රට බෙදෙන්නේ නෑ 13 සම්පූර්ණයෙන් දෙනවා

136

ජනාධිපතිවරයාට හිමි විධායක බලතල අනුව රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී සිටින බවත් ඒ අනුව 13 වැනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්වපාක්ෂික හමුව අමතමින් ප්‍රකාශ කළේය.

මෙම සංශෝධනය අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බව පැවසූ ජනාධිපතිවරයා ඊට බහුතරය අකමැති වුවහොත් සිදුවන්නේ එය ක්‍රියාත්මක කිරීම පමණක් යැයි ද සඳහන් කළේය. රට බෙදීමට කිසිසේත්ම සූදානම් නැති බවත් කිසිවිටෙක සිංහල ජාතිය පාවාදීමට කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

තමා කටයුතු කරන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විනිශ්චයකාර මණ්ඩලය ලබාදී ඇති තීන්දුව අනුව බවත් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්නේත් නෑ සංශෝධනය කරන්නේත් නෑ යන මැදක සිටිය නොහැකි යැයි ද කීවේය.

පොලිසිය සම්බන්ධයෙන් පළාත් පොලිස් කොමිසම වෙනුවට ජාතික පොලිස් කොමිසම ඇති කිරීමට විරුද්ධ නම් සංශෝධනයක් ගෙනවිත් එය පරාජය කළ හැකි යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙම කටයුතු සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳව තමා පෙබරවාරි 08 වැනිදා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා යෝජනා ඇත්නම් පෙබරවාරි 04 වැනිදාට පෙර ලබාදුනහොත් ඒවා ඇතුළත් කර ඉදිරියට යා හැකි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මෙම සර්ව පාක්ෂික හමුව ඉකුත් 26 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment