රට මළ බත කන තත්වයට පත්කරලා ඉවරයි – ජාතික ජනබලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ

131

පසුගිය 18 වන දින පාර්ලිමේන්තුවේදී රාජාසන කතාව පවත්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම දුෂ්කර අවස්ථාවේදී ආණ්ඩුවට සහයෝගය ලබාදෙන ලෙස විපක්‍ෂයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිබඳව මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට නිරන්තරයෙන් එල්ල වන යෝජනා, චෝදනා පිළිබඳව අප එම පක්‍ෂයේ නායකත්වයෙන් ගොඩනැගී ඇති ජාතික ජනබලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතාගෙන් විමසා සිටියෙමු. ඒ මහතා එම කරුණු කාරණා පිළිබඳව පළ කළ අදහස් මෙසේය.

ප‍්‍රශ්නය – ජනාධිපතිතුමා පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවේ රාජාසන කතාව පවත්වමින් මෙම දුෂ්කර අවස්ථාවේදී ආණ්ඩුවට සහයෝගය ලබාදෙන ලෙස විපක්‍ෂයෙන් ඉල්ලා සිටියා.

ජනාධිපතිතුමාගේ එම ඉල්ලීමට ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රතිචාරය කුමක්ද?

පිළිතුර – ජනාධිපතිතුමා ලජ්ජා විය යුතුයි. මේ රටේ ජනතාව ලබාදුන් ජනවරම අනුව කටයුතු නොකර හිතුවක්කාර අත්තනෝමතික ලෙස ගත් තීරණ අනුව කටයුතු කරලා මේ රට අද මළ බත කන තත්ත්වයට පත්කරලා තිබෙනවා. නමුත් මේ ආණ්ඩුවට ඡුන්දය දුන් ජනතාව මේ ආණ්ඩුව හදලා කිරිබත් කෑවා. නමුත් දැන් අවුරුදු දෙකක් ගතවෙලා තිබෙන මෙම අවස්ථාව වන විට ජනාධිපතිතුමා සහ ආණ්ඩුව ජනතාවට මළ බත කන්න වෙන තැනට කටයුතු සිද්ධ කරලා තිබෙනවා. මේ රටේ දැන් තිබෙන ප‍්‍රශ්න ජනතාව හදපුවා නොවෙයි. මේ වන විට ජනතාවට උයාගෙන කන්න හාල් ටික නැතිවෙලා. ජනතාව ගෑස්, කිරිපිටි, තෙල් පෝලිම්වල. මේ ප‍්‍රශ්න සියල්ල ආණ්ඩුව හදපු ඒවා. දැන් ආණ්ඩුව හදපු ප‍්‍රශ්නවලට විපක්‍ෂයෙන් සහාය ඉල්ලා හරියන්නේ නැහැ. ආණ්ඩුව දැන් මෙම ප‍්‍රශ්න ඇති කළ බවත්, එම නිසා ජනතාව අමාරුවේ වැටී සිටින බවත් පිළිගත යුතුයි.

එම නිසා අපි පළමුවෙන්ම ආණ්ඩුවට කියනවා එහෙනම් ජනවරම අනුව කටයුතු කරලා පෙන්වන්න. ජනවරම අනුව කටයුතු නොකර ජනාධිපතිතුමා අද විපක්‍ෂයේ සහයෝගය ඉල්ලීම පිළිබඳව අපි ලජ්ජා වෙනවා. ජනාධිපතිතුමාත් ලජ්ජා විය යුතුයි මේ වගේ තැනකට පත්වීම පිළිබඳව.

එම නිසා පසුගිය 18 වැනිදා ජනාධිපතිතුමා කළ කතාව අපි හඳුන්වන්නේ රාජාසන කතාව ලෙස නොවෙයි. අපි එම කතාව හඳුන්වන්නේ මළ ගෙදර කතාව ලෙස තමයි. මොකද ඒ කතාව රාජාසන කතාවක් නොවෙයි. දුක් අඳෝනාවක්. වැලපිල්ලක්. ජනතාව වැඩ කරන්න බලය දීලා තිබෙනවා. වැලපිලා හරියන්නේ නැහැ. බැරි නම් බැහැල යන්න ඕනි. එතකොට ජනතාව ආණ්ඩුවක් හදාවි.

ප‍්‍රශ්නය – රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර හඳුන්වාදීම ආණ්ඩුවේ තීරණයක්. එයට ආණ්ඩුව වගකිව යුතුයි. නමුත් ඔබ සඳහන් කළ අනෙකුත් ගැටලූ මතුවී තිබෙන්නේ කොවිඞ් – 19 වසංගතය නිසා. එම තත්ත්වය ලෝකයේ සෑම රටකටම බලපා තිබෙනවා. ඒ සඳහා ආණ්ඩුවට පමණක් චෝදනා කිරීම හරිද?

පිළිතුර – කාබනික පොහොර හඳුන්වාදීමේ ප‍්‍රශ්නය පමණක් කියල ගන්න බැහැනේ. අපේ රටේ ඩොලර් අර්බුදය හැදුවේ කවුද? මේ ආණ්ඩුව. මේ ආණ්ඩුවේ ජනපති, අගමැති, මුදල් ඇමැති වගේම හිටපු ආණ්ඩුත් ඊට වගකිව යුතුයි. මේ ප‍්‍රශ්න හැදුවේ මේ රට පසුගිය වසර 73 පාලනය කළ අය. ඊට අමතරව ණය ප‍්‍රශ්නයත් මේ අය හදපු ප‍්‍රශ්න.

ඒ ඔක්කොම ප‍්‍රශ්න අතරේ ජනතාවගේ බත් පතට ප‍්‍රශ්න හැදුවා. එම නිසා පොහොර ප‍්‍රශ්නය සරල ප‍්‍රශ්නයක් නොවෙයි. පොහොර ප‍්‍රශ්නය නිසා අපේ රටේ අපනයන ආදායමට ප‍්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඒ වගේම නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය ගෙන ඒමට ප‍්‍රශ්නයක් හදල තිබෙනවා. ඒ හරහා රැකියා පිළිබඳව ප‍්‍රශ්නයක් හදලා තිබෙනවා. ඒ සමගම ඩොලරයට සාපේක්‍ෂව රුපියල අවප‍්‍රමාණය වීමේ ප‍්‍රශ්නය හදලා තිබෙනවා. ඒ වගේම පිටරටින් හාල් ගෙන ඒමේ ප‍්‍රශ්නය හදලා තිබෙනවා වගේම ආහාර ද්‍රව්‍ය ගෙන ඒමේ ප‍්‍රශ්නයක් හදලා තිබෙනවා. එම නිසා පොහොර ප‍්‍රශ්නය කියන්නේ සරල ප‍්‍රශ්නයක් නොවෙයි. ඔලමොට්ටල තීරණ නිසා මේ රටේ මිනිස්සු මළ බත කන තැනට පත් කළාට පස්සේ මේක ලෝක ප‍්‍රශ්නයක් කියලා කියන්න බැහැ.

ලෝකයේ පොදු ප‍්‍රශ්න තියෙද්දි ආසියාවේ අනිකුත් රටවල් ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා. නමුත් අපට මොකද වෙලා තියෙන්නේ. අපි වැටිලා. ණය ගැනීමේ අවදානම වැඩිම රට කුමක්ද? ලංකාව. එය සිද්ධ වෙලා තිබෙන්නේ මේ ටික කාලය තුළ අනුගමනය කළ ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා මේ ප‍්‍රශ්නය ඇතිවෙලා තිබෙන්නේ ආර්ථික විද්‍යා පදනම්වලින් තොරව ගන්න හිතුවක්කාරී ඔලමොට්ටල තීරණ නිසා තමයි. මේ අපේ රට ලෝකයේ අනිකුත් රටවල් සමග සම කිරීමේදී අනෙකුත් රටවල් ගත් තීරණ සහ මේ අය ගත් තීරණ සසඳා බලන්න ඕනි. වෙන රටවල්වල මිනිසුන් කොවිඞ් සඳහා එන්නත් ගැනීමට පෝලිම්වල සිටිද්දි අපේ මිනිස්සු පැණි පස්සේ ගියා. ඕක තමයි කළේ.

ප‍්‍රශ්නය – නමුත් මේ වන විට අපේ රට එන්නත් මාත‍්‍රා දෙකක් ලබාගත් රටවල් අතරින් ඉදිරියෙන්ම සිටිනවා නේද?

පිළිතුර – අප රට පමණක් නොවෙයි, මේ වනවිට ලෝකයේ ගොඩක් රටවල් එම තත්ත්වයේ සිටිනවා. ඊයේත් රෝගීන් 800 කට වඩා හමුවී තිබෙනවා. ඒ කියන්නේ පාලනය කරලා නැහැනේ. මේ වනවිට දවස ගාණේ රෝගීන් සංඛ්‍යාව වැඩිවෙනවා. පී. සී. ආර්. කරලා රෝගීන් හඳුනා ගෙන මෙම තත්ත්වය පාලනය කරනවා වෙනුවට ආණ්ඩුව හිතන්නේ එන්නත් කිරීමෙන් පසුව 20 ක් 30 ක් මැරෙනවා. ඒකට කමක් නැහැ කියලා. නමුත් ප‍්‍රශ්නය තිබෙන්නේ එතන නොවෙයි. ඇයි අද වනවිට සෞඛ්‍ය අංශවල ප‍්‍රවීණයෝ මේ ආණ්ඩුවත් සමග නැත්තේ, ඒ ආණ්ඩුවේ හිතුවක්කාර වැඩ නිසා.

කොවිඞ් ලෝක අර්බුදයක්. ඒක අපි පිළිගන්නවා. හැබැයි ආණ්ඩුව හදපු අර්බුද වහගන්න බැහැ. නමුත් ආණ්ඩුව උත්සාහ කරන්නේ තමන් හදපු අර්බුද කොවිඞ්වලින් වහගන්න.

ප‍්‍රශ්නය – ගොවි ජනතාව අතර වකුගඩු රෝගය ව්‍යාප්තවීම පිළිකා වැනි බෝ නොවන රෝගීන් වැඩිවීම යන කාරණා පදනම් කරගෙනයි ආණ්ඩුව රසායනික පොහොර තහනම් කර ඇත්තේ. එම නිසා එම වැඩපිළිවෙළට ජනතා විමුක්ති පෙරමුණ සහයෝගය ලබාදිය යුතුව තිබුණා නේද?

පිළිතුර – ලෝකයේ මිනිසුන් හොඳ වැඩ කරන කොට කවුද ඒවාට අකුල් හෙළන්නේ. හොඳ වැඩ කළ යුත්තේ හොඳ අරමුණින්. හොඳ වැඩ කරන්න යන්න හොඳ නැහැ කපටි සහ මිනිසුන් බඩගින්නේ තබන වුවමනාවෙන්.

කාබනික පොහොර හඳුන්වා දීම හොඳ ප‍්‍රතිපත්තියක් වුවත් කළ යුතු ආකාරයක් තිබෙනවා. එය පියවරෙන් පියවර ආර්ථිකයට ජනතාවට හානියක් නොවන ලෙස හඳුන්වාදිය යුතුව තිබුණා. නමුත් මේ තීරණය යලේදී අරගෙන මහේදී කි‍්‍රයාත්මක කළා. අඩුම ගණනේ ඊට පෙර කාබනික පොහොර හැදුවද? අඩු ගණනේ ජනතාව කාබනික වගාව සඳහා සූදානම් කළාද? කාබනික පොහොර හඳුන්වා දීමේදී ඇති වන හානියට සූදානම් වීම සඳහා අපි ආරක්‍ෂිත ආහාර තොග රැස් කළාද? ඒ මොකුත් නොකර මේ කළේ ඔලමොට්ටල වැඩක්.

මෙම වැඩසටහන පටන් ගත් පළමු අවස්ථාවේදීම ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රකාශ කළා මේ ආකාරයට කටයුතු කළහොත් ජනතාවට ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවන බව. දැන් මොකද්ද වෙලා තිබෙන්නේ. එදා අපි කිව්ව දේ තමයි දැන් වෙලා තිබෙන්නේ. ආණ්ඩුවක් තීරණ ගත යුත්තේ මිනිසුන් අමාරුවේ දැමීම සඳහාද?

වකුගඩු රෝගය, පිළිකා ගැන මේ කියන කතා හිතලූනේ. අපේ රටට පිටි මෙටි‍්‍රක් ටොන් මිලියන 1.5 ක් ගෙන එනවා. සීනි මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 6 ක් ගෙන එනවා. පරිප්පු මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 3 ක් ගෙන එනවා. ඒ වගේම අල, ලූනු ගෙන එනවා. ඒවා කාබනික පොහොරවලින්. වගා කළ ඒවාද? නැහැ. ඒ නිසා රටේ ගොවියා ගොවිතැන් කරන එක විතරක් නැති කරලා ගොවියාගේ බත් පත නැති කරලා කි‍්‍රයාත්මක කරන මොකද්ද මේ කාබනික පොහොර ප‍්‍රතිපත්තිය. මේවා තනිකරම ගොන් වැඩ. අපි අහනවා චීනයෙන් මියන්මාරයෙන් ගෙන එන සහල් කාබනික පොහොර යොදා වගා කළ ඒවාද? නැහැ. එහෙම නම් ආණ්ඩුව කියන්න එපැයි අපි ජනතාවට කාබනික පොහොරවලින් වගා කළ සහල් ගෙනත් දෙන බව. එහෙම කියන්න බැහැනේ. ඒකයි අපි මේ වැඩ ආණ්ඩුවේ ගොන් තකතීරු වැඩ කියලා කියන්නේ. පිළිකා රෝගවලින් මිනිසුන් මැරෙන එක නවත්වන්න ඕනි නම් දුම්වැටි තහනම් කරන්න ඕනිනේ. ඇයි ඒවා කරන්නේ නැත්තේ. අපිට තිබුණේ හොඳ ස්වයංපෝෂිත කෘෂිකර්මාන්තයක්. අපේ ජාතික ගීය අරගෙන බලන්නකෝ. එම ගීතයේ සඳහන් වෙනවා මේ භූමිය ධාන්‍ය, ධනය, මල්, පලතුරු පිරි රම්‍ය භූමියක් බව. නමුත් අද මොකද්ද වෙලා තිබෙන්නේ. අද මේ ආණ්ඩුව රටේ හතර කේන්දරේ පාළුවූ තත්ත්වයට පත්කර තිබෙනවා. මේ ගොබ්බසේන ඇවිල්ලා රටේ ජනතාව මළ බත කන තැනට පත්කරලා තිබෙනවා. කෘෂිකර්ම ප‍්‍රතිපත්ති හඳුන්වා දිය යුත්තේ ඒවාට සූදානම් වෙලා, ජනතාව සූදානම් කරලා. හිතුවක්කාරීව ඒවා කරන්න බැහැ. පොහොර ගේන්න ඩොලර් මිලියන 800 ක් යනවා. ඒක නවත්වන්න තමයි මේක කළේ.

අනුරාධපුරයට ගිහින් කියනවා නිකන් පොහොර දෙනවයි කියලා. දැන් කෝ නිකන් පොහොර. අවුරුදු 10 කින් කාබනික පොහොරවලට යනවා කිව්වා. අපේ රටේ කාබනික වගාව තිබෙන්නේ 2.5% යි. එය 5% හා 10% කරන්න වසර කීයක් යනවද කියලනේ බලන්න තිබුණේ. එහෙමනේ වැඩ කරන්නේ.

කොහෙවත් ඔෆිස් එකක ලිය ලිය ඉඳල ඇවිල්ල, ෂෙඞ් එකක තෙල් ගහගහ ඉඳල ඇවිල්ලා ඇමැති ධුර ගත්ත කියලා රටවල් හදන්න බැහැ කියලා දැන් අපේ රටේ ජනතාව තේරුම් අරන් ඉන්නවා. ආණ්ඩුවත් තේරුම් ගන්න ඕනි මේ වැඩවලින් මිනිසුන් අමාරුවේ වැටිල කියන එක.

ප‍්‍රශ්නය – ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව විවේචනය කළත්, විකල්පයක් නොමැති බවට චෝදනා තිබෙනවා. කලක් ජනතා විමුක්ති පෙරමුණ සමග කටයුතු කළ නැසී ගිය ගායක සුනිල් පෙරේරා මහතාත් ප‍්‍රකාශ කර තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණට විවේචන කළත් විකල්පයක් නොමැති බව.

ඒ චෝදනා සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය කුමක් ද?

පිළිතුර – සුනිල් පෙරේරා මහතා දැන් ජීවතුන් අතර නොමැති නිසා එතුමා කළ ප‍්‍රකාශ දැන් ඔබට තහවුරු කරන්න බැහැනේ. එතුමා ඔබ කියන ආකාරයේ ප‍්‍රකාශයක් කරලා නැහැ. එතුමා කියලා තිබෙන්නේ වැඩපිළිවෙළ අපි හරියට කියන්න ඕනි එතකොට තමයි මිනිසුන් එන්නේ කියලා. සුනිල් පෙරේරා මහතා අපත් සමග දිගටම වැඩ කළා. එතුමා සිටිය යුතුම මොහොතේ තමයි රටට නැතිවෙලා තිබෙන්නේ.

ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ මේ රටේ උගත්, බුද්ධිමත් ජනතාව, වෘත්තීය සමිති, ගොවි සමිති, මේ රටේ වෘත්තීයවේදීන් සියලූ දෙනා එකතුවෙලා හදපු වැඩපිළිවෙළක් එළිදක්වලා තිබෙනවා. ඒ වැඩපිළිවෙළ තුළ මේ රට මේ මොහොතේ මුහුණ දෙන ප‍්‍රධාන ප‍්‍රශ්නවලට උත්තර සොයන්නේ කෙසේද කියල අපි සඳහන් කරලා තිබෙනවා. මේ රට මුහුණ දී සිටින ඩොලර් අර්බුදයට විසඳුම් සොයන්නේ කෙසේද? මේ රටේ නිෂ්පාදන අර්බුදයට විසඳුම් සොයන්නේ කෙසේද? මේ රටේ ණය අර්බුදයට විසඳුම් සොයන්නේ කෙසේද? යන්න පිළිබඳව එහි සඳහන් කරලා තිබෙනවා.

අපේ රට පිහිටලා තිබෙන්නේ නාවික ක්‍ෂේත‍්‍රයේ සංධිස්ථානයක. ලෝකයේ මුහුදු ප‍්‍රවාහනයෙන් 30% ක් ගමන් කරන්නේ අපගේ මුහුදු ගමන් මාර්ගයේ. ඒ වගේම ආසියාවේ සංචාරක ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය කරන්න පුළුවන් අපේ රට. අපේ රට කෙටි කාලයක් තුළ බලන්න පුළුවන් දේශගුණික කලාප, මුහුද, ගංගා, පාරිසරික දත්තයන්, වන සතුන්, මහා රජ පෙළපත් විසින් අපේ මුතුන් මිත්තන් විසින් කළ නිර්මාණ අපේ රට තුළ පිහිටලා තිබෙනවා. ඒ ගැන සිතල මේ රට ගොඩනගන වැඩපිළිවෙළ ප‍්‍රතිපත්ති 11 ක් යටතේ ඉදිරිපත් කරලා තිබෙනවා. දැන් ජනතාව එම වැඩපිළිවෙළ පරිශීලනය කරමින් සිටිනවා. එම නිසා අපි සිතනවා වසර 73ක් තිස්සේ මේ රට මෙතනට වට්ටපු මිනිසුන් ප‍්‍රතික්ෂේප කරමින් මේ රටේ ජනතාව ජාතික ජනබලවේගය වටා එක්වෙමින් සිටිනවා.

එපමණක් නොවෙයි මේ දෙගොල්ලම වසර 73ක් තිස්සේ මාරුවෙන් මාරුවට හොරු රකිමින් ආවා. හොරු ඇල්ලූවේ නැහැ. එම නිසා අපි ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමාට අභියෝගයක් ඉදිරිපත් කරනවා. මේ ඉතිරි අවුරුදු තුනේදී පුළුවන් නම් එක දෙයක් කරන්න ගෝඨාභය මහතා අවංක නම්, රට වෙනුවෙන් හිතලා වැඩ කරනවා නම් මේ රටේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ඊ. පී. එෆ්. එක කොල්ලකමින් සිදුකළ බැඳුම්කර වංචාව හෙළිදරව් කරන්න. මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා කොමිසමක් පත් කළා ඒ ගැන සොයන්න. එම කොමිසමෙන් වාර්තාවක් ප‍්‍රකාශයට පත් කළා. ඒ සඳහා වියදම් කළේ ජනතාවගේ මුදල්. නමුත් එම කොමිෂන් සභා වාර්තාවේ පිටු 106 ක් මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා හැංගුවා. දැන් එම වාර්තාව තිබෙන්නේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා ළඟ. මහ බැංකුව කඩල මුදල් බෙදාගත් මිනිසුන් ගැන තොරතුරු එම පිටු 106 යේ තිබෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයට පුළුවන් නම් එම පිටු 106 එළියට දාන්න.

එපමණක් නොවෙයි පාස්කු ප‍්‍රහාරය මේ ආණ්ඩුව බලයට පත්වීම සඳහා මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව මෙන්ම පාස්කු ප‍්‍රහාරය පිළිබඳවත් කතා කළා. දැන් පාස්කු ප‍්‍රහාරය පිළිබඳව ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබෙනවා. එම චෝදනා එල්ල වන්නේ පාස්කු කොමිසමේදී ඉදිරිපත් වූ සාක්‍ෂි මත. එහිදී සාක්‍ෂි දුන් සාක්‍ෂිකරුවන් දැන් සී අයි ඞී එකට කැඳවලා සාක්‍ෂි විමසනවා. මෛති‍්‍රපාල මහතා දැන් රට වටේ කිය කිය යනවා අවශ්‍ය වෙලාවට එම ප‍්‍රහාරය පිළිබඳ තොරතුරු හෙළිදරව් කරන බව. එතුමා දන්න තොරතුරු ලබාගෙන බෝම්බ තිබ්බේ කවුද, මහ මොළකරුවන් කවුද කියන එක රටට කියන්න පුළුවන්.

අන්න පුළුවන් නම් කරන්න ඕනි වැඩ දෙකක්. එම වැඩ දෙක කළොත් රටේ ජනතාව පිළිගනිවි ගෝඨාභය මහතාට වුවමනාවක් තිබෙනවා කියලා. අවුරුදු 3ක් යන්නේ නැහැ. මාස 3 ක් යන්නෙත් නැහැ. එක දවසින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට කරන්න පුළුවන් වැඩක් තිබෙනවා. ඒක තමයි මෛති‍්‍රපාල මහතා හංගපු මහ බැංකු කොමිෂන් වාර්තාවේ පිටු 106 එළියට දාන එක. කරන්න පුළුවන් නම් ඔන්න වැඩ.

ප‍්‍රශ්නය – ජාතික ජනබලවේගයේ නව වැඩපිළිවෙළ හඳුන්වා දෙමින් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරලා තිබුණා ඔබලාගේ ආණ්ඩුවක් යටතේ ව්‍යවසායකයන්ටත් ඉලක්ක ලබාදී කටයුතු කරන බව.

ව්‍යවසායකත්වය පිළිබඳව ප‍්‍රධාන වශයෙන්ම කතා කරන්නෙ ධනවාදී ආර්ථික විද්‍යාවේදී. අනුර කුමාර මහතා දැන් ව්‍යවසායකයන් පිළිබඳව කතා කරනවා. ජනතා විමුක්ති පෙරමුණ දැන් මාක්ස්වාදය අත්හැරලාද?

පිළිතුර – නැහැනේ. ලෝකයේ ආර්ථිකයන් කළමනාකරණය කිරීමේදී රටවල්වල සම්පත්, ඒ රටේ ව්‍යවසායකයන්, ඒ රටේ මහජනතාව සියල්ල එකතු කරලා කළමනාකරණය කරන්නේ. අපේ රටේ කරලා තිබෙන්නේ ලෝකයෙන් ණය අරන් දේශපාලකයන් හොරා කාලා රට ණය කරලා ජනතාව මත බර පටවලා දේශපාලනඥයන් සැප විඳිනවා. ඒ වෙනුවට රටේ ජනතාවට රැකියා බිහි කරන ව්‍යවසායකයන්ට තවදුරටත් රැකියා ලබාදෙන්න ඉඩ දෙන්නේ කොහොමද කියල අපි කියලා තිබෙනවා. මේ රටේ සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්න පුළුවන් විධියට ආර්ථිකය හදන්නේ කෙසේද කියලා අපි කියලා තිබෙනවා. එම නිසා ව්‍යවසායකත්වය ධනවාදයේ තිබෙන එකක් නොවෙයි. එය සමාජවාදයෙත් තිබෙනවා.

ලෝකයේ මිනිසුන් මේ මොහොතේ කතාකරමින් සිටින්නේ හෙට දවස පිළිබඳව. අපි සමාජවාදය කරා යා යුතුයි. මේ රටේ වැඩ කරන පංතිය, ගොවි ජනතාව, මේ රටේ ව්‍යවසායකයන් සතුටින් ජීවත් විය යුතුයි. අද ව්‍යාපාරිකයාට ව්‍යාපාරයක් කරන්න බැහැ. ආණ්ඩුවෙන් කොල්ලකනවා. අද ගොවියා ගොවි බිමේ අසරණ කරලා. තරුණයන්ට රැකියාවක් නැහැ. ගෙදර ඉන්න ඕනි අම්මව පිටරට පටවල ජීවත් වන රටක් බවට මේ රට පත්වී තිබෙනවා. ඒ වගේම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් නැහැ. බෙහෙත් ටික නැහැ. ළමයින්ට ආරක්‍ෂාව නැහැ.

ඒ නිසා මේ සියල්ල කළමනාකරණය කරලා සතුටින් ඉන්න පුළුවන් රටක් අපි හදනවා. රටේ මිනිසුන් සතුටින් ජීවත් වනවාද කියන එක තමයි අපේ අරමුණ. සතුටින් කරදරයක් නැතිව ජීවත්වන්න පුළුවන් රටක් හදන්න ඕන කියන එක බෞද්ධ දර්ශනයේ කියලා තිබෙනවා. මිනිසුන් බෞද්ධ දර්ශනය අනුව කටයුතු කරනවා නම් ඒ යන්නෙත් සතුටින් ඉන්න පුළුවන් රටක් හදන්න. බුදුන් වහන්සේ දේශනා කරලා තිබෙන්නෙත් ඒක. ඒ රටට ඔබ කැමති ආකාරයට නම දාගන්න.

ප‍්‍රශ්නය – පසුගිය දිනවල කියුබාවේ ජනතාව එරට පාලකයන්ට එරෙහිව උද්ඝෝෂණ කළා. කොවිඞ් වසංගතය පාලනය කිරීමට අපොහොසත් වීම, දරිද්‍රතාවය වැනි කාරණා එම උද්ඝෝෂණ සඳහා හේතුවී තිබෙනවා. මේ වන විට එම සියලූ උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගෙන සිරගත කර තිබෙනවා.

කියුබාව කියන්නේ ජ.වි. පෙරමුණේ පරමාදර්ශී රාජ්‍යය. ඒ රට තුළ 1959 සිට කි‍්‍රයාත්මක කළේ ජ.වි. පෙරමුණ අනුමත කරන ප‍්‍රතිපත්ති ඔබ මේ රටේ පසුගිය වසර 73ක පාලනයත් හෙළා දැක්කත් ඔබලා අනුමත කරන කියුබාවේ පාලකයන් ඒ රටේ ජනතාව පත්කර ඇත්තේ මේ රටේ ජනතාවටත් වඩා අන්ත අසරණ තත්ත්වයකට නේද? ඔබලාගේ ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කළහොත් අපගේ රටත් කියුබාව අද පත්වී ඇති තත්ත්වයට පත්විය හැකියි නේද?

පිළිතුර – නැහැනේ. කියුබාව මානව හිමිකම් ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාව සමග කටයුතු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල 194 අතරින් රටවල් 192 ක් කියුබාව වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි එහෙම නම්. ලෝකයේ තිබෙන සමහර මාධ්‍ය සහ ඇමරිකානු ජුන්ටාව තවමත් කියුබාව බිඳවට්ටන්න සැලකිය යුතු මැදිහත්වීමක් කරනවා. ඒ වෙනුවෙන් සල්ලි දීලා උද්ඝෝෂණ හදනවා. ඒ වගේම සල්ලි දීලා ප‍්‍රචණ්ඩත්වය ඇති කරන්න හදනවා. නමුත් කියුබාවේ ජනතාව ඔවුන් ආරක්‍ෂා කරන කියුබාවට ඔවුන් බලාගන්නා කියුබාවට එම හානිය වෙන්න දෙන්නේ නැහැ. කියුබානු සමාජවාදය පිළිබඳව මේ ලෝකයේ තිබෙන සමහර මතවාදි මාධ්‍ය කරන බොරු ප‍්‍රචාර වෙනුවට ඒ රට පිළිබඳ සැබෑ තත්ත්වය දැන ගැනීමට නම් කියුබානු වෙබ් අඩවිවලින් සහ කියුබානු තානාපති කාර්යාලයෙනුත් සැබෑ තොරතුරු ලබාගන්න පුළුවන්. වසර හැට ගණනක් තිස්සේ කියුබාවට එරෙහිව ආර්ථික සම්බාධක දාලා ඒ රටේ සමාජවාදය බිඳවට්ටන්න හදනවා. ධනවාදී මාධ්‍යවලින් කියුබාව පිළිබඳව ප‍්‍රචාරය කරන්නේ සත්‍යය නොවෙයි. කියුබාවේ ජනතාව සෞඛ්‍ය සම්පන්න ලෙස ජීවත් වනවා. කියුබානු ජනතාව ලෝකය ඉදිරියේ අභිමානවත් ජාතියක් ලෙස ගොඩනගලා තිබෙනවා. සියලූ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා ඒ වගේම කියුබාව ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් ලෙස නැගී සිටිනවා.

කියුබාව පිළිබඳව කියුබාවෙන්ම දැන ගන්න ලෙසත්, කියුබාව පිළිබඳව කියුබාවේ සතුරන්ගෙන් දැන ගැනීමට උත්සාහ කරන්න එපා කියලත් අපි ඉල්ලා සිටිනවා.

සාකච්ජා කළේ –
එරික් ගාමිණි ජිනපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment