රට පුරාම ජනතාව උද්ඝෝෂණ කරද්දී පාලකයෝ බංකර්වල හැංගිලා

228
  • විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

මේ රටේ බලයට පත්වූ ආණ්ඩු 14න් රට බංකොළොත් කළේ වත්මන් පොහොට්ටු ආණ්ඩුවයි. එම ආණ්ඩුවේ පාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයිද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (29 දා) මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

1948 අපිට නිදහස ලැබුනට පස්සේ අද වෙනකොට ආණ්ඩු 14ක් බලයට පත් වෙලා තියෙනවා. නමුත් කිසිම ආණ්ඩුවක් මේ රට බංකොළොත් කළේ නෑ. රට බංකොළොත් කරපු එකම ආණ්ඩුව තමයි වත්මන් පොහොට්ටු ආණ්ඩුව. ගෝඨාභය, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තමයි අපේ රට බංකොළොත් කරපු ආණ්ඩුව. අද මේ ආණ්ඩුවට දැන් ජන වරමක් නෑ. රට බංකොළොත් කරපු ආණ්ඩුවකට ජන වරමක් තියනවද? ලංකාව පුරාම විරෝධතා. අද පාලකයෝ බංකර්වල. සති ගාණකින් ජනාධිපතිතුමා පේන්න නෑ. මෙහෙම හැංගිලා රට පාලනය කරන්න පුළුවන්ද?

2019 ලැබුන ජනවරම අද නෑ. විරෝධතාවල ඉන්නේ පොහොට්ටුවට ඡන්දය දීපු අය. මේ රටේ අර්බුදයට වගයකියන්න ඕනේ පොහොට්ටුවට ඡන්දය දීපු අය සහ පොහොට්ටුවට කඩේ ගියපු අය. මේ අය ඉදිරියට ඇවිල්ලා මේ ප්‍රශ්නය විසඳන්න ඕනේ. ඔක්කොමලා අහනවා ඉදිරි පියවර මොකක්ද කියලා? මිත්‍රවරුනි ජනධිපතිතුමා අගමැතිතුමා වහාම ඉල්ලා අස්වෙන්න ඕනේ. බොරු තර්ක ගේනවා මේ අය අස් වුණොත් රට අරාජික වෙනවා කියලා. රට අරාජික වෙලා තියෙන්නේ මීට වඩා වෙන්න දෙයක් නෑ.

අපේ රටට දැන් අවශ්‍ය ජන මතයකින් පත්වෙන ආණ්ඩුවක්. එවැනි ආණ්ඩුවකට පමණයි මේ රට ඉදිරියට අරගෙන යන්න පුළුවන්. මොකද ජනතාව කාලයක් දෙනවා නැවත රට යථා තත්ත්වයට පත් කරන්න. නමුත් මේ අයට කාලයක් දෙන්න සූදානම් නෑ. ඒ වගේම ජාත්‍යන්තර ආධාර ගන්න වත්මන් ආණ්ඩුවට බෑ. ජාත්‍යන්තරයවත්, දේශීය වශයෙනුත් පචවෙලා ඉන්නේ. ඔලු ගෙඩි මාරු කරලා හදන භාරකාර ආණ්ඩුවලට අනාගතයක් නෑ. අපි යෝජනා කරනවා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඉල්ලා අස්වූවාට පසු දෙගොල්ලොම එකතුවෙලා පාර්ලිමේන්තුවට බලය ලැබෙන ආකාරයක ව්‍යවස්ථා සංශෝධන ගෙනල්ලා ඉදිරියට යෑම සුදුසුයි කියලයි.

සමගි ජන බලවේගයට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුනේ 23%යි. ජනතාව අපිට කිව්වේ විපක්ෂයේ ඉන්නයි. ආණ්ඩු හදන්න අපිට ජනවරමක් දීලා නෑ. අපි ඒක තේරුම් ගත යුතුයි. මහානායක ස්වාමින් වහන්සේලා ජනාධිපතිතුමාට යොමු කරපු ලිපියේ පැහැදිලිවම තියනවා භාරකාර ආණ්ඩුවට සමාන්තරව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන්න කියලා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන්න අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී පොරොන්දු වුණා. නමුත් පස්සේ කැබිනට් රැස්වීමේදී 19ය බලාත්මක කරන්න යෝජනා කළාම කැබිනට් මණ්ඩලය විරුද්ධ වෙලා තියනවා. මේක තමයි තත්ත්වය. 2019 ආණ්ඩුව භාර දෙනකොට අපේ විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් මිලියන 7900ක් තිබුණා. ඒ මුදල අද බිංදුවට අඩු කරලා තියනවා. මේ විදියට රට බංකොළොත් කිරීම පිළිබඳව මේ පාලකයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මොකද අපේ රටේ කිසිම ආණ්ඩුවක් රට මෙහෙම තත්ත්වයකට පත් කළේ නෑ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment