රට බෙහෙත් මොකටද….? (අපි බෙහෙත් හදමු….)

889

කොරෝනා උණුසුම පරදා දැන් කතාකරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම සම්බන්ධයෙන් සහ ඖෂධ මාෆියාව වැනි මාතෘකා ගැනය. මෙසේ මකා දමා ඇති ඩිජිටල් ලිපි ගොනු සංඛ්‍යාව ලක්ෂ ගණනාවක් බව කියනු ලැබේ. රාජ්‍ය ආයතනයක පරිගණක පද්ධතියකට ඇතුළු වී දත්ත සොරකම් කිරීම හා මකා දැමීම දඬු කඳේ ගැසුවත් මදි වරදකි. එබැවින් රාජ්‍ය බුද්ධි අංශ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි මෙකී නොකී සියල්ලෝම යොදවා මේ පල් හොරා හෝ හොරු රැළ සොයා කුදලාගෙන ගොස් අර කී දඬු කඳේ ගැසිය යුත්තේ ජනතාවගේ අතට දිමි ගොට්ට බැගින් ද ලබා දෙමිනි.

මේ රටේ ඖෂධ මාෆියාවක් ඇති බව නොරහසකි. මේ වෙළෙඳාම වූ කලී කදිම ඉල්ලමකි. හරියටම කල්පනා කර බලන්නේ නම්, ඖෂධ කර්මාන්තය තුළ මත් පෙති, මත් සිරප් වර්ග, මාත‍්‍රාව අඩු-වැඩි වුවහොත් විෂ වී මරණ සිදුවන ඖෂධ තොග ගණනින් හුවමාරු වන නිසා එක් අතකින් ඖෂධ යනු බුදුන්වහන්සේ දෙසූ අකැපයි කියන මත් කර්මාන්තයට හා විෂ වෙළෙඳාමට යන දෙඅංශයටම ගැනෙන මිනිස් සදාචාරය සහ මිනිස් ආත්මය පවා සූරාකන කළුකඩ ව්‍යාපාරයකි. නොහොත් ඖෂධ වෙළෙඳාමේ සිටින්නෝ සුපිරි ධනවත්තුය. සුපිරි සමාජය (Super Society) නියෝජනය කරන්නෝය. ඒ ගැන අපට ඊර්ෂියාවක් හෝ කුහකකමක් නැත. ඔවුහු අනුන් සූරා කා, තමන්ගේ මහන්සියෙන් ”අමාරුවෙන්” ජීවිකාව සරිකරගන්නා කොටසක් නිසාය.

ඖෂධ නිෂ්පාදනය, ගෙන්වීම හා බෙදාහැරීම සිදුකරන්නේ රටේ සුළුතරයක් වන එකම කණ්ඩායමක් විසිනි. අන් අයට ඒ කර්මාන්තයට එන්නට ඉතා අපහසුය. නමුත් ඒ ගැන සමාජයේ බොහෝ දෙනා හරි හැටි දන්නේ නැත. දැනගන්නට නම් සහ ඖෂධ ඒකාධිකාරයේ තරම බලාගන්නට ෆාමසියකට හෝ පෞද්ගලික බෙහෙත් සාප්පුවකින් ඖෂධයක් මිලට ගැනීමට යා යුතුය. රාජ්‍ය ඖෂධ සංස්ථාව හෝ එම නිෂ්පාදන නීතිගත සංස්ථාව නැති නම් ලංකාවේ ජනප‍්‍රියතම ඖෂධයක් වන පැරසිටමෝල් පෙත්තකවත් අද ජනතාවට සාධාරණ මිලකට ගන්නට වෙන්නේ නැත. වෙළෙඳ නාම ගණනාවකින් ලංකාවට ගෙන එන පැරසිටමෝල් එක එක වෙළෙඳ නාමයන් එක එක ගණන් හිලව්වලට විකුණති. තමන්ට කැමති තැනකින් කැමැති පැරසිටමෝල් (ඖෂධ) වර්ගයක් ගන්නට හැකි විවෘත වෙළෙඳ පොළක් අපි හාදා තියනවා යැයි ඇතැමුන් මේකට උත්තර බඳින්නට පුළුවන. නමුත් සැබෑව නම්, ඉන්දියාවේ ගෘහ කර්මාන්තයක් ලෙස සිදුකර මෙරටට ගෙන එන ඇතැම් ඖෂධ නිෂ්පාදන මෙන් අපේ රටේ පැරසිටමෝල් පෙත්තක්වත් හදන්නට පැවති එකම රජයක්වත් පියවර ගත්තාද යන්නය.

වැඩිමනත් ලෝකයේ ඖෂධ නිපදවීම සිදුකරන මහා පරිමාණ බහුජාතික සමාගම්හි දේශීය නියෝජිතයන්ද වන මෙරට ඇතැම් ඖෂධ වෙළෙන්දෝ කොමිස් හා අධික ලාභාංශ උපයන ගමන් උවමනා නම් ආණ්ඩු මාරු කරන්නටද තරම් හැකියාව ඇත්තෝය. එබැවින් ඇතැම් සෞඛ්‍ය සම්බන්ධ ඇමැත්තෝ පවා මේ ව්‍යාපාරිකයන්ට බියක් දක්වති. එසේ හෙයින් ඔවුන්ට අවැසි වෙළෙඳපොළ බාධක ඉවත්කර දෙන්නට කටයුතු කරති. නැතහොත් තමන්ට ලැබෙන ගතමනාව ගැන කල්පනා කර ඖෂධ මාෆියාවටම පාර කපා දෙති. නමුත් මේ වෙළෙන්දෝ පොහොසත් වන්නේ මේ රටේ අහිංසක ලෙඩුන්ගේ හදවත් ලෙඩට දෙන පෙත්තෙන්, දියවැඩියා ඉන්සියුලින් පෙත්තෙන්, ඩයලයිසිස් කිරීමට ගන්නා ඖෂධයකින්, ප්‍රෙෂර් පෙත්තෙන් බව කල්පනා නොකිරීම සහගහන අපරාධයකි. මේ ඖෂධ නිකං දෙන්නට යැයි අපි මේ වෙළෙන්දන්ට කියන්නේ නැත. අපි කිව්වට ඔවුන් දෙන්නේද නැත. ඒ සාධාරණය ඉටුකිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය වැදගත් වන්නේ එනිසාය. ඖෂධ නිෂ්පාදනය, ගෙන්වීම බෙදාහැරීම ඒ මගින් නියාමනය වන නිසාය.

නමුත්, දුප්පතාට සහනයකට තිබෙන ඒ ආයතනයටත් මහා දවල් හොරු පැන ආයතනය මංකොල්ලා කනවානම් කියන්නට ඇත්තේ තවත් කුමක්ද…? ජනාධිපතිවරයා විසින් මේ ඖෂධ මාෆියාව මේ රටින් තුරන් කර, රටේ නිෂ්පදනය කරන්නට හැකි ඖෂධ නිපදවීම දිරිගැන්වීම සඳහා ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍යංශයක් ඇති කර ඇමැතිවරයෙක්ද පත්කර ඇත. නමුත් සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරන පරිදි මේ අමාත්‍යවරයා පත්වී ගෙවී ගිය කාලය තුළ අලූතින් එකම දේශීය ඖෂධ නිෂ්පාදක සමාගමක්වත් වැඩකට අරන් නැත. අප දන්නා පරිදි දේශීය ඖෂධ සමාගම් 36 ක් ඖෂධ රට තුළ නිෂ්පාදනයට සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ගිවිසුම් ගතව සිටින අතර වැඩකරන්නේ සමාගම් 10 ක් පමණ ප‍්‍රමාණයකි. ඔවුන් පවසන පරිදි වර්තමානයේ ඩොලර් 15 ක් වැනි මිලකට චීනයෙන් ආනයනය කරන කොවිඞ් එන්නතක් පවා ඩොලර් 6-7 ක මිලකට මෙරටදී නිපදවා ඔවුන්ට ලබා දිය හැකිය. නමුත්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඒ සඳහා කෙණෙහිලිකම් කරන බව ඔවුහු කියා සිටිති.

එසේ නම්, කොතන හෝ බලවත් වරදක් අපට ඉව වැටේ. අධිකාරියේ දත්ත මැකී යෑම පිටුපස මේ ඖෂධ මාෆියා බළල් අත් ක‍්‍රියාත්මකද…? නමුත් තව දුරටත් මේ මාෆියාකාරයන්ට ජනතාවගේ බෙහෙත් පෙත්තෙන් ගසා කෑමට ඉඩ නොතබා, මෙන්ම රටේ මුදල් බිලියන ගණනින් ඖෂධ ආනයනයට යා නොදී දේශීය යාන්ත‍්‍රණයක් ඔස්සේ රටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනයට කටයුතු කරන ලෙසද, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඍජුවම සෞඛ්‍ය කැබිනට් ඇමැතිවරයාට වගකියන ස්වාධීන ආයතනයක් බවට පත්කිරීම සුදුසු බවද අපගේ කල්පනාවයි. මන්ද, ඖෂධ නිෂ්පාදනය, ගෙන්වීම හා බෙදාහැරීම නියාමනය කරන කෙනකුටම නියාමනයද භාරකිරීම සුදුසු නොවන නිසාය.

advertistmentadvertistment
advertistmentadvertistment