රට සහල් මාෆියාව සහ සූකරයෝ

528

රටේ සහල් අර්බුදයක් ඇතිවන සෑම විටම රට සහල් ගෙන විත් රටට අතහැරීම මගින් අර්බුදය විසඳන බව ජනතාවට පෙන්වීම පාලකයින්ගේ සිරිතය. නමුත් ඇත්තටම එසේ කරන්නේ ජනතාවගේ යහපතටද, නැත්නම් එම පාලකයන්ගේම යහපතටද යන්න දැන් රටට ප්‍රශ්නයක් වී ඇත. ඒ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී කරන ලද සොයා බැලීමකදී සීමාවකින් තොරව රට සහල් ආනයනය කර, දේශීය හාල්වලට ඒවා මිශ්‍ර කර වැඩි මිලගණන්වලට විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් ඇති බව හෙළිදරව් කරගෙන ඇති නිසාය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු රටේ කෘෂිකර්ම අමාත්‍යවරු, රටේ අගමැතිවරු, ජනාධිපතිවරු රට සහලෙන් ස්වයංපෝෂිත බවට පම්පෝරි ගසන්නේ සෑහෙන කලක පටන්ය. රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව වන මෙට්‍රික්‌ ටොන් මිලියන 3.5 ක් පමණ වන ප්‍රමාණය රට තුළ නිපදවන බවද, ඒ නිසා රටෙන් සහල් ගෙන්වීමට අවශ්‍ය නොවන්නේ යයිද කියන්නේ අප නොව ඔවුන්ම ය. එහෙත් සැබෑව එය නොව, යලට-මහට කොතරම් වී කැපුණත් ඒවා පිළිබඳව ගණන් මිමි, අධීක්ෂණ නොමැතිව රටෙන් අසීමාන්තිකව සහල් ගෙන්වමින් කවුරුන් හෝ අධික ලාභයක් උපයන බවය. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී හෙළිදරව් කරගෙන ඇති සාධක අනුව එම ලාභය එක සහල් කිලෝවකින් රුපියල් 100 බැගිනි.

මෙය හෙණගහන අපරාධයකි. දවසට එක වේලකින් පමණක් ජීවිතය ගැටගහගන්නා පවුල් ලක්ෂ ගාණක් අද රටේ ජීවත් වෙති. එසේම රටේ මන්දපෝෂණය ඉහ වහා ගොස් ඇති බව කියන්නේ අප නොව, ජාත්‍යන්තර වාර්තා මගිනි. හාල් කිලෝවක් මිලදී ගන්නට අද බහුතර ජනයා දරන්නේ අපමණ වෙහෙසකි. එදා කීරි සම්බා නැත්නම් සම්බා හාලේ බත් කෑ මධ්‍යම පාන්තිකයන් පවා සතොසට, සුපිරි වෙළෙඳසලට ගොඩවී අද හෙමිහිට මල්ලට දාගන්නේ රුපියල් 200 ට අඩුවෙන් ඇති පොන්නි සම්බා හෝ සුදු රට හාල් කිලෝවක්, දෙකක් බව ඇත්තකි. නමුත් එවන් ජීවන අරගලයක ජනතාව මැදිව සිටිද්දී රට සහල්වලින් වෙනමම අධික ලාභයක් උපයාගැනීමේ ජාවාරම් කිරීම හෙණ ගහන අපරාධයක් නොවේ යැයි කාට නම් කිව හැකිද?

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවවත් නොදන්නවා විය හැකි මේ රට සහල් ජාවාරමේම තවත් දිගහැරුමක් මෙසේය. රටේ සංචාරක හෝටල් පද්ධතියට බාස්මතී ඇතුළු රට සහල් යම් ප්‍රමාණයක් ගෙන්වීමේ අවසරයක් කලක පටන් රජය මගින් ලබාදී ඇත. අප දන්නා පරිදි එම ප්‍රමාණය වාර්ෂිකව මෙටි්‍රක් ටොන් 3500 ක් පමණය. ඒ අවසරයට මුවාවී පකිස්තානය, ඉන්දියාව ඇතුළු රටවලින් ඕනෑ තරම් රට සහල් ආනයනය කිරීමේ ජාවාරමක් පසුගිය කාලයේ සිදුවිය. (තවමත් සිදුවනවාදැයි සොයා බලන ලෙස ද අපි මුදල් කාරක සභාවෙන් ඉල්ලා සිටින්නට කැමැතිය.) බාස්මතී සහල් ලෙස පවසමින් මෙසේ ගෙන්වන ලද සහල් බොහොමයක් බාස්මතී නොව සාමාන්‍ය පකිස්තාන් දිගටි සහල් වර්ග බවට බතලගොඩ සහල් පර්යේෂණායතනය මගින් හඳුනාගන්නා ලද්දේ සහල් කන්ටේනර් 50 කටත් වඩා රේගු අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ය. ඒ අනුව බතලගොඩ සහල් පර්යේෂණායතනය මගින් මේ සියලු සහල් වර්ගවල සාම්පල් හා වෙළෙඳ පළේ විකිණීමට ඇති සියලු බාස්මතී සාම්පල් ආයතනය තුළ පිස (උයා) කරන ලද රස, සුවඳ, භෞතික ගුණ පරීක්ෂණවලදී එහි කිසිදු සාම්පලයක ඔරිජිනල් බාස්මතී සහල් නැති බව හඳුනාගන්නා ලදි. අඩුම තරමින් “ටර්කි” නමැති බ්‍රෑන්ඩ් එක යටතේ ඔරිජිනල් බාස්මතී නමින් ඉතා ඉහළ මිලකට විකුණන සහල් වර්ගය පවා බාස්මතී නොවන බව බතලගොඩ පර්යේෂණායතනය මගින් හඳුනාගෙන තිබිණි. රිෂාඩ් බදියුර්දීන් කර්මාන්ත ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී ඇනවුම් කර තිබූ මෙම සහල් කන්ටේනර් තොගය රේගු භාරයට ගෙන තිබුණේ පසුගිය ගෝඨාභය රාජපක්ෂ යුගයේදී ය.

නමුත් පුදුමය නම්, එදා රේගු අත්අඩංගුවට ගත් කන්ටේනර් 50 ක පමණ ප්‍රමාණයට ඉන්පසු සිදු වූ දෙයක් නොමැති වීමයි. මේවාත් රට සහල් ජාවාරමේ කොටස් නොවේද…?

එසේම, දේශීය සහල් මිල ඉතා ඉහළ යනවිට රට සහල් ගෙනවිත් කොටසක් දේශීය සහල්වලට මිශ්‍ර කර දේශීය සහල් ලෙස වැඩි මිලට විකිණීම සිදුවන්නේ කලක පටන් ය. මේ ජාවාරම පළමුවරට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී කුඩා හා මධ්‍යම වී මෝල් හිමියන්ගේ එකමුතුවක් විසින් මාධ්‍ය හමුවක් තියා රටට හෙළිදරව් කළ මොහොතේ එක්තරා ප්‍රකට, මහා පරිමාණ මෝල් හිමියකුගෙන් ඔවුන්ට තර්ජනය කිරීමක් කළ බවට වාර්තා විය. මෙම මෝල් හිමියාට නවීන පන්නයේ සහල් මෝලක් සවිකිරීම සඳහා මෙන්ම අඹ වැවීම සඳහා එකල රජයේ ප්‍රබලයෙක් අක්කර 100 කට වඩා විශාල මහවැලි ඉඩමක් පවා ලබාදී තිබූ අතර, පුදුමය නම්, ඊට පසු යහපාලන යුගයේ කෘෂිකර්ම ඇමැති ධුරය දැරූ පී. හැරිසන් අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කරන ලද සහල් ආනයනය කිරීමේ බලයලත් ආනයනකරුවන් තිදෙනාගේ නම් ඇතුළත් ගැසට් නිවේදනයේ ඇති නම් තුනෙන් එකක් මේ මෝල් හිමියාගේ වීමය.

එසේ හෙයින් අපට ප්‍රශ්න කිහිපයක් මතුවේ. එනම්, පිටරටින් සහල් තොග ආනයනය කිරීමේ ව්‍යාපාරික කටයුත්තට මෝල් හිමියෙක් ඇතුළත් වූයේ කෙසේද…? හා ඒ පිටුපසින් සිට මේ ජාවාරමට අනුබල දුන් බලවතා කවුරුන්ද යන්නය. නොහොත් මේ සහල් ජාවාරම ඉතා සැලසුම් සහගතව කරන දෙයක්ද යන්නය.

එසේ හෙයින් අද මුදල් පිළිබඳ කාරක සභාව කතා කරන මේ රට සහල් ගෙනවිත් දේශීය සහල්වලට කවලම් කර විකුණන ජාවාරමට වර්තමානයක් සේම අතීතයක්ද තිබේ. ඊට අනුබල දුන්නෝ පොඩි පහේ උදවිය නොවන බව අපගේ විශ්වාසයයි. කෙසේ හෝ මේ ජාවාරම පිළිබඳව සොයා බලා විමර්ශනය කරන්නට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රමුඛ කාරක සභාව ගන්නා උත්සාහය අගය කළ යුතු වෙමු. ඒ කන්නට නැති රටක, කන්නට නැති වෙලාවක සහල් ජාවාරමක් හෙළිදරව් කරගැනීම ගැනය. එසේම, කෘෂිකර්ම, වෙළෙඳ හා මුදල් අමාත්‍යාංශවලින් වහාම මේ පිළිබඳව වාර්තාවක් කැඳවන්නට ගත් තීන්දුව අතිශය වැදගත් තීන්දුවක් සේම, එය කළ යුත්තේ 2020 න් පසුව නොව 2015 සිටම බව මුදල් පිළිබඳ කාරක සභාවට මතක් කරන්නට අප කැමැතිය.

advertistmentadvertistment
advertistmentadvertistment