රට සන්සුන් කරන්න ඉන්න ආගමික නායකයන් රට ගිනි තියන්න කීම හරිද? – ප්‍රකාශය අස්කර ගන්නේ නෑ

270

ප්‍රසන්න රණතුංග

පසුගිය මස 09 වැනිදා සිදුවූ නිවාස ගිනි තැබීම් ඇතුළු කලහකාරී සිදුවීම් පිටුපස ඇතැම් ආගමික නායකයන් සිටි බවට කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නේ නැතැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.

හෘද සාක්‍ෂියට එකඟව කතාකරන තමන් කිසිවිටෙකත් ජාතිවාදය හෝ ආගම්වාදය ඇදගෙන දේශපාලනය නොකරන බවත් පෙරේදා (11දා) උඩුගම්පොල පිහිටි

ගිනිතබා විනාශ කළ තම නිවස නිරීක්‍ෂණයට ගිය අවස්ථාවේ එහි පැමිණ සිටි මාධ්‍ය අමතමින් ඒ මහතා පැවැසීය.

ඒ මහතා මෙසේද කීය.

මගේ ගෙදර රජයේ වාහන දෙකක් තිබුණා. පාර්ලිමේන්තුවෙන් මට ලැබුණු බඩු බාහිරාදිය වගේම කැබිනට් පත්‍රිකාද තිබුණා. ඒ සියල්ලම විනාශ වුණා. මේක මගේ තාත්තගෙන් ලැබුණු ඉඩම. 88/89 භීෂණ කාලේ මේ ගෙදර නිසා විශාල පිරිසකගේ ජීවිත බේරුණා. අදටත් මේ ගෙදර දරුවන් වෙනුවෙන් නොමිලේ පංති පැවැත්වෙනවා. ඒ සියල්ලම නැතිවෙලා.

බලයට කෑදර යම් යම් පිරිස් මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බා. මේ ගිනි තැබීම් පිටුපස සමහර හාමුදුරුවරුන් වගේම සමහර පියතුමන්ලාත් හිටියා. ඝණ්ඨාර ගහල මිනිසුන් කැඳවලා කෝලහල කරපු හැටි වගේම පියතුමන්ලා මැදිහත් වෙලා ඒ මිනිස්සුන්ට ඇප දීපු හැටි ව්‍යාපාරික කාන්තාවක් හෙළිකළා.

මම දැක්කා පියතුමෙක් සහ හිමිනමක් පවත්වපු මාධ්‍ය හමුවකදී කිව්වා මන්ත්‍රීවරුන්ට කඳුළු සලන්න වෙයි කියලා. මිනිසුන්ට හිරිහැර කිරීම ආගමික නායකයන්ට අනුමත කරන්න පුළුවන්ද? රට සන්සුන් කරන්න ඉන්න ආගමික නායකයෝ රට ගිනි තියන්න කියනවා හරිද?

මම විවාහ වෙලා ඉන්නේ දෙමළ ජාතික ක්‍රිස්තියානි ආගමේ කාන්තාවක් සමඟ. ඒ නිසා ජාතිවාදය, ආගම්වාදය අවුස්සන බවට මට චෝදනා කරන්න බෑ. ජාති, ආගම් භේද ඇදගෙන මම කවදාවත් දේශපාලනය කරලත් නෑ, කරන්නෙත් නැහැ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment