රට ලේ විලක් බවට පත් කරමින්  අරාජිකත්වයට ගෙනයෑම වහා නවත්වන්න – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

134

රට ලේ විලක් බවට පත් කරමින් අරාජිකත්වයට ගෙනයෑම වහා නවත්වන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවේදනයක්නිකුත් කරමින් කියා සිටී.

 එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

 ශ්‍රී ලංකතා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු නොවූ ඛේදවාචකයක් මේ රට තුළ සිදුවෙමින් පවතී. බලය හමුවේ උන්මත්තකත්වයට පත්වුණ සුළු පිරිසක් විසින් මේ රට සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට කටයුතු කරයි.

 රාජ්‍ය පාලනය යනු ජනතාවගේ සුරක්ෂිතතාව සහ රටේ ආරක්ෂාව තහවුරු කිරීමයි. තම පෞද්ගලික බලය තහවුරු කර ගැනීම රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් නොවේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය පාලනයේ සිටම බලලෝභය වෙනුවෙන් උන්මත්තකයන් ලෙස හැසිරෙන මිනිසුන්ගෙන් සැමදාම මෙරට විනාශයෙන් විනාශයට ඇදීගියා.

 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රජෙකුට හිමි බලතල හිමිකරගත් අවස්ථාවේදී 2015 එම බලය මා විසින් කප්පාදු කරන ලදී. 2019 දී නැවතත් විධායක ජනාධිපතිවරයාට එම බලය තහවුරු කර ගැනීමෙන් මේ රට විනාශය කරා ගෙන යන ලදී. ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂනයේ නිරත ජනතාව මර්දනයට හදිසි නීතිය පැනවීම සහ බස්නාහිර පළාතට පමණක් ඇඳිරි නීතිය පැනවීම යුක්තිය යටගැසීමට ගත් නිර්ලජ්ජිත අදූරදර්ශී අනුවණ ක්‍රියාවකි. මෙය මා තරයේ හෙළා දකිමි.

 අද ඇතිවී තිබෙන තත්ත්වය පැහැදිලිවම මා මීට පෙර ප්‍රකාශ කළ තත්ත්වයයි. රටේ ජනතාවත් අරගලයේ නිරත වන ජනතාවත් ආරක්ෂා කිරීම මේ මොහොතේ ආරක්ෂක අංශයේ වගකීමයි. නිරායුධ අරගලයේ නිරත දරුවන්ට කිසි ලෙසකින් හෝ ප්‍රහාරයක් සිදුනොකොට සැබෑ ජන විරෝධයට ආයුධවලින් පිළිතුරු සෙවීම නොකරන ලෙස මෙරට ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයාගෙන්ද මා ඉල්ලා සිටිමි. වර්තමාන ජනාධිපතිවරයා සහ වැඩබලන ජනාධිපතිවරයා හට කිසි ලෙසකත් සැබෑ ජනවරමක් නොමැති දෙදෙනකු බව අවධාරණය කරමි. ඔවුන් ලබාදෙන අණ ක්‍රියාත්මක කිරීමේ දී දෙවරක් සිතා කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි. එමෙන්ම රාජ්‍ය දේපළ පොදු ජනතාවගේ දේපළක් ලෙස පිළිගෙන කටයුතු කරන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

 රට දිනෙන් දින අගාධයට ගෙන නොගොස් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එම ධුරවලින් ඉල්ලා අස්වී පොදු මහජනතාවගේ ඉල්ලීමට හිස නමා කටයුතු කරනු ඇතැයි මා විශ්වාස කරමි. බලලෝභිත්වයට කිසිලෙසක ආයුෂ නොමැති බව මතක තබාගෙන කටයුතු කරන ලෙස මා පාලකයන්ට තරයේ අවධාරණය කරමි.

advertistmentadvertistment
advertistmentadvertistment