රට පුරා රෝහල් ලෙඩවෙයි – පැරසිටමෝල් පෙත්තක්වත් නෑ: ෆාමසිවල බෙහෙත් ගිනි ගණන්

251

කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් රැසක අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ වර්ග ඇතුළු ශල්‍ය උපකරණවල හිඟයක් පවතින බැව් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පවසයි.

ඊයේ (19දා) ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ඖෂධ හිඟය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා මෙසේද කීවේය.

“කරාපිටිය රෝහලේ මෙන්ම අනිකුත් රෝහල්වලත් ජීවිතාරාක්ෂක ඖෂධ මෙන්ම එදිනෙදා සාමාන්‍ය රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධවල හිඟයක් තියෙනවා. ඖෂධ උපකරණත් හිඟයි. ඖෂධ අඛණ්ඩව රෝහලේ වාට්ටුවලට ලැබෙන්නේ නැහැ. ඖෂධ නොලැබීමේ තත්ත්වයක් තියෙනවා. සිහිනැති කිරීම සඳහා භාවිත කරන ඖෂධ, හිසට සිදුවන හානියකදී ප්‍රතිකාර කිරීමට ගන්නා ඖෂධ වර්ගවල මෙන්ම රුධිර කාන්දු පෙරණයේදී භාවිත කරන ඖෂධ කරාපිටිය රෝහලේ හිඟයි. එමෙන්ම පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ සහ ලේ වර්ධනය කිරීමට ලබාදෙන ඖෂධත් හිඟයි.

පැරසිටමෝල් පෙත්තේ සිට වමනය සඳහා ලබාදෙන ඖෂධ මෙන්ම උදරයේ දැවිල්ලට ලබාදෙන ඖෂධවල පවා උග්‍ර හිඟයක් තියෙනවා. මුත්‍රා බට දමා ඇති රෝගීන්ට ආහාර ලබාදීම සඳහා නාසයෙන් ඇතුළු කරන බට, ශ්වසන පද්ධතිය ක්‍රියාත්මක කර ගැනීම සඳහා ශල්‍යාගාරවල හා දැඩිසත්කාර ඒකකවල භාවිත කරන උපකරණ සොයාගත නොහැකි තත්ත්වයට පත්වෙලා.

රෝහලේ ඖෂධ නැතිවූ විට බාහිර ඔසුහල්වලින් එම ඖෂධ ලබාගත්තා. නමුත් මේ වනවිට ඔසුහල්වල පවා එම ඖෂධ හිඟවෙමින් තිබෙනවා. ශල්‍ය වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩලය තම ආරක්ෂා සඳහා භාවිත කරන උපකරණවලද උග්‍ර හිඟයක් තිබෙනවා. ඖෂධවල අධික මිල රෝගීන්ට දරාගැනීමට බැහැ. සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට ලක්වෙලා. මේ සඳහා රජය වහා මැදිහත් විය යුතුයි” යැයිද නිශාන්ත සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි, හිනිදුම- රවින්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment