රට වැහුවේ නැතොත් වසර අවසානයේදී කොවිඞ් මරණ 30000 ක්

544

ජවිපෙ පක්‍ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවේදී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ කියයි

රට වහා වසා නොදැමුවහොත් සෞඛ්‍ය පද්ධතිය බරපතළ ලෙස බිඳ වැටී මෙම වසර අවසන් වන විට කොරෝනා මරණ තිස් දහසක් පමණ මෙරට සිදුවිය හැකි බව වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඊයේ (13 වැනිදා) දැඩි අනතුරු ඇඟවීමක් කරමින් සඳහන් කර සිටියේය.

 දිනකට මරණ 4500 දක්වා වැඩි වීමේ හැකියාව පවතින බවත් සඳහන් කළ හෙතෙම එය ඔක්තෝබර් මාසය වන විට 6000ක් පමණ විය හැකි බවත් කීවේය. මෙම මරණ අතරින් අතරින් 75%ක් පමණ වැඩිහිටි ජනතාව වනු ඇති බවත් හෙතෙම පැවසීය.

 මෙම තත්ත්වය සුළුපටු දෙයක් නොවන බවත් කී හෙතෙම මුළු ජනගහනයෙන් සියයට 13ක් වයස 60ට ඉක්මවූ අය බව ද කියා සිටියේය.

 රජය මේ මොහොතේ නිශ්චිත තීන්දු තීරණ ක‍්‍රියාත්මක නොකළහොත් බරපතළ ඛේදවාචකයක් ඇති වීම නොවැළැක්විය හැකි තත්ත්වයක් බවත් හෙතෙම තවදුරටත් අදහස් දක්වමින් අනතුරු ඇඟවීය.

 ආණ්ඩුව ඉතාමත්ම දුර්වල, ඉතාමත් සෙමෙන්, විද්‍යාත්මක තොරතුරු භාවිත නොකර කටයුතු කරන බව පෙනෙන්නට ඇති බවත් කී හෙතෙම කොරෝනා මර්දනය සඳහා ක‍්‍රියාත්මක කාර්ය සාධක බළකායට වෛරසයක් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ අවබෝධයක් නොමැති බවත් චෝදනා කළේය.

 එසේම සංඛ්‍යා දත්ත විකෘති කිරීම බරපතළ තත්ත්වයක් විදිහට වර්ධනය වෙමින් ඇති බවත් කී හෙතෙම රෝහල් අඩපණ වෙමින් තිබෙන තත්ත්වයක අඩුම වශයෙන් සති දෙකක් හෝ සංචරණ සීමා ක‍්‍රියාත්මක කළ යුතු ඇති බවත් කීවේය.

 වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඊයේ (13 වැනිදා) එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

 සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment