රට වළකට නොවැටෙන IMF‍ ගමනකට…

830

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ගැන මේ දිනවල බොහෝ සාකච්ඡා සිදුවෙමින් තිබේ. අප විවිධ අවස්ථාවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය මීට පෙර 16 වතාවක් ලබාගෙන තිබේ. මෙවර අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතුවේ 17 වැනි වරටය. මෙවර මෙන්ම මීට පෙර ද රජය විසින් එම අරමුදලේ සහාය ලබන විට ඊට එරෙහිව මෙන්ම පක්ෂව ද තර්කවිතර්ක ඇති වේ. ඇත්තවශයෙන්ම අපේ ප්‍රශ්න අපටම තනියම විසඳා ගත හැකි නම් වඩාත්ම හොඳම දෙය එයයි. එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොගොස් අපටම මේ අර්බුදය සමනය කර ගැනීමේ හැකියාව තිබුණා නම් වඩාත්ම හොඳම දෙය එයයි. එහෙත් අපේම ආර්ථික කළමනාකරණයේ වරදින් ඉතිහාසයේ රට මුහුණ දුන් බලවත්ම විනිමය සහ ආර්ථික අර්බුදය දක්වා මේ ප්‍රශ්නය ඔඩුදුවා ගොස් පැවති බැවින් අපටම මේ විනිමය අර්බුදය විසඳා ගැනීමේ හැකියාව පැවති අවස්ථාව ද අප පසුකරගෙන තවත් බොහෝ දුරක් ගොස් සිටි බව අපගේ අදහසයි. ප්‍රධාන වශයෙන් මෙය විදේශ විනිමය අර්බුදයකි. ඒ නිසා මෙය මහ බැංකුවෙන් මුදල් අච්චු ගසා විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ. අප ගත් විදේශ ණය පියවිය යුතු වන්නේ විදේශ මුදල් වලින්මය. ඒ නිසා විදේශ මුදල් නොමැතිව මේ කිසිවක් කළ හැකි නොවේ.

එසේම විදේශ ණය පියවීමට පමණක් නොව තෙල්, ගෑස් ඇතුළු වෙනත් අත්‍යවශ්‍ය ආනයන සඳහා ද අපට විදේශ මුදල් අවශ්‍ය වේ. මේ බලවත් විදේශ මුදල් හිඟය නිසා තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල දුක් වින්ද කාලය කිසිවකුටවත් අමතක නැත. දින ගණනක් මේ පෝලිම්වල සිටි ඇතැම් අය මරණයට ද පත් විය. අප ගත් විදේශ ණය මුදල් ගෙවීමට ද අපගේ විදේශ සංචිත ප්‍රමාණවත් නොවීම නිසා ගිය වසරේ (2022) අප්‍රේල් 12 වැනිදා විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට ද රජයට සිදු විය. පාර්ලිමේන්තුවට නොදන්වා මෙය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ද නොයෙකුත් වාදවිවාද පැවතිණි. ඒ සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැත් වූ දෙසුමක දී මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිතුරු ද සපයා ඇත. කෙසේ වෙතත් විදේශ මුදල් නැත්නම් විදේශ ණය ගෙවීමට පමණක් නොව අත්‍යවශ්‍ය ආනයන පවා අපට සිදු කළ නොහැකිය. මේ නිසා රජය විදේශ ණය ගෙවීම් අත්හිටුවා විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියකට එළඹුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ විදේශ ණය හිමියන්ගෙන් අපට යම් කාලයක් සාකච්ඡා පවත්වා ඔවුන්ගේ මූල්‍යකරණ සහතික ලබාගත හැකි විය. මේ සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීමේ ක්‍රියාවලියේ පූර්ව අවශ්‍යතා බව පැහැදිලිව පෙනේ. එනම් විදේශ ණය ගෙවීම රජය විසින් තාවකාලිකව අත්හිටුවීමට සිදු වීම පමණක් හුදෙකලා සිදුවීමක් ලෙස සැලකිය නොහැකි බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම සඳහා පසුගිය මාර්තු 20 දින එම අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබී මේ වන විට එහි ප්‍රථම ණය වාරිකය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 333 ක් ද අපට ලැබී අවසන්ය. අප වෙත අනුමත වූ මුළු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 3 කි. මේ ණය පහසුකම අප වෙත අනුමත කර ඇත්තේ නිකන්ම නොව වසර 4ක් එනම් මාස 48ක් පුරා දිවෙන දීර්ඝ වැඩපිළිවෙළක් වෙනුවෙනි. මේ විස්තීර්ණ ණය පහසුකම අප වෙත අනුමත කරමින් 2023.03.20 දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නිල ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.

‘විස්තීරණ ණය පහසුකම හා අදාළ වැඩසටහනෙහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථායිතාව සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, දිළිඳු සහ අවදානමට ලක් විය හැකි කාණ්ඩ මත ආර්ථික බලපෑම් අවම කිරීම, මූල්‍ය ස්ථායිතාව ආරක්ෂා කිරීම සහ පාලනය සහ වර්ධන හැකියාවන් ශක්තිමත් කිරීමයි. විධායක මණ්ඩලයේ තීරණය මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 333 ක පමණ වන වාරිකය වහා මුදා හැරීමට සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගෙන් මූල්‍ය ආධාර ආකර්ෂණය කිරීමට හැකිවනු ඇත.’

මේ අනුව පැහැදිලි වන්නේ මේ ණය ලබා දීමත් සමග එම වැඩසටහන මගින් බලාපොරොත්තු වන අරමුණු මොනවා ද යන්නයි. මේ අනුව ඒ අරමුණු ඉටු වන අයුරින් එකඟතා ප්‍රකාරව අපට කටයුතු කිරීමට සිදුවනු ඇත. නැතහොත් වන්නේ අපට නියමිත කලට වේලාවට මෙහි ඉදිරි ණය වාරික ලබා ගැනීමට නොහැකි වීමයි.

මේ වන විට ලැබුණු පළමු ණය වාරිකයේ මුදල්වලින් කොටසක් අප වියදම් කර ද තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දුන් විස්තීරණ ණය මුදලේ පළමු වාරිකයෙන් ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ අමෙරිකානු ඩොලර් මිලියන 121ක් වූ අදාළ වාරිකය ගෙවා දැමූ බවත් එසේම රජය සේවක වැටුප් ගෙවීමට ද එම මුදල් යොදා ගන්නා බවත් රංජිත් සියඹලාපිටිය මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. වෙනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන මෙවැනි ණය මුදල් රජයට භාවිතා කළ නොහැකිය. එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන මෙවැනි ණය මුදල් මහ බැංකුව වෙත ලැබෙන අතර එමගින් අපේ විදේශ සංචිත තත්ත්වය වර්ධනය වේ. නමුත් මෙවර අදාළ ණය මුදල භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුමට බැර කළ හැකි ලෙස ලබා දී ඇත. එබැවින් එය රජයේ වියදම් පියවා ගැනීමට ද යොදා ගත හැකිවීම විශේෂත්වයකි. රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමට ද මේ මුදල් යොදා ගන්නේ ඒ අනුවය.

මේ අයිඑම්එෆ් අනුමැතිය ලැබීම සහ ඒ අනුව මුදල් ලැබීම අපට කිහිප ආකාරයකින් වැදගත් වේ. ප්‍රධානම දෙය නම් අප රට කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී අපට ණය තිරසාරභාවය ගැන සහතිකයක් ලැබීමයි. ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඒ අනුව අප තවදුරටත් බංකොලොත් රටක් නොවන බවයි. බංකොලොත් රටකට කිසිවෙක් උදව් කරන්නේ නැත. එහෙත් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම අනුමත වීම හරහා අපට වෙනත් උදව් උපකාර ලබාගත හැකිවනු ඇත. මෙයට හේතුව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් බහුපාර්ශ්වීය අංශයන්ගෙන් ණය ලබාගැනීම සඳහා බොහෝ විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගන්නා වැඩසටහනත් මූලික අවශ්‍යතාවක් වීමයි. දැන් එම අවශ්‍යතාව ඉටුව තිබේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන ඇති වැඩසටහන නිසා රජය කිසියම් මූල්‍ය විනයක් අනුව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් කටයුතු කරන බවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවට සහ වෙනත් රටවලට විශ්වාසය තහවුරු වේ. එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටනකට එළැඹීමෙන් ගොඩනැංවෙන ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ විශ්වසනීයත්වය නිසා පුද්ගලික

ප්‍රාග්ධන වෙළෙඳපොළින් තරගකාරී පොලී අනුපාත යටතේ අරමුදල් ලබාගැනීමට ද හැකිවනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කරගෙන මේ වසර හතර ගමන් කිරීම ඉතාමත් දුෂ්කර කටයුත්තක් වුවත් ඒ හරහා ආර්ථිකයේ අත්‍යවශ්‍ය වෙනස්කම් රැසක් කර ගැනීමට හැකිවනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වත් නැතත් කොහොමත් කළ යුතු දේවල් තිබේ. බදු ආදායම් වැඩි කරගැනීම ගතහොත් එය රජයක් විසින් අනිවාර්යයෙන්ම කළ යුතු දෙයකි. එය සිදුකරන ක්‍රමවේද නොයෙකුත් ආකාර විය හැකිය. මූලික වශයෙන්ම පනවන බදු සාධාරණ විය යුතු අතර එය බදු ගෙවන්නාට දැරිය හැකි විය යුතුය. එනම් රජයක් බදු අය කළ යුතු වන්නේ මල නොතලා රොන් ගන්නා බඹරෙක් ලෙසය. එහෙත් පසුගිය කාලයේ පනවන බදු අසාධාරණ බවටත් ඒවා දැරිය නොහැකි බවටත් නොයෙකුත් අංශවලින් බලවත් විරෝධතා මතුව ඇත. එසේම මේ බදු පැණවීම්වලට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ද සිදුකර තිබේ. රජය ද මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් සමග සාකච්ඡා කර තිබුණත් තාමත් මේ සම්බන්ධයෙන් නිසි විසඳුමක් හෝ එකඟතාවක් ඇතිව නැත. මේ අතරම අප වෙත අපගේ ණය හිමියන්ගෙන් මූල්‍යකරණ සහතික ලැබුණත් ඔවුන් සමග තවදුරටත් සාකච්ඡා කරමින් එම ණය සහන ලබා ගන්නා ආකාරය ගැන එකඟතාවන්ට එළඹීමට රජයට සිදුවනු ඇත.

ණය ස්ථාවරත්වය සහ මූල්‍ය හිඟයන් ආවරණය කිරීමට නම්, ශ්‍රී ලංකාවේ ණය නැවත ගෙවීම සඳහා විදේශ ණය හිමියන්ගෙන් සහන සහ බහුපාර්ශ්වීය හවුල්කරුවන්ගෙන් අතිරේක මූල්‍ය පහසුකම් ද රටට අවශ්‍ය වනු ඇත. ඉහළ තරගකාරිත්වයෙන් යුත් සහ අපනයනය පාදක කොටගත් ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා ද රජය විසින් මෙම ප්‍රතිපත්ති වෙනස්කම් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු ද වේ. ජනගහනයෙන් වැඩි පිරිසක් ආර්ථික දුෂ්කරතාවන්ට පත්වීම වැළැක්වීම සඳහා සමාජ ආරක්ෂණ වැඩසටහන් දිළිඳු සහ අඩු ආදායම්ලාභී ජනයා ඉලක්ක කරගෙන සිදුකළ යුතු වේ.

ඇතැම් අය ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදෙන ණය ලබා ගැනීමට ඇතැම් විට මේ වසර (2023) අවසන් වන තෙක් පමණ බලා සිටීමට සිදුවනු ඇති බවයි. එහෙත් එය එසේ නොවී මාර්තු මාසයේ දී එනම් මේ වසරේ පළමු කාර්තුව තුළම මේ ණය පහසුකම සඳහා අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබාගැනීමට හැකි වීම සතුටට කරුණකි. ඇතැම් අය මේ සතුටට රතිඤ්ඤා ද පත්තු කර ඇත. මේ සඳහා රතිඤ්ඤා පත්තු කිරීම කෙසේ වෙතත් මේ අනුමැතිය අපට ලැබීම තවත් ප්‍රමාද වූවා නම් සිදු වන්නේ කුමක් ද? එය අප කල්පනා කළ යුතුය. එනම් මේ මුදල් ලැබීම තවත් ප්‍රමාද වූවා නම් අපට මේ බලවත් විනිමය අර්බුදයේ ඇලී ගැලී සිටිමින් ඉන් පීඩාවට පත්වන කාලය ද තවත් දීර්ඝ වීමට ඉඩ තිබිණි. අයිඑම්එෆ් වැඩසටහන ක්‍රියාත්මක කරමින් ගමන් කිරීම අතිශය දුෂ්කර හා අභියෝගාත්මක බව ඇත්තය. එහෙත් දැන් මෙතැන් සිට ක්‍රමයෙන් මේ විනිමය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වන ගමන අපට ආරම්භ කළ හැකිය. ඒ සඳහා අතිශය දුෂ්කර දුර ගමනක් යෑමට අපට සිදුවනු ඇත. මෙහිදී ජනයාගේ පටි පමණක් තද කරන්නේ නැතුව රටේ ඉහළම පුරවැසියාගේ සිට පහළම කම්කරුවා දක්වාම අඩුවැඩි වශයෙන් කැප කිරීම් සිදු කිරීමට අපට සිදුවනු ඇත. ඒ සඳහා රටේ ජනාධිපතිවරයා ඇතුළු ඇමැතිවරුන්ගේ සිට ඉහළ පෙළේ සියලු දෙනාම ඉහළ සිට පහළට නිසි ආදර්ශ ලබාදිය යුතු වේ. එසේ නොකර ජනයාගේ පමණක් පටි තද කිරීමට යෑමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කිරීම සඳහා හෙට දවසේ බලවත් ප්‍රතිවිරෝධතා මතු විය හැකි බව අපි රජයට සිහිපත් කර සිටිමු. එසේම අයිඑම්එෆ් එකෙන් පමණක් ආර්ථිකය ගොඩ දා ගත නොහැකිය. අපේ ආර්ථිකය ගොඩ දාගත යුතු වන්නේ අප විසින්මය. ඒ නිසා අයිඑම්එෆ් එක කිව්වත් නැතත් අයිඑම්එෆ් එක සමග එකඟ වී ක්‍රියාත්මක කරන වැඩසටහනට අමතරව මේ විපතින් ගොඩ ඒම සඳහා අපේ රජයට වෙනම සැලසුම් ද තිබිය යුතු වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

ආයතන සහ පාලන රාමු සඳහා ගැඹුරු ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙනවා

රට වළකට නොවැටෙන IMF‍ ගමනකට…

ඉහළ උද්ධමනය, අඩු වූ සංචිත, තිරසාර නොවන රාජ්‍ය ණය සහ ඉහළ ගිය මූල්‍ය අංශයේ අවදානම් මධ්‍යයේ ශ්‍රී ලංකාව දැඩි පසුබෑමකට මුහුණ දෙමින් දැවැන්ත ආර්ථික හා සමාජීය අභියෝගවලට මුහුණ දී සිටී. ආයතන සහ පාලන රාමු සඳහා ගැඹුරු ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ. ශ්‍රී ලංකාව මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නම්, ප්‍රතිසංස්කරණ සඳහා ශක්තිමත් හිමිකාරත්වයක් සහිතව විස්තීරණ ණය පහසුකම මගින් සහාය ලබන වැඩසටහන කඩිනම් සහ කාලීනව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වේ.

දිළිඳු සහ අවදානමට ලක් විය හැකි කාණ්ඩ ආරක්ෂා කරමින් රාජ්‍ය මූල්‍ය හා ණය තිරසාරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රාජ්‍ය ආදායම් වැඩි කිරීම අරමුණු කරගත් රාජ්‍ය මූල්‍ය එකඟතාවක් ඇති කිරීම අවශ්‍ය වේ. ඒ අනුව දැනටමත් ක්‍රියාත්මක වන ප්‍රගතිශීලී බදු ප්‍රතිසංස්කරණ පවත්වාගත යුතු අතර, සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කර එය දිළිඳු කාණ්ඩ වෙත ඉලක්ක කළ යුතුය. රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ සාර්ථක වීමට නම් බදු පරිපාලනය, රාජ්‍ය මූල්‍ය හා වියදම් කළමනාකරණය සහ බලශක්ති මිලකරණය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය මූල්‍ය ආයතන අඛණ්ඩව ප්‍රතිසංස්කරණය කිරීම ඉතා වැදගත් වේ.

ක්‍රිස්ටලිනා ජෝර්ජීවා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ

advertistmentadvertistment
advertistmentadvertistment