රට වටේම ගේම් දුන්න ‘එල්.ටී.ටී.ඊ. කුමාර්’  රාජගිරියේදී අත්අඩංගුවට

1106

පොලිසියට කොටුවන විට සැක බඩු ගොඩක් ළඟ තිබිලා

එල්.ටී.ටී.ඊ. කුමාර් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සංචාරක මංකොල්ලකරුවෙකු රාජගිරිය ප්‍රදේශයේ සැඟවී සිටියදී හැටන් පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු ලෙස නම් කර ඇති මෙම සැකකරු ප්‍රදේශ රැසක සංචාරය කරමින් විවිධ සොරකම් ගණනාවක් සිදු කළ පුද්ගලයෙක් බව පොලිසිය පවසයි.

පසුගිය දිනක හැටන් – ෂැනන් ප්‍රදේශයේ වතු අධිකාරිවරයෙකුගේ නිවසක් මංකොල්ලකෑම සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයක දී අදාළ ස්ථානයෙන් අතුරුදන් වු ජංගම දුරකථනයක කේතය පරික්ෂා කිරීමේදී එය කොළඹ ප්‍රදේශයේ පුද්ගලයෙකු සන්තකයේ තිබියදී සොයාගෙන ඇත. එම පුද්ගලයා සතුව සැකකාර පුද්ගලයාගේ හැඳුනුම්පතේ පිටපතක් සොයාගෙන ඒ අනුව කළ විමර්ශනයක දී මෙම සැකකරු කොළඹ රාජගිරිය ප්‍රදේශයේ සිටියදී පොලිස් අත්අඩංගුවට ගත් බව හැටන් පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් මහතා පැවසීය.

මෙම සැකකරු මෙරට බොහෝ ප්‍රදේශවල කාන්තාවන් සමග සමීප සම්බන්ධතා පවත්වන බවත්, ඔවුන්ගේ නිවාස වලට පැමිණ සති ගණන් රැඳී සිටිමින් එම ප්‍රදේශවල නිවාස, වෙළඳසල් ආදී ස්ථාන මංකොල්ලකෑම් සිදු කර ඇති බවත්, පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබි රන් ආභරණ, ජංගම දුරකතන, උකුල් පරිගණක හා ටැබ් යන්ත්‍ර කීපයක් සොයාගත් බවත් පොලීසිය පවසයි.

සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය සිදු කරන බවත්, විමර්ශනවලින් අනතුරුව හැටන් දිසා හා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිරීමට නියමිත බවත් හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් මහතා වැඩිදුරටත් පැවසීය.

සටහන හා ඡායාරූප-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

 

advertistmentadvertistment
advertistmentadvertistment