රට පුරාම භූමිතෙල් හිඟයක්: භූමිතෙල් ළිප් වේලෙනවා පාරිභෝගිකයන්ගෙන් මැසිවිලි

89

රටපුරා භූමිතෙල් හිඟය තවදුරටත් පවතින බවට පාරිභෝගික ජනතාව චෝදනා කරති.

මේ හේතුවෙන් භූමිතෙල් ළිප් භාවිත කළ ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. භූමිතෙල් මිල වැඩි කළ ද භූමිතෙල් කිසිදු තැනක නොමැති බව ද භූමිතෙල් හිඟය මාස කීපයක සිට පවතින ගැටලුවක් බව ද ඔවුහු කීහ.

අප මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් බෙඳුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතාගෙන් විමසූ විට මෙසේ පැවසීය.

“භූමිතෙල් රටේ නැහැ. ලබන සතිය වෙනකොට මේ ප්‍රශ්නය විසඳේවි. භූමිතෙල්වලට සමාන එකක් ලංකාවට ගෙන්වන කතාවක් යනවා.”
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

භූමිතෙල් හිඟයක් නෑ : සමහර ෂෙඩ් එපා කියනවා- විදුලිබල ලේකම්

රට තුළ භූමිතෙල්වල හිඟයක් නැතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා පැවසීය.

සපුගස්කන්ද පිරිපහදුව ක්‍රියාත්මක නොවීම නිසා භූමිතෙල් නිෂ්පාදනය නොවුණත් ගුවන් යානා ඉන්ධන (ජෙට් ් – 01) සංස්ථාව සතුව ඇති බවත්, එම ඉන්ධන ධීවර සහ වතුකරය ඇතුළු අවශ්‍ය ප්‍රදේශවලට ලබාදෙන බවත් ඒ මහතා පවසයි.

ඇතැම් ඉන්ධනහල් භූමිතෙල් ලබාගෙන දින 15 ක් 20 ක් ගබඩා කර තබාගෙන අලෙවි කිරීමට මැලිකමක් දක්වන අතර ඇතැම් ඉන්ධනහල් භූමිතෙල් අවශ්‍ය නොවන බව දැනුවත්කර තිබෙන බවත් ඒ මහතා කීය.

සපුගස්කන්ද පිරිපහදුව නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, ඒ සඳහා බොරතෙල් නැව් දෙකතුනක් ගෙන්වා ගැනීමට කටයුතු කර තිබෙන බවත් කී ලේකම්වරයා එක නැවක් පැමිණි පසු පිරිපහදුව විවෘත කර එම බොරතෙල් අවසන් වූ විට පිරිපහදුව වැසීමට යෑම පිරිපහදුවේ ක්‍රියාකාරීත්වයට යෝග්‍ය නොවන බව ද වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment