රට හමුවේ ඇති ෆෙඩරල් අභියෝගය

250
  • ෆෙඩරල් නිසා සෝනියා ගාන්ධිට ශ්‍රී නගර් ගුවන්තොටුපළන් එළියට යෑමට අවසර ලැබුණේ නැහැ….
  • මුම්බායි හෝටලයට ත්‍රස්ත ප්‍රහාර එල්ලවූ අවස්ථාවේ නවදිල්ලියේ සිට මුම්බායිවලට කොමාන්ඩෝ භටයන් එවීම ප්‍රමාද වුණා.

ෆෙඩරල් ක්‍රමයට අප සම්පූර්ණයෙන්ම විරුද්ධයි. එය ඊළමට පාර කපනවා යයි ප්ලොට් ජාත්‍යන්තර නායක රාජන් සිවරාජන් සඳහන් කළේය.

නෝර්වේහි ඔස්ලෝ සිට පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණි සිවරාජන් ද්‍රවිඩ සන්ධානයේ යටි අරමුණු හෙළි කළේය.

ඔවුන් ඉතා සූක්‍ෂමව රට දෙකඩ කිරීමට සැලසුම්කරනවා දිස්ත්‍රික්ක කීපයකට ෆෙඩරල් පාලනයකුත් අනිත් දිස්ත්‍රික්කවලට තවත් පාලනයකුත් කුමකටදැ යැයි හෙතෙම ප්‍රශ්න කළේය.

ෆෙඩරල් පාලනය රජයට යෝජනා කරන්නේ ඇමරිකානු හිතවාදීන් යැයි ද සිවරාජන් තවදුරටත් පළ කළේය. රටකට කොටස් දෙකක් අවශ්‍ය නැතැයි ද හෙතෙම කීවේය.

එසේම ද්‍රවිඩ සන්ධානය ෆෙඩරල් ඉල්ලීමෙන් නතර වී නැත. ඔවුන් පලාත් සභා පනත මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙසද ඉල්ලයි. ඒ අනුව ඉඩම් බලතල සහ පොලිස් බලතලද ලබාදිය යුතුයි.

රට හමුවේ ඇති ෆෙඩරල් අභියෝගය
ප්ලොට් ජාත්‍යන්තර නායක රාජන් සිවරාජන්

පොලිස් බලතල දුන්නොත් මුළු පොලිස් දෙපාර්තමේන්තුව කැබලි රැසකට කැඩෙනු ඇත.

එසේම මහ ඇමැතිගේ අවසරය නැතිව රහස් පොලිසියට උතුරට යෑමට නොහැක. ඊට හොඳම නිදසුන ඉන්දියාවේ සිදුවූ දෙයයි. ඒ කාශ්මීරයේ ශ්‍රීනගර් ගුවන්තොටුපළින් එළියට යෑමට කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධිට අවසර නොලැබීමයි.

මේ හැර මුම්බායි ප්‍රහාරයේ දී කොමාන්ඩෝ භටපිරිස් නවදිල්ලියේ සිට මුම්බායි වෙත එවීමට ද මහාරාෂ්ට්‍ර මහා ඇමැතිගේ අවසරය අවශ්‍ය විය. ඉන් සිදුවූයේ කොමාන්ඩෝ භට පිරිස මුම්බායි වෙත පැමිණීම ප්‍රමාදවීමෙන් ත්‍රස්තවාදීන්ට මුම්බායි ටජ් හෝටලය තුළ ඝාතන රැසක් සිදුකිරීමට ඉඩ ලැබීමයි. මෙවන් පසුබිමක් මැද උතුරු නැඟෙනහිර ෆෙඩරල් පාලන ක්‍රමයක් ආරම්භ කිරීමේ මෙහෙයුම පසුගිය රාජපක්‍ෂ රජය සමයේදී සිදුවිය. එහෙත් එවකට රජය ඒ ගැන අවධානය යොමු කළේ නැත.

උතුරු මහඇමැතිව සිටි සී විග්නේශ්වරන් මෙරට ස්විස් තානාපති බලධාරීන් අමතා ස්විට්සර්ලන්තයේ ප්‍රිබුක් නගරයේ ෆෙඩරල් පාලන අංශයේ විශේෂඥයන් තිදෙනකු උතුරට කැඳවා ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ට ෆෙඩරල් පාලනය ගැන දේශනයක් පවත්වන අවස්ථාවේ එවකට රජය බලා සිටියේය.

මේ ගැන එදා රජය ස්විස් තානාපතිට අවවාද කිරීමට ක්‍රියාකළේද නැත. එසේම රජයේ අවසරය නැතිව ස්විස් ෆෙඩරල් ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවට කැඳවන්නේ කෙසේදැයි උතුරු මහ ඇමැතිගෙන් විමසුවේද නැත.

අද එහි ප්‍රතිඵලය තහවුරුවී ඇත. සුමන්තිරන් ඍජුව ම ෆෙඩරල් පාලනයක් ඉල්ලා සිටී. ඊට අමතරව පොලිස් බලතල ලබාදුන්නොත් උතුරු නැඟෙනහිර වෙනම රටක් වනු නියතය.

විශ්‍රාමික පොලිස්පතිවරු රජයට සංදේශයක් යවමින් උතුරට පොලිස් බලය ලබානොදෙන ලෙස ඉල්ලා තිබේ.

මෑතකදී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සංවිධානයේ නායක පී. සරා හෙවත් පාක්‍යසෝනි සරවනමුත්තු නැමැත්තා උතුරට මුදල් බලතල දිය යුතු බව පවසා තිබේ.

එහෙත් රජය එම ඉල්ලීම්වලට රැවටිය යුතුද?

ප්ලොට් සංවිධානයේ පැරණිම ක්‍රියාකාරිකයකුවූ නෝර්වේ සිටින රාජ්‍ය සිවරාජන් හෙළි කළේ ෆෙඩරල් දුන්නොත් ශ්‍රී ලංකාව ක්‍රමක්යෙන් දෙකඩවන බවයි. බරපතළ අනතුරක් ඉදිරියේ ඇත. එය රජයට තේරෙන්නේ නැත. එක් පැත්තකින් විග්නේශ්වරන් – අනිත් පැත්තෙන් ටී එන් ඒ සංවිධානය, මේ දෙකම එකතුවී රට කඩනවා යැයි ඔහු හෙළි කළේය.

එක රටකට කොටස් 2 ක් කුමකටද? යන ප්‍රශ්නය යුරෝපයේ සිටින මධ්‍යස්ථ ද්‍රවිඩ ජනතාව ප්‍රහ්න කරනවා යයි රාජන් සිවරාජන් පළ කළේය.

මේ පසුබිම මැද ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්ද අද ද්‍රවිඩ සන්ධානයට එකතුවී ඇත.

එහෙත් ෆෙඩරල් පාලනය අවශ්‍ය බව ප්‍රසිද්ධියේ පවසා නැති මේ අතර ෆෙඩරල් ගැන උතුරු නැඟෙනහිර ජනතාවගේ අදහස් විමසීමටද රජය තීරණය කර ඇත.

ඒ සඳහා වව්නියාවේ කාර්යාලයක් ස්ථාපිත කිරීමටද රජය තීරණය කර තිබේ.

කෙසේ වෙතත් 75 වැනි නිදහස් සමරුවට පෙර 13 වැනි සංසෝධනය දිය යුතු යැයි ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලා තිබේ. සුමන් තිරන් පවසා ඇත්තේ රජය සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථක බවයි. එසේම කඳුකරයේ දේශපාලකයකු වූ පලනි දිගාම්බරම් උතුරු නැඟෙන හිරට පොලිස් බලතල දියයුතු යැයි ප්‍රකාශ කර තිබේ.

එලෙස පොලිස් බලතල දුන්නොත් මුලතිවු, මන්නාරම, වව්නියාව, ත්‍රිකුණාමලය, මඩකළපුව, අම්පාර සහ කිළිනොච්චි යන ප්‍රදේශවල මධ්‍යම රජය සතු පොලිස් බලතල බිඳ වැටෙනු ඇත. එසේම ත්‍රස්ත මර්දන ඒකකය සහ රහස් පොලිසියට සහ මත්ද්‍රව්‍ය නාශක ඒජන්සියට ද උතුරු නැඟෙනහිරට අඩිය තැබීමට ද නොහැකි වේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment