රණපුර ඉන්ධනහල් හිමිකරුගේ නිවසට  පෙට්‍රල් බෝම්බ ගහලා – උඩු මහල ගිනි ගනී

351

ඉපලෝගම, රණජයපුර ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක හිමිකරුගේ නිවසට පෙරේදා (21 දා) රාත්‍රි කිසියම් පිරිසක් එල්ල කළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් එම නිවසේ ඉහළ මාලය ගිනි ගෙන ඇතැයි ඉපලෝගම පොලිසිය පවසයි.

මෙම ඉන්ධන පිරහුම්හල් හිමිකරුට අයත් බෝගහඅක්කරය, කලාකරඹෑව ලිපිනයේ පිහිටි මෙම නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බව ද පොලිසිය කියයි.

එම දෙමහල් නිවසේ උඩුමහලේ ආලින්දයේ ඇති දොරෙන් සහ පිටුපස දොරකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බවට සැක කරන බවත් එම ප්‍රහාරයෙන් හටගත් ගින්න හේතුවෙන් උඩුමහලට දැඩි හානි සිදුව ඇති බවත් පොලිසිය කියයි.

මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී හිමිකරුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා පමණක් නිවසේ සිට ඇත. ඔවුන්ට කිසිදු හානියක් සිදුව නැත.

ලබන වසරේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ හදාරන මෙම දරුවන් දෙදෙනාගේ පොත්පත් ද ගින්නෙන් විනාශයට පත්ව ඇතැයි පවුලේ ඥාතියෙක් මෙහිදී පැවසීය.

මෙම ඉන්ධනහලේ තොග අවසන්වීම හේතුවෙන් පෙරේදා (21 දා) දිගු පෝලිම්වල සිටි පිරිස්වලට ඉන්ධන නොමැතිව හිස් අතින් ආපසු යෑමට සිදු වූ බවත් නොසන්සුන් වූ එම පිරිස් මෙම ප්‍රහාරය එල්ල කළේද, නැතිනම් වෙනත් පිරිසක් ප්‍රහාරය එල්ල කළේ ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ඉපලෝගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කිත්සිරි හේරත් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment