රට යන හීනයට බහිරවයෝ පාත්වෙලා

455

රටේ ඇති වී තිබෙන බරපතළ ආර්ථික අර්බුදය හමුවේ අපේක්‍ෂා භංගත්වයට පත්ව සිටින තරුණ තරුණියන් විදේශවල රැකියා සඳහා යොමුවීමට දක්වන උනන්දුව දඩමීමා කරගෙන පෙර කිසිකලක නොවූ පරිදි ජාවාරම්කරුවන් විසින් රුපියල් කෝටි ගණනින් මුදල් එකතු කිරීමට පටන් ගෙන ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මීට වසරකට දෙකකට පෙරාතුව විදේශ රැකියා ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට මසකට පැමිණිලි හැටක් පමණ ලැබුණ මුත් මේ වනවිට මසකටය ලැබෙන පැමිණිලි ගණන තුන්සිය ඉක්මවා ගොස් ඇතැයි විමර්ශන ඒකකය කියා සිටී.

විවිධ දේශපාලනඥයන්ගේ නම් පවා භාවිත කරමින් මෙම ජාවාරම්කරුවන් තරුණ තරුණියන්ගෙන් ලක්‍ෂ පහ හයේ සිට රුපියල් ලක්‍ෂ විස්ස පමණ දක්වා මුදල් එකතු කර තිබෙන බව ද විමර්ශන ඒකකයේ නිලධාරීහු කියා සිටිති.

ජපානය, කැනඩාව, රුමේනියාව, ඊශ්‍රායලය පමණක් නොව යුරෝපීය රටවල රැකියා හා අධ්‍යාපන වරම් ලබාදෙන බව පවසමින් ජාවාරම්කරුවන් මෙලෙස මුදල් එකතු කර ඇත.

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසමින් තරුණ තරුණියන් හැත්තෑ දෙනෙකුගෙන් කෝටි හතරකට අධික මුදල් ප්‍රමාණයක් එකතු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

වට්ස්ඇප් ඇතුළු ක්‍රම මගින් මෙම මුදල් එකතු කරගෙන තිබෙන නිසා කාර්යාංශයේ ලියාපදිංචිය ලබා නොමැති කිසිදු තැරැව්කරුවකුට හසුනොවන ලෙස කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙවැනි විදේශ රැකියා ජාවාරම්කරුවන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් වහාම දුරකථන 1987 ක්‍ෂණික අංකයට හෝ විශේෂ විමර්ශන අංශයේ අංකය වන 0112864241 දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment