රට වටේ චාරිකාවක් යන ගමන් මුහුද යට සුන්දරත්වයත් බලමු

1676

● මෝරුන්ට මැදිව ජීවිතය බේරගත්තෙ අනූ නවයෙන්
● දිය යටදී පස්සෙන්ම එන මාළු රෑන්
● ජීව විවිධත්වයක් ඇති මුහුදු පතුලේ වනාන්තර

සොබාදහමේ නේක විසිතුරු බව අපූර්වත්වය විඳින්නට අකමැති වන්නේ කව්රුද. ඔබ පරිසර ලෝලියෙක් නම් ගොඩබිම ඇති කුමන හෝ පරිසර පද්ධතියක චමත්කාරය දැක ඇතුවාට සැකයක් නැත. වැසි වනාන්තර, අර්ධ ශුෂ්ක කලාපීය වනාන්තර, සුවිශේෂී රැම්සා තෙත් බිම් වැනි පරිසර පද්ධති ස්වකීය වාසස්ථාන කරගෙන ජීවත්වන සතුන් ගැන අඩු වැඩි වශයෙන් ගොඩබිම් පරිසරයේදී අද්දැකීම් ලැබීම ඒ තරම්ම අමාරු කටයුත්තක් නොවේ. නමුත් සොබාදහමේ චමත්කාරය, අපූර්වත්වය සහ රහස් සඟවාගෙන තිබෙන පරිසරය ඇත්තේ ගොඩබිම පරිසර පද්ධතීන්ගේ පමණක්ද..?

ජීවීන්ගේ හටගැන්ම පිළිබඳ තවමත් පිළිගැනෙන්නේ මහා සාගරයෙන් සත්ත්වයාගේ හටගැන්ම සිදු වූ බවය. පළමුව ඒක ශෛලීය ජීවීන් හටගෙන පසුව එය ක්‍රමයෙන් පරිණාමය වී ගොඩ බිම දක්වා ද ජීවය ව්‍යාප්ත විය. එසේ බලන කල සොබාදහමේ රසවත් රහස් ගබඩාව වන්නේ මහ මුහුදය. අප වටා ඇති මහා සාගරයේ ජල කඳින් වැසුණු පතුළ තුළ කෙතරම් අප නොදන්නා අපූර්වත්වයක් සැඟව තිබේද? එවැනි පරිසරයක විසිතුරු බව දැක ගැනීම හිතූ පමණින් කළ හැක්කක්ද නොවේ. එසේම ගොඩබිම මහා වනාන්තරක ඇවිද යනවාට වඩා එම අද්දැකීම මොහොතක් පාසා වෙනස් වන නැවුම් මනස්කාන්ත එකක්ය. වින්දනයක් සහිතය. එක් අතකින් විසිතුරු අනෙක් අතට නොදැන ගියොත් බියකරු වූ ඒ චමත්කාර ලෝකය අංශූ මාත්‍රයක් දැක ගැනීමේ අවස්ථාව මීට දෙවසරකට මට ද හැකි විය. එම විරල අවස්ථාව හිමි වූයේ සාගරයේ මහා ජල කඳට යටින් ඇති එම විසිතුරු ලෝකයේ නිතර සරන රුහුණු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා අංශයේ ආචාර්යවරයකු වූ විද්‍යාඥයකු මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතාගේ මග පෙන්වීම යටතේ ය. විවිධ වූ පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකාව අවට සාගර පතුලේ සහ විදේශීය රටවලට අයත් සාගරයේ කිමිද ඇති ඔහුගේ අද්දැකීම් ගබඩාව එම විසිතුරු ලෝකයේ විඳි සුන්දර මතකයන්ගෙන් පිරී ඇත. ඔහුගේ මතකය ඔස්සේ කිමිඳ මේ ඔබව රැගෙන යන්නේ සාගරය පතුලේ ඇති ඒ විසිතුරු ලෝකය දැකීමටය.

රට වටේ චාරිකාවක් යන ගමන් මුහුද යට සුන්දරත්වයත් බලමු
මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර

මහාචාර්ය ටර්නි සාගරය පිළිබඳ විද්‍යාඥයෙක් වන නිසා පරීක්ෂණ අධ්‍යයන කටයුතු සහ විනෝදය සඳහා සාගර ජල කඳට යටින් ඇති ලෝකය සමග නිතර ගනුදෙනු කරන්නේය. එහෙත් ඔහු කිසි විටෙක කිමිදීම අවදානමක් නැති දෙයක් ලෙස සුළුවෙන් තකා මුහුදට බසින්නේ නැත. නොදන්නා වනාන්තරයකට ඇතුළු වනවාට වඩා ඒ ගමන අවදානම් බව කියන ඔහු කිමිදීමේ ශූරයෙක් වුව එය දැනුවත් භාවයෙන්ම කළ යුතු කාර්යයක් බව කියන්නේය. අපි මහ මුහුදට සොබාව ධර්මයට ගරුකොට ඒ හා අනුගතවයි එහි දර්ශනීය බව විඳිය යුත්තෙ. එසේම වනාන්තරයක නොදැන ගියොත් අතරමං වෙනවා සේම මුහුදු පතුල ගැන නොදැන කිමිදීම මංමුලා වී ජීවිතය අනතුරකට හෙළා ගැනීමේ අවදානමක් බව ඔහු කිමිදීමේදි මතකයට ගන්නා මූලික පාඩම ය.

“මුහුදු පතුලේ ඇති පරිසරයට ආගන්තුක කෙනෙක් ඒ පරිසරයට මුලින්ම නොදැන ගියා කියන්නෙ ඒ පරිසරයත් එක්ක මෝහනයට වගේ පත්වෙනවා. මොකද අඩියෙන් අඩිය එහාට යන්න යන්න තියෙන දේ හරිම ප්‍රියකරුයි වර්ණවත්. දැන් මුහුද යටදි අපිට හමුවෙන Hump Head Wrass කියන මාළුවා අපේ ශරීරයට වඩා විශාලයි. අපිට එයාල ළඟට හෙමින් කිට්ටු වෙන්න පුළුවන්. එයාල එක්ක ඇස ගැටීම තියාගෙන එයාල එක්කම පීනන්න පුළුවන්. එයාලව අත ගාන්නත් පුළුවන්. ඒ වගේ තැනකට ගියාම ආයේ එන්න අමතක වෙනවා. කහ පාට කළු ඉරි තියෙන පැන්නන් වගේ මාළු රෑනකට අහු වුණොත් එයාලා අපිත් එක්කමයි පීනන්නෙ. ශරීරයේ වැදීගෙන එහෙන් මෙහෙන් අස්සෙන් පීනගෙන අපිත් එක්කමයි ඉන්නෙ. ආයේ ඉතින් බේරිල්ලක් නෑ. හරිම සුන්දර යාළුවෝ රංචුවක් වගේ එකට ඉන්නෙ. ඒ වගේම තමන්ගෙ බල ප්‍රදේශයට එනවට අකැමැති මාළු ඉන්නව. ඒ ඇතැම් මාළු වර්ග ඉතා කුඩයි. හැබැයි අපි දැක්ක ගමන් එයාල කරන්නෙ ක්ෂණික ඇවිත් විටෙන් විට හපල යනවා. ගල් ගුල්ලා කියන සතා අපිව දැක්කොත් ඇස් ලොකු කරන් කට ඇරගෙන බලාගෙන ඉන්නෙ. කිට්ටු උනොත් අනිවාර්යෙන් හපනවා. බූවල්ලන් වගේ සත්තු අපිව දැක්ක ගමන් හැංගිමුත්තන් කරනවා. ඒ වගේ හැම විටම අලුත් දෙයක් ආකර්ෂණීය දෙයක් දකින්න ලැබෙන්නෙ. ඒ නිසා නොදැන කිමිදෙන කෙනෙක් ඒ පරිසරයට මොහොතින් මොහොත ඇබ්බැහි වෙනවා. එහෙම බලාගෙන දිය යටට යන්න යන්න තිබෙන අනතුර තමයි තමන් ඉන්න දිශාව, තමන් ඉන්න තැන අමතක වෙනවා. ඒකයි කියන්නෙ මුහුද පතුලෙ තියෙන අසිරිය දැක්කම මං මුලා වෙනවා කියල. ඒ සිරිමත් දැකුමත් එක්ක තව තව පතුලට ද තමන් කිමිදෙන්නෙ කියල හැඟීමක් නැතිවෙනවා. ඒවගේ අවස්ථාවකදි පියවි සිහියට එද්දි අපිට දිය මතුපිටට එන්න ටැංකියේ අවශ්‍ය ප්‍රමාණයට වාතය නැති වෙන්න පුළුවන්. මුහුද යටදී එක වැරැද්දක් වුණොත් ඒ වැරැද්දෙ පල විපාක වෙන්නෙ ජීවිතේ නැති වෙන එක.”

රට වටේ චාරිකාවක් යන ගමන් මුහුද යට සුන්දරත්වයත් බලමු

මහාචාර්ය ටර්නි මේ කියන්නෙ නොගැඹුරු මුහුදු සීමාවේ කිමිදීමේදී ඔහු ලද අද්දැකීම්ය. ශ්‍රී ලංකාවට නොගැඹුරු මුහුදු සීමාව ඉක්මවා යන විශාල මුහුදු සීමාවක් අයත් ය. වෙරළේ සිට එම ප්‍රමාණය නාවික සැතපුම් 200 ක් තරම් දුරකි. එම සාගර කලාපය ලංකාවේ භූ ප්‍රමාණය මෙන් අට ගුණයක් විශාලය. එම ගැඹුරු මුහුදේ දිය යට අද්දැකීම් නොලද්දේ වුවද නොගැඹුරු මුහුදේදී ඊට නොදෙවෙනි ත්‍රාසය සහ භීතිය මුසු අද්දැකීම් මහාචාර්ය ටර්නි විඳ තිබෙන්නේය. මුහුදේදී මිනී මෝරකු ඉදිරියට හමුවීම සමාන කළ හැකි වන්නේ ගොඩබිම මහ වනයකදී දරුණු කුළුමීමෙකු හෝ වලහකු ඉදිරියට අඩිය තිබ්බා හා සමානව ය. මුහුද යටදී හමු වූ දරුණුම සතුන් කවරේදැයි ඇසූ විට ඔහු එම බියකරු මතකය අවදි කළේය.

“වාසනාවකට ටයිගර් ෂාක් Tiger shark කියන එකා ලංකාවේ මුහුදු සීමාවේ නෑ. ඒත් බ්ලැක් ටිප් රීක් ෂාක් Black tip reef shark නමින් හඳුන්වන කළු වරල් සහිත මෝරා ලංකාවේදි හමුවෙනවා. එයා හමුවෙලා තියෙන්නෙ කොරල්පර ආශ්‍රිතව. එයත් මීටර් දෙකක් තරම් ප්‍රමාණයකට වැඩෙන මාළුවෙක්. කල්පිටිය බාර් පරයේ කිමිදුණු අවස්ථාවකදි මම මේ ත්‍රාසජනක අද්දැකීම ලැබුවේ. පරීක්ෂණ කටයුත්තක් සඳහා ඒ මොහොතේ මාත් සමග ස්විඩනයේ මහාචාර්යවරු දෙපලක්, ස්විඩනයේ ශ්‍රී ලංකා තානාපති සහ නාරා ආයතනයේ සාගරය පිළිබඳ විද්‍යාඥයෙක් හිටියා. එකපාරටම ආව මෙරුන් ෂාක්ල ටිකක් අපිව වට කරගෙන රවුමට හරියට ගුවන් යානා සමූහක් යනවා වගේ වටේට යන්න පටන් ගත්තා. අපි ඉක්මනට එකිනෙකාගේ පිටට හේත්තු කරගෙන ඒ දිහාම බලන් හිටියා ඇැස් ඉවතට ගන්නෙ නැතිව. ඒ වගේ වෙලාවට සතා දිහා බලාගෙනම පසු පසට එන එක තමා හොඳම දේ. හැබැයි මෙයාල විනාඩි දහයක් විතර එහෙන්ම අපි වටේට වට ගහන්න ගත්තා අපිව මග හරින්නෙ නැතිව. අපිට තේරුණා මෙයාලා අපෙන් ඈතට යන්නෙ නැති බව. ඉක්මනට අපි බෝට්ටුවට අත වනලා සංඥා කළා අපි ඉන්න තැනට එන්න කියල. බෝට්ටුව එතනට ආව නිසා එයාල එතනින් පිටවුණා. එහෙමයි අපි එදා ඒ ෂාක්ලා ටික මඟහැරියේ. ඒත් ඊටත් වඩා භයානක දෙයක් වුණේ ත්‍රිකුණාමලය පරවි දූපත අසලදි. එදා පරවි දූපතේ ඇති ගලක් වටේට මම කිමිදිලා යද්දි විශාල මෝරෙක් ඇඟේ වදින නොවදින ගාවට මූණට මූණ එනකන් මම එයාව දැක්කෙත් නෑ එයා මාව දැක්කෙත් නෑ. එදා තමයි මම වැඩිපුරම බය වුණේ. ඌ ආව වේගයට මාව වැදුණ නම් මොනව හරි වෙනවා. හැබැයි එයත් ගැස්සුන ගමන් ඒ ක්ෂණයෙන් පීනගෙන ගියා. එදා නම් මම හොඳටම බය වුණා.”

රට වටේ චාරිකාවක් යන ගමන් මුහුද යට සුන්දරත්වයත් බලමු

මුහුද යට කිමිදීමේ ඔහු සතු මෙවැනි අද්දැකීම් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවද අතික්‍රමණය කර ඇත. ජපානයේ ඔකිනාවා, කෙන්යා, ටැන්සානියා, මාලදිවයින, ඉන්දුනීසියාව, ඔස්ටේ්‍රලියාව, මොරිසස්, ස්වීඩනය වැනි රටවලට අයත් මුහුදේද අංශක හතක තරම් පහළ උෂ්ණත්වයක් යටතේද දියඹ යට කිමිදුම් අද්දැකීම් ඔහු සතුය. විනෝදාස්වාදය සඳහා කිමිදීමේදී නම් බොහෝ විට ඊට ඔබින කාලගුණයක් පවතින කාලයක සහ ප්‍රදේශක කිමිදෙන නිසා ඇතිවන ගැටලු අවමය.

ගොඩබිම දකින දසුන්වලට වඩා මනරම් ලෝකයක් දිය යටදී දැකිය හැකි නිසා විනෝදාස්වාදය අරමුණුකොට කිමිදීම ආශ්වාදජනකය. පර්යේෂණ හෝ වෙනත් රාජකාරී කටයුත්තකට කිමිදෙන්නෙකුට විනෝදාස්වාදය සඳහා කිමිදීමේදි ලැබෙන වින්දනය ලද නොහැකිය.

“විනෝදාස්වාදය අරමුණින් කිමීදීම කියන්නෙ හරිම සුව පහසුවෙන් කරන වැඩක්. ඉතා හොඳ පරිසරයක පැහැදිලිව මුහුද පේන කාලගුණයක් යටතේ ඒවා කෙරෙන්නෙ. එවැනි කිමිදුමකදි හරි රසවත් අද්දැකීම් ලබන්න පුළුවන්. මමත් අත්දැක තිබෙන රසවත්ම අද්දැකීම වින්දෙ එවැනි කිමිදීමකදි. එදා මම මුහුද යට කිමිදී සිටියදි විශාල මඩු මාළුවෝ රංචුවක් මට ඉහළින් ඉතා හෙමින් පිහිනාගෙන ගියා. එතැනදි මැවුණ පරිසරය ඉතා අලංකාර ප්‍රියජනක එකක්. මඩුවෝ එහෙම රංචු ගැහෙන්නෙ ප්‍රජනනය කරන කාලයට. දවසක් කාශ්මීර ස්නැපර්ස් කියන කහ පාට දහස් ගාණක මාළු රංචුවකටත් මාව මැදි වුණා. එදා ඒ මාළු රංචුවම පිහිනගෙන මගේ ඉස්සරහට එනවා ඊට පස්සෙ ආයෙත් මගේ පස්සෙන් පිහිනාගෙන එනවා. මෙහෙම විනාඩි විස්සක් විතර හරිම සුන්දර පරිසරයක් මගේ වටා නිර්මාණය වුණේ. ඒත් එක්කම ත්‍රිකුණාමලය මුහුදෙදි විශාල ටූනා මාළු TUNA රංචුවක් පිහිනාගෙන යන මාවතකට මම අහුවුණා. උන් මාව පහුකරගෙන එකිනෙකාගේ ක්ෂණිකව ඇතිවී නැති වී යන ශබ්දයත් එක්ක පිහිනාගෙන ගියේ හරියට රොකට් එකක් යන වේගයෙන්. හරියට ටෝපිඩෝ එකක් වගේ එන වේගයට මාව වැදුණන් මාව හිල් වෙනවා. එහෙම තමයි, මුහුද යටදි අඩියෙන් අඩිය තියෙන්නෙ වෙනස් වෙන සුන්දර ලෝකයක්. යක් දැල්ලා වගේ මාළුවෙක් දැක්කොත් සමහරු වශී වෙනවා. එයාගේ ඇඟේ ඇති වෛවර්ණ පාට මොහොතින් මොහොත වේගයෙන් වෙනස් කරනවා. හරියට තොරණක් වගේ. එයාගේ ප්‍රියම්බිකාවගේ හිත දිනා ගන්න තමයි එයාගේ එම චර්යා රටාව හැදිල තියෙන්නෙ. මෙවැනි සුන්දර දසුන් කිමිදීමේදි දැනුවත් විය යුතු පූර්ව දැනුවත් වීම් එක්ක මුහුදට බැස්සොත් කරදරයක් නැතිව අපිට දැක ගන්න පුළුවන්.”

රට වටේ චාරිකාවක් යන ගමන් මුහුද යට සුන්දරත්වයත් බලමු

කෙනෙකුට මුහුදු පතුලේදී දැක රසවිඳිය හැකි එවැනි අගනා පරිසරයක් වන්නේ මුහුද පතුලේ ඇති වනාන්තරය. ඒවා තෘණ වනාන්තරය. මුහුදු තෘණවලින් සැදුම්ලත් එම වනාන්තර ආශ්‍රීතව විසිතුරු ලෝකයක් දැකිය හැකිය. ගොඩබිම සේම මුහුදේ මල් හටගන්නේදැයි කවරෙකු හෝ ප්‍රශ්න කළොත් ඔබට සැකයකින් තොරව ඔව් හැකි කිව හැකි වන්නේ මෙම මුහුදු තෘණවල හටගන්නා කෙකටිය වැනි මල් වර්ගය නිසාය. මල් හටගෙන මුහුදු ජලය මගින් පරාගනය සිදු වී එම ප්‍රදේශයේම ගහනය ඇති කරගන්නා මෙම තෘණ වනාන්තර විසිතුරු සත්වයින්ගේ වාසස්ථාන වන්නේය. ලංකාවේ යාපනය කළපුව ආශ්‍රීත මුහුදේ ලෝකයේ වැඩිම උසකින් යුතු තෘණ වර්ගයට අයත් එවැනි තෘණ යායක් ඇත. මුහුදු සිංහයින්, කැස්බෑවන්, ඉස්සන්, පොකිරිස්සන් වැනි ජීවීන් අපූරු චර්යා රටා විඳීමට මුහුදු පතුලේ අපූරු ස්ථානයක් වන්නේ මුහුදු වනාන්තර ලෙසින් හඳුන්වන කොරල්පරය. එසේම මෙරට නොගැඹුරු මුහුදේ කිමිදෙන්නෙකු ඇස ගැටෙන වැදගත්ම ප්‍රදේශයක් වන්නේ කොරල්පර පිහිටි ප්‍රදේශයන්ය. ලෝකයේ ඇති හොඳම කොරල්පර ගහනය ලේඛන ගත කිරීමේදී ශ්‍රී ලංකාවේ පිහිටි කොරල්පර අයත් වන්නේ ලෝකයේ දෙවන මට්ටමේ තිබෙන කොරල්පර විශේෂයකටය. මෙරට වෙරළට ආසන්නයේ මේ කොරල්පර පිහිටීමත් අතීතයේදී ඒවා සිතියම් ගත කර නොතිබීමේ නිසා අතීතයේදී මේ කොරල්පරවල ගැටුණු නැව් මුහුදු බත් විය. එසේ ගිලුණු නැව් රාශියක් දකුණු දකුණු මුහුදු පතුලේ අතීත රහස් සඟවාගෙන නිධන්ගතව තිබෙන්නේය. එහි සැඟව ඇති කෞතුක වටිනාකම යනු සියවස් ගණනාවකට එපිට අතීතයේ මේ රට හා විදේශිකයන් අතර පැවති සංස්කෘතික සහ ආර්ථික බැඳීම්වල කතාවයි. ඇත්තෙන්ම මුහුදේ කිමිද චාරිකාවක් යන කිමිදුම්කරුවකුට ඇති රසවත්ම ස්ථානය වන්නේ කොරල්පර ගහන ප්‍රදේශයන්ය. මුහුදේ ඇති ජීව විශේෂයක් වන මුහුදු කොරල්පර ආශ්‍රීතව ගොඩබිමදී දැකිය හැකි උභය ජීවී සතුන් හැර අනෙකුත් සෑම ජීවි සත්ත්ව කොට්ඨාසයක්ම එහිදි දැකිය හැකි බව මහාචාර්ය ටර්නි ප්‍රදීප් මහතා කියන්නේ ඔහු ලද අද්දැකීම් ඇසුරෙන්ය.

“බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ ගොඩබිම තිබෙන සදාහරිත, නිවර්තන වනාන්තර තමයි ලෝකයේ වැඩිම ජීව විවිධත්වයක් දැකිය හැකි ප්‍රදේශ කියල. ඒත් මිහිපිට ඇති වැඩිම ජීව විවිධත්වයක් දැකිය හැකි වන්නේ මුහුදු පත්ලේ කොරල්පර ආශ්‍රීතවයි. ඒ නිසාම මුහුදේ ඇති කොරල්පර හඳුන්වන්නේ මුහුදේ ඇති වැසි වනාන්තර විදියට. ඒකට හේතු කීපයක් තියනවා.

රට වටේ චාරිකාවක් යන ගමන් මුහුද යට සුන්දරත්වයත් බලමු

ගොඩබිම කැලයකට වඩා එහි වැඩි සත්ත්ව විවිධත්වයක් තියනවා. ඊටත් වඩා වර්ණවත් බවක් තියෙනවා, ඒ වගේම ඊට වඩා වැඩි ත්‍රිමාණ සංකීර්ණ තත්ත්වයක් වර්ණවත් බවක් මේ කොරල් පරවල තියෙනවා.” එහෙත් මේ වටිනා පරිසර පද්ධතියේ ඇති විසිතුරු බව සහ අපූරුවත්වය තවමත් දැනගෙන විඳ තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මිනිසුන්ගෙන් ඉතාමත් දශමයකටත් වඩා අඩු ඉතා සුළු ප්‍රමාණයක් බවත් එය යම් තාක් දුරකට සිතට දුකක් ඇති කරන්නක් බවත් මහාචාර්යවරයා පවසන්නේය.

මහාචාර්යවරයා පැවසුවාක් මෙන් සමුද්‍රීය පරිසරය පිළිබඳ අපේ රටේ මිනිසුන් තුළ ඇත්තේ අඩු උනන්දුවකි. නමුත් ශ්‍රී ලංකාවට අයත් නොගැඹුරු මුහුද සහ වෙරළ තීරය ඉහළ වටිනාකමක් සහිත ලෝකයේ සුන්දරතම වෙරළ තීරයක් ලෙස විදේශිකයන් තුළ ඇති පිළිගැනීම ඉහළය. කිලෝ මීටර් 1600 තරම් දිගු ම භූමි ප්‍රමාණය තුළ කඩොලාන, කොරල් පර මුහුදු තෘණ, ගංගා මෝයයන්ගෙන්, මනරම් වැලි තලා සහ වැලි කඳුවලින් නිර්මාණය වී ඇත. අද්විතීය වටිනාකමක් සහ දර්ශනීය දසුන්වලින් සමන්විත නිසාම එය ලොව කවර ජාතිකයෙකුගේ වුව සිත් ඇදගන්නාසුලුය. තවමත් එම මනරම් පරිසරය නිසි ලෙස භාවිතා නොකළද විදේශීය විද්වතුන් පවා විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාව සතු මෙම මනරම් පරිසර පද්ධතිය සත්ත්වයා සහ පරිසරයේ විකාශය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා අගනා තෝතැන්නක් ලෙසය.

රට වටේ චාරිකාවක් යන ගමන් මුහුද යට සුන්දරත්වයත් බලමු

● තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment