රට වටේට කුඩු බෙදා ලෝකෙ වටේ සවාරි ගිහින් හරක් කටා මැඩගස්කරයේදී කොටුවෙයි!

1032

විශේෂ අනාවරණයක්

කුඩු සළිඳු ඇතුළු තවත් පිරිසක් ඒ කණ්ඩායමේ
මැඩගස්කරයේ මැණික් ව්‍යාපාරවලට කුඩු ජාවාරමේ මුදල් ආයෝජනය කරලා
මුල් වතාවේ මෙන්ම මේ වතාවේත් ‘හරක් කටා’ බේරාගන්න අදිසි හස්තයක සැලසුම්!
නැවත මෙරටට ගෙන ඒමේ මෙහෙයුමට විශේෂ නිලධාරීන් රැසක්!

මැඩගස්කරයේ පළවන එක්තරා වෙබ් අඩවියක් ඔස්සේ ඉකුත් 06 වැනිදා රාත්‍රියේ අපට අසන්නට ලැබුණේ සතුටුදායක ප්‍රවෘත්තියකි. ඒ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ වර්තමාන ගෝර්ඩ් ෆාදර් ලෙස හඳුන්වන ‘හරක් කටා’ සහ උගේ සමීපතම සහචරයා වන ‘කුඩු සලිඳු’ මැඩගස්කරයේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ප්‍රවෘත්තියයි.

මේ පුවත 07 වැනිදා උදෑසන වන විට ලැව්ගින්නක් මෙන් රට පුරා පැතිර ගොස් තිබුණේය. ගෙවී ගිය වසර 05 කට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට හෙරොයින් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය ටොන් ගණනින් එවමින් රටේ තරුණ පරපුර විනාශ කිරීම පිටුපස සිටියේ මේ හරක්කටා නමැති පාපතරයා බව පොලිසිය පමණක් නොව සාමාන්‍ය ජනතාව ද හොඳින් දැන සිටියහ. එවැනි පාපතරයන් පිරිසක් අත්අඩංගුවට පත්වීමේ ප්‍රවෘත්තිය මුළු රටටම මහත් ප්‍රීතිදායක එකක් වූ බව නිසැකය.

මැඩගස්කරයේ ආරක්‍ෂක අංශ පවසන අන්දමට හරක්කටා සලිඳු ඇතුළු අටදෙනකුගෙන් සමන්විත වූ මේ කුඩු නඩය කොටු වී ඇත්තේ ඉවාඩෝ ගුවන්තොටුපළේදී ය.

මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ ශ්‍රී ලංකා පොලිසිය විසින් මීට වසර කීපයකට උඩදී ලබාදී තිබූ ජාත්‍යන්තර රතු වරෙන්තුවකට අනුවය.

එහෙත් විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග පවසන්නේ මාකඳුරේ මධුෂ් අල්ලා දීම සඳහා ඔත්තු ලබාදුන් ආකාරයට මැඩගස්කර පොලිසිය වෙත මේ ජාවාරම්කරුවන් පිළිබඳව කල්තියාම තොරතුරු ලැබී ඇති බවයි. ඒ තොරතුරු සියල්ල හරක්කටා සමඟ එකට ජාවාරම් කරන ඩුබායි රාජ්‍යයේ සිටින පුද්ගලයකු විසින් ලබාදුන් බවට පැවසෙයි.

මිදිගම නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, සලිඳු මල්ෂිත හෙවත් පානදුරේ කුඩු සලිඳු ඇතුළු 08 දෙනකුගෙන් සමන්විත වූ කුඩු නඩය ඩුබායි සිට පෞද්ගලික ජෙට් යානයක් ඔස්සේ මැඩගස්කරයේ නොසිබ් ගුවන්තොටුපළට එන්නේ පෙබරවාරි 12 වැනිදාය.

මැණික් ව්‍යාපාරයේ යෙදෙන මහා ධනකුවේරයන් ලෙස රංගනයේ යෙදෙමින් මොවුන් පිරිස මැඩගස්කරයට ඇතුළු වූහ. එහෙත් ශ්‍රී ලංකා පොලිසිය ලබාදී තිබූ රතු වරෙන්තුව අනුව හරක්කටා හඳුනාගැනීමට මැඩගස්කර ආගමන විගමන නිලධාරීන් මෙන්ම එරට ආරක්‍ෂක බලධාරීන්ට හැකි විය.

එහෙත් ඔවුන් හරක්කටා ඇතුළු පිරිස තම මව්බිමට ඇතුළු වූ විගස අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළේ නැත. ඒ වෙනුවට එරට ආරක්‍ෂක අංශ කළේ හරක්කටා ඇතුළු පිරිසට රටට ඇතුළුවීමට ඉඩ දී ඔවුන්ගේ ගමන් බිමන් පිළිබඳව සෙවීමට වෙනම විමර්ශන කණ්ඩායමක් යෙදවීමය.

මේ විමර්ශන කණ්ඩායම හරක්කටා ඇතුළු නඩය නවාතැන් ගත් ස්ථාන, ඔවුන්ගේ ගමන් බිමන් පිළිබඳව පැය 24 පුරාම දැඩි විමසිල්ලෙන් පසුවූහ. දින කීපයකට පසුව මේ නඩය මැඩගස්කරයේ ඇන්වනානාරිවෝ ගුවන්තොටුපළ වෙත අභ්‍යන්තර ගුවන් යානයකින් පැමිණියහ.

මේ නඩයේ ප්‍රධානියා ලෙස සිටි හරක්කටා මහා ධන කුවේරයකු ලෙස පෙනී සිටියේය. හරක්කටාගේ මැලයාසි ජාතික බිරිඳ ඇගේ පියා මෙන්ම තවත් සංචාරකයන් පිරිසක් ඒ අතර වූහ. මේ පිරිස මැඩගස්කරය පුරා සැරිසැරුවේ මැණික් මිලදී ගන්නා මහා ධන කුවේරයන් ලෙසය.

මැඩගස්කරයේ ආරක්‍ෂක අංශ තමන් ලුහුබඳිමින් සිටින බව හරක්කටා ඇතුළු පිරිවර සිහිනයකින් හෝ සිතුවේ නැත. මේ පිරිස මැඩගස්කර ඔවාටෝ ගුවන් තොටුපළ වෙත එන්නේ ජාත්‍යන්තර ගුවන් සේවයකට අයත් යානයකින් රටින් පිටවීමේ සැලසුම් ඇතිවය.

දින ගණනක් තිස්සේ හරක්කටා ඇතුළු පිරිස ලුහුබඳිමින් සිටි එරට ආරක්‍ෂක අංශ ක්‍රියාත්මක වුණේ ඉන් පසුවය. ඔවාටෝ ගුවන්තොටුපළේදී හරක්කටා කුඩු සලිඳු ඇතුළු 08 දෙනා අත්අඩංගුවට ගැනීමට ආරක්‍ෂක අංශ කටයුතු කළහ.

එපමණක් නොව ඔවුන් හෝටලයේ සිට ගුවන් තොටුපළ දක්වා පැමිණි අති සුඛෝපභෝගී මෝටර් රථ දෙක සහ එහි රියැදුරන් ද අත්අඩංගුවට ගැනීමට මැඩගස්කර පොලිසිය කටයුතු කළේය.

හරක්කටාගේ බිරිඳ සතුව තිබූ රුපියල් කෝටි 32 කට අධික වටිනාකමෙන් යුත් විදෙස් මුදල් තොගයක් ද මැඩගස්කර පොලිසිය භාරයට ගෙන තිබුණේය.

අත්අඩංගුවට ගත් හරක්කටා කුඩු සලිඳු ඇතුළු පිරිස විශේෂ ආරක්‍ෂාවක් යටතේ මැඩගස්කර පොලිසියේ විශේෂ අපරාධ ඒකකයක් යටතේ රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකිරීමට කටයුතු කළහ. හරක්කටා ඇතුළු පිරිස අත්අඩංගුවට පත් වූ පුවත ශ්‍රී ලංකාවට නිල වශයෙන් දැනුම් දෙන්නේ සීසෙල්ෂ් දිවයිනේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහාය. මැඩගස්කරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොමැති නිසා මේ අපරාධකාරයන් මෙරටට ගෙන්වා ගැනීමේ සියලු කටයුතු ක්‍රියාත්මක කරන්නේ සීසෙල්ෂ් දිවයිනේ තානාපති කාර්යාලය හරහා ය.

ශ්‍රී ලංකාවේ වර්තමාන පාතාලයේ ගෝර්ඩ් ෆාදර් ලෙස හැඳින්වූ මාකඳුරේ මධුෂ්ගේ ගෝලබාලයන් අතර හරක්කටා කුඩු සලිඳු සන්ෂයින් සුද්දා, අංගොඩ ලොක්කා, කංචිපානි ඉම්රාන් වැනි පාතාල මැරයන්ට හිමිව තිබුණේ සුවිශේෂී ස්ථානයකි.

ඩුබායි රාජ්‍යයේ පැවති උපන්දින සාදයකදී මධුෂ්, කංජිපානි ඉම්රාන්, සන්ෂයින් සුද්දා ඇතුළු කුඩුකාරයන් රොත්තක් අත්අඩංගුවට ගෙන තිබුණේ එරට පොලිසිය මගින් ය. මේ මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් තිබියදී අංගොඩ ලොක්කා හිටියේ ඉන්දියාවේ ය. ඒ නිසා ඔහු එදින බේරුණි. අත්අඩංගුවට ගත් මධුෂ්, කංජිපානි, සන්ෂයින් සුද්දා ඇතුළු පිරිස එරටින් පිටුවහල් කරනු ලැබීය.

අත්අඩංගුවට පත්වීමෙන් පසු මධුෂ්ගේ පාතාල බලය මුළුමනින් ම පහතට වැටුණේය. ඔහු මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාලය ද සම්පූර්ණයෙන් ම අකර්මන්‍ය විය.

මේ අතර මධුෂ්ගේ සමීපතම සගයකුව සිටි අංගොඩ ලොක්කා මේ මත්ද්‍රව්‍ය ජාලය සියතට ගැනීමට වෑයම් කළේය. අංගොඩ ලොක්කාට අවශ්‍ය වුණේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ රජු බවට පත්වීමටය.

ඒ සඳහා අංගොඩ ලොක්කා හරක්කටාගේ සහාය පැතුවේය. ඒ වන විට මාතර වැලිගම ඇතුළු දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවීමේ කාර්යයට අතගසා සිටියේ සන්ෂයින් සුද්දා ය. තමන් සමඟ එක්ව කටයුතු කරන ලෙස අංගොඩ ලොක්කා සන්ෂයින් සුද්දාට ආරාධනා කළ ද ඔහු එය ප්‍රතික්‍ෂේප කළේ තනිවම ව්‍යාපාරය කරගෙන යන බව කියමින් ය.

අංගොඩ ලොක්කා සන්ෂයින් සුද්දාට මරණ වරෙන්තු නිකුත් කරන්නේ ඉන් පසුවය. සන්ෂයින් සුද්දා විනාශ කර දැමීමේ රාජකාරිය භාරදෙන්නේ හරක්කටා වෙත ය. සන්ෂයින් සුද්දා මරා දමා දකුණේ හෙරොයින් ආධිපත්‍ය ලබා ගන්නා ලෙස අංගොඩ ලොක්කා හරක්කටාට උපදෙස් දී තිබුණේය.

වැලිගම මිරිස්ස ධීවර වරාය අසලදී සන්ෂයින් සුද්දාට පළමු ප්‍රහාරය එල්ල විය. එහෙත් එදින ඔහුට දිවි ගලවා ගන්නට වාසනාව තිබුණේය. හරක්කටා ඇතුළු පාතාල මැරයන් පන්න පන්නා වෙඩි තබද්දී සන්ෂයින් සුද්දා දිවගොස් ජීවිතය බේරා ගත්තේය.

එහෙත් දෙවැනි වර එල්ල වූ ප්‍රහාරයෙන් ආරක්‍ෂා වීමට සන්ෂයින් සුද්දාට අවස්ථාව ලැබුණේ නැත. මාතර වරකාපිටිය පාසල අසලදී සන්ෂයින් සුද්දා ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයෙන් ඔහු අවසන් ගමන් ගියේය.

හරක්කටා ඩුබායි රාජ්‍යයට පැන ගන්නේ මේ සිදුවීම් මාලාවෙන් පසුවය.

රට වටේට කුඩු බෙදා ලෝකෙ වටේ සවාරි ගිහින් හරක් කටා මැඩගස්කරයේදී කොටුවෙයි!
පානදුරේ කුඩු සලිඳු

මාකඳුරේ මධුෂ් කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී ඝාතනයට ලක්විය. අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ඝාතනයට ලක්වන්නේ අනියම් බිරිඳ අතින්ය. පාතාලයේ මෙන්ම මත්ද්‍රව්‍ය ජාලයේ කෙළිකාරයන් එකා දෙන්නා පරලොව යද්දී ‘හරක්කටා’ කරළියට ආවේය.

ඒ වන විට කුඩු සලිඳු ඩුබායි රාජ්‍යයට පැමිණ සිටියේය. එතැන් පටන් මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාලය සියතට ගත් ‘හරක්කටා’ එය ජයටම කරගෙන යන්නට පටන් ගත්තේය. මධුෂ් සබඳතා පැවැත්වූ පාකිස්තානයේ, ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් සමඟ නව සම්බන්ධතා ගොඩනඟාගත් හරක්කටා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට අත ගැසුවේය.

එතැන් සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය පොම්ප කිරීමේ ජාවාරමේ ප්‍රධානියා බවට පත්වූයේ හරක්කටාය. දකුණු මුහුදු තීරය ඔස්සේ මෙරටට රැගෙන එන හෙරොයින්වල වැඩි හිමිකාරත්වයක් තිබුණේ හරක්කටාටය.

මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට යැවීම මෙන්ම ඒවා රට පුරා බෙදාහැරීමේ ජාලය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හරක්කටාට හැකි විය. ඒ සඳහා විවිධ ප්‍රදේශවල තම කල්ලියට සම්බන්ධ නියෝජිතයන් පත්කළ හරක්කටා මත්ද්‍රව්‍ය ජාවාරම රට පුරා ව්‍යාප්ත කළේය.

තම ජාලයට විරුද්ධව කටයුතු කරන ඕනෑම අයකු දෙවරක් නොසිතා ඝාතනය කිරීමට හරක්කටා කටයුතු කළේය. පසුගිය කාලය පුරා දකුණු පළාතේ සිදු වූ මිනිස් ඝාතනවලින් හරි අඩකට හරක්කටා සම්බන්ධ වී සිටි බව නොරහසකි.

හරක්කටා කුලී ඝාතකයන්ට ලබා දී තිබූ කොන්ත්‍රාත් මත ඒ මිනිස් ඝාතන බොහෝමයක් සිදුවිය.

සොත්ති උපාලිගේ දියණිය වූ නුගේගොඩ පදිංචි නිර්මලී නමැත්තිය හරක්කටාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ඒජන්තවරියකි.

පොලිසිය වරක් නිර්මලී අත්අඩංගුවට ගන්නේ හෙරොයින් තොගයක් සහ රුපියල් කෝටි හයකට ආසන්න මුදල් ද සමඟය. නිර්මලීගෙන් ප්‍රශ්න කිරීමේදී හරක්කටාගේ මත්ද්‍රව්‍ය ජාලය සමඟ පවත්වන සබඳතාව පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි විය.

මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානීන් කීපදෙනා අතර පෙරමුණේ සිටින හරක්කටාට එරෙහිව පොලිස් පොත්වල තිබුණ් ඉතාම සුළු චෝදනා කීපයක් පමණි. එක් අවස්ථාවක අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව අධිකරණයේ නඩු විභාග වන අතර තවත් අවස්ථා කීපයක ඉතාම සුළු හෙරොයින් ප්‍රමාණයන් සමඟ මොහු අත්අඩංගුවට පත් වී තිබිණි.

ශ්‍රී ලංකා පොලිසියේ මොහුට එරෙහි චෝදනා අල්ප වුවද මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධානියා බවට හරක්කටා පත්ව සිටියි. කිසි විටෙකත් කරලියට නොපැමිණෙන හරක්කටා මේ සියලු ජාවාරම් මිනිස් ඝාතන අපරාධ මෙහෙයවන්නේ තිරය පිටුපස සිටය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මෙන්ම දකුණේ පොලිස් ස්ථාන පසුගිය කාලය පුරා කළ මහා පරිමාණ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගවල අවසාන හිමිකරුවා වූයේ හරක්කටාය. එහෙත් සන්තකයේ තිබී හෙරොයින් බිඳක් හෝ අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම නිසා ඔහුට එරෙහිව චෝදනා ගොනුකිරීමට නොහැකි විය. මේ හේතුව නිසා හරක්කටාට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ලබා ගැනීම පහසු කටයුත්තක් නොවීය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කාලයක් තිස්සේ කළ දැඩි වෙහෙස මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේදී හරක්කටාට එරෙහිව රතු වරෙන්තු ලබා ගැනීමට හැකි විය.

ඉකුත් වසරේ සැප්තැම්බර් මාසය අගදී හරක්කටා ඩුබායි ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත්විය. හරක්කටාගේ නියම නම නඳුන් චින්තක වික්‍රමරත්න වුවද ඔහු එහිදී පෙනී සිටියේ හේරත් මුදියන්සේලාගේ රොෂාන් ඉසංක යන නමින් ය. ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ වරදට අත්අඩංගුවට ගැනීමෙන් පසු හරක්කටා පිළිබඳව තොරතුරු ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දෙන්න ඩුබායි පොලිසිය කටයුතු කර තිබුණේය.

ඩුබායි රටේ නීතිය අනුව සැකකරුවකු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටිය හැක්කේ දින 3 ක කාලයක් පමණි. හරක්කටා ගෙන්වා ගැනීමට මෙරට බලධාරීන් කටයුතු කළේ ඉතාම දියාරු ආකාරයට ය. මේ කුඩු ජාවාරම්කරු ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු නිසි වෙලාවේදී සම්පූර්ණ නොකළ නිසා එරට අධිකරණය මගින් හරක්කටා නිදහස් කර හැරියේය.

හරක්කටා එවර මුදා ගැනීමට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් දැඩි සටනක් කළහ. ඔවුන් තර්ක කළේ හරක්කටා ශ්‍රී ලංකා පොලිසිය වෙත භාරදෙනු ලැබුවොත් මධුෂ්ට අත් වූ ඉරණම ඔහුට නිසැකවම අත්වන බවයි.

කෙසේ වෙතත් එවර හරක්කටාට නිදහස ලබා ගන්නට හැකි වුණේය. නැවතත් ඩුබායි රාජ්‍යයේ අති සුඛෝපභෝගී ජීවිතය ගත කරන්නට පටන් ගත් හරක්කටා තම ජාවාරම් ඉතාම සාර්ථකව කරගෙන ගියේය. මත්ද්‍රව්‍ය ජාවාරම අති සාර්ථකව කරගෙන යෑමට හරක්කටාට නොමඳ සහායක් ලබා දුන්නේ පානදුරේ කුඩු සලිඳු විසින් ය. හරක්කටාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවීමේ වැඩි කොටසක් භාර වී තිබුණේ සලිඳු වෙතය. මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව විරුද්ධවාදීන් ඝාතනය කිරීමේ කාර්යය ද සලිඳු විසින් සාර්ථකව කරගෙන ගියේය.

කළුතර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකුගේ සමීපතමයකු ලෙස සිටි සලිඳු හෙරොයින් ජාවාරමට සම්බන්ධ වන්නේ මීට වසර තුන හතරකට උඩදීය. දේශපාලන බලය උපරිමයෙන් පාවිච්චි කළ සලිඳු පානදුර ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන පාතාල කල්ලියක් බිහිකර ගත්තේය.

තම ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස හෙරොයින් ජාවාරම තෝරාගත් සලිඳු පානදුරේ කුඩු සලිඳු ලෙස කුප්‍රකට වුණේය. පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියැදුරකු වෙඩි තබා ඝාතනය කර සිය අපරාධ චාරිකාව ආරම්භ කළ සලිඳු එතැන් සිට මිනිස් ඝාතන

ගණනාවක් සිදුකළේය. ඇතැම් ඝාතන සිය ගෝලබාලයන් යොදවා සිදුකළ සලිඳු තම පාතාල ආධිපත්‍යය කළුතර දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත කළේය.

පානදුර කේතුමතී රෝහලේ ගිලන් රථ රියැදුරකු සලිඳුගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී සිටියේය. සලිඳුගේ හෙරොයින්වලින් වැඩි ප්‍රමාණයක් මේ පුද්ගලයා රෝහලේ ගිලන්රථවලින් ප්‍රවාහනය කරමින් ලක්‍ෂ ගණනින් මුදල් ඉපයුවේය.

එහෙත් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත සලිඳු ගිලන් රථ රියැදුරට මරණ වරෙන්තු නිකුත් කළේය. සලිඳුගේ හෙරොයින් තොගයක් අල්ලා දීමට විශේෂ කාර්ය බළකායට ඔත්තු ලබා දීම ඔහුට එල්ල වූ චෝදනාව විය.

අවසානයේ කේතුමතී රෝහල් භූමියට කඩාවැදුණු සලිඳුගේ ගෝලබාලයන් ඔහුට වෙඩිතබා අවසන් ගමන් යවා පළා ගියහ.

කළුතර, පානදුර ඇතුළු ප්‍රදේශ ගණනාවක සලිඳු විසින් සිදුකරන අපරාධ මත්ද්‍රව්‍ය ජාවාරම් දිගින් දිගටම ඉහළ යද්දී පොලිසිය මෙන්ම විශේෂ කාර්ය බළකාය ඔහු ලුහුබඳින්නට වූහ.

අවසානයේ තම ජීවිතය බේරා ගැනීමේ අරමුණු ඇතිව සලිඳු ඩුබායි රාජ්‍යයට පළා ගියහ. එහිදී හරක්කටාගේ කල්ලියට සම්බන්ධ වූ සලිඳු මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවීමේ කටයුතුවලට සම්බන්ධ වූහ.

සලිඳු පානදුරයේ සුරූපී තරුණියක් සිය අනියම් බිරිඳ ලෙස තබාගෙන සිටියේය. සලිඳු ඩුබායි රාජ්‍යයට පලාගිය පසු ඇය එහි ගෙන්වා ගැනීමට දැඩි උත්සාහයක නිරත වුණේය. එහෙත් තරුණිය ඊට කැමැති වූයේ නැත.

ඒ අතර ඇය වෙනත් තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනඟා ගන්නට කටයුතු කළාය. තම අනියම් බිරිඳ වෙනත් තරුණයකු සමඟ පෙමින් බැඳී සිටින බව සැලවීමෙන් පසු සලිඳු දැඩි ලෙස කෝප වූවේය. දෙවරක් නොසිතාම ඔහු ඇයට මරණ වරෙන්තු නිකුත් කළේය.

‘අබ්බා’ සලිඳුගේ පාතාල කල්ලියේ සමීප ගෝලයෙකි. සලිඳු අබ්බාට දුරකථනයෙන් කතා කර තම අනියම් බිරිඳ මරාදැමීමේ කොන්ත්‍රාත්තුව භාර දුන්නේය.

පානදුර සුමංගල විදුහල ඉදිරිපට මාර්ගයේ මේ තරුණිය සිටියදී එහි පැමිණි අබ්බා සහ තවත් පාතාල මැරයකු තියුණු ආයුධවලින් ඇයට පහර දී කපා කොටා බරපතළ තුවාල කර පළා ගියහ.

බරපතළ තුවාල සහිතව මහ පාරේ වැටී සිටි සුරූපිණිය රෝහල්ගත කළ අතර ඇයට තවදුරටත් ජීවත්වීමේ වාසනාව හිමිව තිබිණි. මේ සිද්ධියෙන් ටික කාලයකට පසුව අබ්බා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එල්ල කළ ප්‍රහාරයකින් මරු වැළඳ ගත්තේය.

ඩුබායි රාජ්‍යයේ හරක්කටාගේ රැකවරණය ලබමින් සලිඳු මෙරට සිදුකළ අපරාධ රාශියකි. ඒ වන විට හරක්කටා කොස්ගොඩ සුජී සලිඳු ඇතුළු පාතාල මැරයන් සෑහෙන පිරිසක් සිටියේ එකටය. මාකඳුරේ මධුෂ් එරට පොලිසියට කොටුකර දුන් අන්නාසි මොරිල් සිටින්නේ ද මේ පාතාල මැරයන් සමඟ එකටය.

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ප්‍රධානියා බවට පත්ව සිටින්නේ අන්නාසි මොරිල්ය.

කෙසේ වෙතත් මේ වන විට මේ කුඩුකාරයන් සිටින්නේ මැඩගස්කරයේ ආරක්‍ෂක අංශය භාරයේ ය. මේ පාපතරයන් කෙසේ හෝ ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන උන්ට මරණ නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය.

එසේ නොමැතිව මොවුන් ගෙන්වා ගැනීමට කල් මරමින් සිටියහොත් එහි ප්‍රතිවිපාක භුක්ති විඳින්නට සිදුවන්නේ අපටම ය. මේ පාපතරයන් නැවත ඩුබායි රාජ්‍යය වෙත ගියහොත් ඔවුන් නැවතත් රිසිසේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙති. මෙරට අහිංසකයන් තවත් කීදෙනකුට ජීවිත අහිමි වේද කියා දන්නේ නැත.

එසේ නම් පොලිසියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙන්ම රජයේ ද වගකීම වන්නේ මැඩගස්කර රජය සමඟ කඩිනමින් සාකච්ඡා කර මේ පාපතරයන් කණ්ඩායම හැකි ඉක්මණින් මෙරටට ගෙන්වා ගැනීමය.

ඩුබායි රාජ්‍ය මෙවැනි අපරාධකාරයන් වෙනුවෙන් දියාරු නීතියක් ක්‍රියාත්මක කළ ද මැඩගස්කරය එසේ නොකරන බව දැන ගන්නට තිබේ.

හරක්කටා ඩුබායි රාජ්‍යයේදී කොටු වූ අවස්ථාවේ මෙසේ කල් මරන්නේ නැතිව මෙවර මේ පාපතරයන් පිරිස වහාම ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුය. හරක්කටා ඇතුළු නඩය කුදලාගෙන ඒමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එහි යෑමට නියමිතය.

අත්අඩංගුවට ගන්නා මෙවැනි දරුණු අපරාධකාරයන් ප්‍රවාහනය කිරීමට බොහෝ ගුවන් සමාගම් කටයුතු කරන්නේ නැත. එසේ නම් එවැනි අපරාධකරුවන් ප්‍රවාහනය කරන ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කර ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කර ගත යුතුය.

ශ්‍රී ලංකාවටත් රටේ ජනතාවටත් කිසිදු පළක් නැති මෙවැනි පාපතරයන් ආරක්‍ෂා කිරීම ද පලක් නැත. රටට කොඩිවිනයක්ව සිටින මෙවැනි පාපතරයන් ගෙන්වා උන්ට නිසි දඬුවම් දීම රජයේ ද වගකීම වන්නේය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment