රට රැකියාවලට යෑමට රාජ්‍ය සේවකයෝ විදේශ සේවා නියුක්තියේ ලියාපදිංචි කෙරෙති

713

විදේශ රැකියා සඳහා පිටත්ව යෑමේ අපේක්ෂාවෙන් පසුවන රාජ්‍ය සේවකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමට අවස්ථාව ලබාදී ඇති බවත්, කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිස තමන්ගේ තොරතුරු ඇතුළත් කිරීමට හැකි බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

රටට අවශ්‍ය විදේශ විනිමය ගෙන්වා ගැනීම සඳහා වන කඩිනම් වැඩසටහනක්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ආරම්භ කර ඇති අතර ඒ අනුව රාජ්‍ය සේවකයින්ට විදේශ රැකියා සඳහා පිටත්ව යෑමට අවස්ථාව ලබාදීමට පියවර ගන්නා බව ඇමැතිවරයා කියා සිටියේය.

රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුපට සහ ජ්‍යෙෂ්ඨත්වයට බාධාවක් ඇති නොවන ආකාරයට විදේශ ගතවීමේ අවස්ථාව ලබාදීමට අවශ්‍ය චක්‍රලේඛ නිකුත් කිරීම මැදිහත් වෙමින්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට තමන් අපේක්ෂා කරන බව ද ඇමැති මනුෂ නානායක්කාර මහතා සඳහන් කළේය.

රාජ්‍ය සේවකයින් විදේශ ගතකිරීමේදී සහ ඔවුන්ට රැකියා අවස්ථා සොයා ගැනීමේදී විදේශ රැකියා නියෝජිත ආයතන සඳහා විශාල කාර්යභාරයක් පැවරෙන බවද, විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන් සමග ඊයේ (06 වැනිදා) පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment