රට වටා තැනින් තැන ගෑස් පුපුරයි – ජන ජීවිතයට දැඩි බලපෑම්…

314

යාපනය සහ කිළිනොච්චියේ  පිපිරීම් දෙකක්

රට වටා තැනින් තැන ගෑස් පුපුරයි - ජන ජීවිතයට දැඩි බලපෑම්...

යාපනයේදී සහ කිළිනොච්චියේදී 28 දා සවස ගෑස් උදුන් දෙකක් පිපිරී ගොස් ඇතත් ඉන් කිසිවෙකුටත් හානි සිදු වී නොමැත.

යාපනයේ කන්දරෝඩෙයි ගණදෙවි කෝවිල් පාරේ නිවසක ගෑස් උදුන පිපිරී යන අවස්ථාවේදී ගෘගණිය ළිප දල්වා වෙනත් කටයුත්තක නියැලී සිටියදී එය පුපුරා ගොස් තිබේ.

ගෑස් සිලින්ඩර පුපුරා යෑමේ සිද්ධීන් නිසා මෙම නිවෙස් හිමියා බිත්තිය සිදුරු කොට ගෑස් ටැංකිය බිත්තියෙන් ඈත වෙනත් ස්ථානයක තැබීම නිසා අනතුරේ හානිය අඩු වී තිබේ.

රට වටා තැනින් තැන ගෑස් පුපුරයි - ජන ජීවිතයට දැඩි බලපෑම්...

මේ අතර කිළිනොච්චියේ තිරුවායිආරු ප‍්‍රදේශයේ නිවසකද ගෑස් උදුනක් පිපිරී ගොස් ඇත්තේ වර්ෂාව පැවති අවස්ථාවේදීය. එම ගෘහණියද මුළුතැන්ගෙයි නොසිටීම නිසා කිසිවෙකුටත් හානි සිදුව නොමැත.

යාපනයේ චුන්නාකම් පොලිසිය හා කිලිනොච්චිය පොලිසිය මේ සිද්ධීන් දෙක සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

කල්පිටියේ හා වයිරන්කට්ටුවේ  ගෑස් කාන්දුවීමෙන් අනතුරු දෙකක්

රට වටා තැනින් තැන ගෑස් පුපුරයි - ජන ජීවිතයට දැඩි බලපෑම්...

පුත්තලම දිස්ත‍්‍රික්කයේ ගෑස් කාන්දු වීම් සම්බන්ධව අනතුරු දෙකක් වාර්තා වී තිබේ. කල්පිටියේ දළුව, නිර්මලපුර ප‍්‍රදේශයෙන් ඉකුත් 28 වන දින අනතුර වාර්තා වී පැය 24 ක් ගත වීමටත් පෙර හලාවත ආරච්චිකට්ටුවේ තවත් සිද්ධියක් වාර්තා විය.

ඒ හලාවත ආරච්චිකට්ටුව පොලිස් බල ප‍්‍රදේශයේ වයිරන්කට්ටුව ගම්මානයේ නිවසක ගෑස් කාන්දුවීමකි.

එදින නිවැසියන් පස්වරු 1.00ට පමණ ආරච්චිකට්ටුව ඉන්ධන පිරවුම් හලින් ගෑස් සිලින්ඩරයක් රැුගෙන නිවසට පැමිණ ගෑස් සිලින්ඩරය සවිකර ගෑස් ළිප දැල්වීමට යෑමේදී එක්වරම ගෑස් සිලින්ඩර සවි කළ ස්ථානය ගින්නක් හට ගෙන තිබේ. අනතුරුව පවතින අවදානම් තත්වය ද නොසලකා ගෑස් සිලින්ඩරය ගෑස් බටයෙන් ගලවා නිවසින් එළියට විසි කිරීමට ගෙහිමියන් කටයුතු කර තිබිණි.

එහිදී වැලි සහ ජලය දමා ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇත. මෙම සිදුවීම් දෙකෙහිදීම නිවෙස්වල සිටි අයගේ අවධානය යොමු වූ නිසා සිදු වන්නට ගිය විනාශයන් වැළකී ගොස් ඇත.

අමරනන්ද විජේසේකර – මහවැව

මාරවිල නිවසක ගෑස් කාන්දුවීමෙන්  – උදුනත් විනාශවෙලා

රට වටා තැනින් තැන ගෑස් පුපුරයි - ජන ජීවිතයට දැඩි බලපෑම්...

මාරවිල නගරයට ආසන්නයේ පිහිටි නිවසක ඊයේ (29 දා) උදෑසන ගෑස් කාන්දු වීමක් හේතුවෙන් පිපිරීමක් සිදු වී ඇති බව මාරවිල පොලිසිය පවසයි.

මාරවිල ගැරේජ් පාරේ පදිංචි ඈන්. පුෂ්පා පි‍්‍රයදර්ශනී යන අයගේ නිවසේ මෙම පිපිරීම සිදු වී ඇත.

නිවසේ මුළුතැන්ගෙයි තබා ඇති ආහාර පිසින ගෑස් උදුනට ගෑස් ගමන් ගන්නා බටය ගෑස් සිලින්ඩරයට සවිකර ඇති ස්ථානයෙන් (රෙගුයුලේටරය* පිපිරීම සිදු වී ගෑස් උදුනට බරපතළ ලෙස හානි සිදුවී ඇත. සිද්ධිය විස්තර කළ ඈන්. පුෂ්පා මහත්මිය අපි ඕඩර් වලට කෑම සපයනවා. මුළුතැන්ගෙයි ගෑස් ලිප් දෙකක් තියාගෙන තමයි අපි මේ මේ ආහාර සකස් කරන්නේ.

ගෙදර වැඩ ඉවර වෙලා කලින් දවසේ 10.30 ට විතර නිදාගත්තා. සාමාන්‍යයෙන් පාන්දර හතරට විතර ඇහැරෙනවා. ඇහැරිලා බලද්දි බලද්දී මේ හැමතැනම වීදුරු කටු විසි වෙලා තිබුණා. ගෑස් ළිපත් පිපිරිලා.

පස්සේ අපි රෙගුයුලේටරය සවි කරන තැනට සබන් වතුර දාලා බලපුවම බිංඳු බිංදු උඩට ආවා. ඉතින් අපි බයටම ගෑස් සිලින්ඩරය මිදුලෙන් තිබ්බා. දැන් රස්සාව කරන්න විදිහකුත් නෑ. ඉතින් අපිට මොකක් හරි පිළිවෙලක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.මේ විදිහට

ගෑස් පිරෙද්දි කොහොමද අපි ගෑස් සම්බන්ධව විශ්වාසයක් තියෙන්නේ. ඒ වගේම හරි බයක් දැනෙනවා දැන් ඉදිරියට ගෑස් භාවිතා කරල  මුළුතැන්ගෙයි වැඩ කරන්න.

අමරනන්ද විජේසේකර – මහවැව,නාත්තන්ඩිය රෙක්ස් හැරිසන්

හැටන්වල ගෑස් කාන්දුවී  ආපන ශාලාවකට හානි

රට වටා තැනින් තැන ගෑස් පුපුරයි - ජන ජීවිතයට දැඩි බලපෑම්...

හැටන් මල්ලිඅප්පුව ප‍්‍රදේශයේ පිහිටි ආපන ශාලාවක ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරිමක් සිදු වී වෙළෙඳ සැලට හානි සිදුවීම සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

29 දින උදෑසන 8.30ට පමණ පිපිරිම සිදු වූ බව එම ආපන ශාලාවේ හිමිකරු කියා සිටියේය.

තමන් කාලයක් තිස්සේ ආපන ශාලාව පවත්වාගෙන යන බවත්, 29 දින උදැසන ආහාර පිසිමින් සිටියදී ගෑස් ටැංකිය සහ ගෑස් ලිප අතර බටය එකවරම පුපුරා ගොස් ගින්න ඇති වූ බවය. ගින්නෙන් වෙළෙඳ සැලට හානි සිදු වූ බවත්, පිසමින් සිටි ආහාර පානද විනාශ වූ බව ව්‍යාපාරිකයා පැවසීය. පිපිරීමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

නුවරඑලිය – නාලක රත්නායක, හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

පාරිභෝගිකයාගේ සබන් පෙන පරීක්‍ෂාවෙන් අනතුර වළකී
– කාන්දුවන සිලින්ඩර  භාර ගන්නැයි සමාගම උපදෙස් දී නෑ

රට වටා තැනින් තැන ගෑස් පුපුරයි - ජන ජීවිතයට දැඩි බලපෑම්...

හැටන් ප‍්‍රදේශයේ ගෘහස්ථ පාරිභෝගිකයකු විසින් හැටන් නගරයේ අලෙවි නියෝජිතයාගෙන් 28 දා දින මිල දී ගන්නා ලද ගෑස් සිලින්ඩරයේ කාන්දුවක් ඇති බව එම පාරිභෝගිකයා විසින් හැටන් පොලිසියට දැනුම් දී ඇත.

මිල දී ගන්නා ලද ගෑස් සිලින්ඩරයේ මුද්‍රාව ඉවත් කර ගෑස් ළිපට සම්බන්ධ කිරීමට ප‍්‍රථම සබන් පෙන යොදා පරීක්ෂා කිරීමේදී මිල දී ගන්නා ලද කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයේ කාන්දුවක් ඇති බවට තහවුරු වී තිබේ. එහිදී නිවෙස් හිමියා විසින් ගෑස් සිලින්ඩරය නිවසින් ඉවතට ගෙන ගොස් ඇත.

එසේ ගෑස් කාන්දුවන සිලින්ඩර ආපසු භාර ගැනීමට තමන්ට ගෑස් සමාගමෙන් කිසිදු උපදෙසක් මේ වන තෙක් ලබාදී නොමැති බව හැටන් අලෙවි නියෝජිතයෝ කියා සිටිති.

නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment