රට බංකොලොත් වුණු හැටි මහ බැංකු අධිපති හෙළිකරයි

801

2020 පොලී සහ විනිමය අනුපාත එකම අගයක තබාගෙන කළේ හානියක්
මහ බැංකුව පාලනයට නව මණ්ඩල දෙකක්

පොලී අනුපාත සහ විනිමය අනුපාත එකම අගයක තබා ගැනීමට 2020 දී මහ බැංකුව ගත් වැරදි තීරණය රට බංකොළොත් වීමට හේතු වූ ප්‍රධාන කරුණු දෙක යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳ පැහැදිලි කිරීමේ දේශනයකට එක්වෙමින් අධිපතිවරයා මේ බව ඊයේ (16 දා) සඳහන් කළේය.

2020 දී මහ බැංකුවේ මතය වෙනස්වීම නිසා දේශීය සහ විදේශීයව ඉල්ලුම පාලනය කරන්න මහ බැංකුවට තිබූ එම ප්‍රධාන උපකරණ දෙක නැතිවූ බවත් එය හරියට අත්දෙක ගැට ගසා දැමීමක් ලෙස හුවා දැක්විය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකු නව පනත් කෙටුම්පත ගෙන ඒම මගින් බලාපොරොත්තු වන්නේ මුදල් පාලනය කිරීම බවද ඒ මහතා කීය. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ක්‍රියාත්මක වන්නේ ඒ අනුව යැයි හෙතෙම සඳහන් කළේය.

පොලී අනුපාතය සහ විනිමය අනුපාතය පාලනය නොකර ආර්ථික වර්ධන වේගය ස්ථාවර කළ නොහැකි බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

සියයට පහක වැනි පොලී අනුපාතවලට ණය ලබාගෙන සියලු දෙනා සිරවී සිටිනවා. විනිමය අනුපාතය 203 තියාගෙන සිටීම නිසා අපේ සංචිත සියල්ල නැතිවී රට බංකොළොත් යැයි ප්‍රකාශ කිරීමට සිදුවූවා යැයිද ඒ මහතා පැවසීය.

මේ රටේ ලොකුම ණයකාරයා රජය එහෙමත් නැතිනම් රජය සතු සංස්ථායි. මේ රටේ ඉතුරු කරන අයට වඩා ණය ගන්න පිරිස වැඩි යැයිද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය. ඒ වගේම විදේශ විනිමය උපයන පිරිසට වඩා විදේශ විනිමය වියදම් කරන පිරිස වැඩි බවද ඒ මහතා කීය.

ජනමත විචාරණයක් තිබ්බොත් විනිමය අනුපාතය 203 තියා ගන්න කියා බහුතරයකගේ මතය එය විය හැකි වුවත් මහ බැංකුව ගනු ලබන්නේ ජනප්‍රිය නොවන හරි තීරණය බවද අධිපතිවරයා එහිදී කියා සිටියේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත සහ ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment