තමන්ට අභිමත පරිදි තමන් ගොඩබසින වෙරළ සකස් කර ගනිති. ලෝකයේ පැරණිම වරාය අවුරුදු 4500 කට පෙර සාදන ලදි. රතු මුහුදේ ඊජිප්තු වෙරළේ පිහිටි එම වරාය නයිල් නිම්නය සහ රතු මුහුද යා කරන එකම මාර්ගය විය. අවුරුදු 4500 ට පෙර ඊජිප්තුවේ රතු මුහුදු වෙරළේ එවැනි වරායක් තිබූ බව සොයාගන්නා ලද්දේ 1832 දීය. මේ වරාය මීට අවුරුදු 4500 ට පෙර කොතරම් දියුණු තත්ත්වයක පැවැතියේ ද යත් ලෝකයේ මුල්ම නැංගුරම් 100 ක් එම ස්ථානය කණිද්දී හමුවිය. ඊට අමතරව වරායට ගෙනෙන බඩු තැන්පත් කිරීම සඳහා මැටිවලින් සාදන ලද විශාල දරණු තොගයක් ද කැණීම්වලදී හමුවිය. මේ වරාය සාදා තිබූ ඊජිප්තුවේ හතරවෙනි රාජවංශ සමයේ තොරතුරු සහිත පැපිරස් පත්‍ර ද එහි විය. මේ වරායේ ජැටියක් තිබී නැත. එයට හේතුව නැංගුරම් සහිත විශාල බෝට්ටු මිස නැව් මේ වරායට නොපැමිණීමය. එකල විශාල නාවික යාත්‍රා ලොව කිසිම රටක තිබුණේ ද නැත. මෙහිදී නෝවාගේ යෝධ නැව පිළිබඳ සංකල්පය සාකච්ඡා කරනු නොලැබේ. ඉතිහාසය යනු ප්‍රබන්ධ සහ සාක්ෂිවල එකතුවකි. මෙහිදී ප්‍රබන්ධය කුමක්ද සාක්ෂිය කුමක්ද යන්න වෙන්කර ගැනීම දුෂ්කරය. නෝවාගේ නැවේ කැබලි ලෙස සැලකෙන ලී පතුරු සොයාගෙන ඇත. නෝවාගේ නැව යන සංකල්පයට අපි අභියෝග නොකරමු.

කොළඹ වරාය අවුරුදු 2000 ක් පරණය. ඉන්දියන් සාගරය හරහා වෙළඳාමේ ගිය රෝමන්, අරාබි, චීන වෙළෙන්දෝ තමන්ගේ නැව් නැවැත්විය හැකි ලංකාවේ හොඳම ස්ථානය තෝරා ගැනීමෙන් පසු එම ස්ථානය පාදක කරගෙන කොළඹ වරාය ක්‍රමයෙන් ගොඩනැගිණ. එකල කොළඹ යන වචනය පවා තිබුණේ නැත. 1505 දී පෘතුගීසිකාරයන් කොළඹ වරායට පැමිණ වසර කිහිපයක් තුළ එය යම් ප්‍රමාණයකට සංවර්ධනය විය. 1638 දී ඕලන්ද ජාතිකයෝ මේ වරාය තවත් දියුණු කළහ. 1796 දී බ්‍රිතාන්‍යයට නතුවූ කොළඹ වරාය පසු කාලයේදී ජාත්‍යන්තර වරායක් බවට පත්වීම සඳහා මූලික පියවර තැබීය. අද වනවිට කොළඹ වරාය තුළ ජාත්‍යන්තර මට්ටමේ කන්ටේනර් පර්යන්ත හතරක් ඇත. නැගෙනහිර පර්යන්තය ඉදිකෙරෙමින් පවතින අතර බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ද ආරම්භ වනවා ඇත. 2016 දී කොළඹ වරාය දකුණු ආසියාවේ විශාලතම සහ කාර්යබහුලතම වරාය බවට පත්වේ. මේ මාසයේ 13,14,15 යන තෙදින වෘත්තීය සමිති විසින් නවතන්නට යන්නේ මේසා විශාල ඉතිහාසයක් තිබෙන වරායකි. මෙහිදී තවත් වැදගත් කතාවක් කියමු. අප දන්නා පරිදි කොළඹ වරායට හිමි තැන මේ වනවිට ලැබී ඇත්තේ සිංගප්පූරුවේ වරායට ය. දේශපාලනඥයන්ගේ හිඟන වැඩ සහ වෘත්තීය සමිතිවල කුහුක වැඩ නිසා මේ තත්ත්වය ඇති විය.

සිංගප්පූරුව යනු 1963 වන විටත් ධීවර ගම්මානයකි. චීන සම්භවයක් ඇති ධීවරයෝ එහි වාසය කළහ. මේ ධීවර ගම්මානය රටක් බවට පත්කිරීම සඳහා නායකත්වය ගන්නේ ලී ක්වාන් යූ ය. එකල සිංගප්පූරුව නමැති ධීවර ගම්මානයේ තිබුණේ මුහුදු වැලි සහිත සුදුපාට පසක් පමණි. මේ පසේ ගස් වැවීමට නොහැක. ඒ නිසා ලී ක්වාන් යූ පිටරටවලින් පස් ගෙන්වා මේ ධීවර ගම්මානය පුරා ඇතිරුවේය. අවුරුදු තුන හතරක් වහින විට මේ අලුත් පස මහ පොළොව සමග බද්ධ විය. හැබැයි මේ ධීවර ගමේ කිසිම තැනක ගස් තිබුණේ නැත. මෙවිට ලී ක්වාන් යූ අහල පහල රටවලින් ගස් වර්ග ඉල්ලා සිටියේය. ඔහුට ගස් ලබා දුන්නේ ලංකාව පමණි. එවකට සිටි ශ්‍රී ලංකා අගමැති ඩඩ්ලි සේනානායක කැමති තරමක් ගස් නොමිලයේ ශ්‍රී ලංකාවෙන් ගලවාගෙන යන ලෙස ලී ක්වාන් යූට දැන්වීය. සිංගප්පූරුව පුරා අදටත් වැවී තිබෙන්නේ ඒ ගස්ය. සිංගප්පූරුව යම් තරමකට දියුණු වූ පසු ලී ක්වාන් යූ ලංකාවේ සංචාරයක නිරත විය. ඒ අතර ලංකාවේ වරාය වර්ජනයක් ඇති විය. එහි බියකරු බව දුටු ලී කවාන් යූ වහාම සිය රටට ගොස් වහාම සියලුම වැඩ වර්ජන තහනම් කළේය. අදටත් එම රටේ වැඩ වර්ජන තහනම් ය. අද වන විට සිංගප්පූරුව ලෝකයේ දියුණුම රටවලින් එකකි.

advertistmentadvertistment
advertistmentadvertistment