රණවිරු ගැටලු 9 ක් ඉක්මණින් ලිහයි

254

වසර 10කට වැඩි කාලයක සිට ත්‍රිවිධ හමුදාවේ නොවිසඳී තිබූ ගැටලු 11කින් 09ට විසඳුම් ලබාදීමට රජය එකඟතාවය පළ කර ඇත.

උතුරු, නැඟෙනහිර මානුෂික මෙහෙයුමෙන් පසු වසර දහයකට අධික කාලයක් තිස්සේ නොවිසඳී පවතින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හා ආබාධිත රණවිරුවන්ගේ වැටුප් විෂමතාවය, විශ්‍රාම වැටුප් විෂමතාවය ඇතුළු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ත්‍රිවිධ හමුදා බලධාරීන් සමග පැවැති සාකච්ඡාවේ දී මෙම එකඟතාවය ප්‍රකාශ කර ඇත.

රණවිරුවන් 7000කට ආසන්න පිරිසක් මෙම ගැටලු හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව එම සාකච්ඡාවේ දී හෙළි වී තිබේ. 2009 වසරට පෙර විශ්‍රාම ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ක්‍රියාන්විත ප්‍රදේශවල වසර 05ක් සපුරා නොමැති වීම හේතුකොට ගෙන විශ්‍රාම වැටුපෙන් සියයට 85ක් අහිමි වීම වෙනස් කර දෙන ලෙස වූ ඉල්ලීම ඉටුකර දීමට සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස සාගල රත්නායක මහත ප්‍රකාශ කර තිබේ.

ක්‍රියාන්තිව රාජකාරියේ යෙදී සිටිය දී ත්‍රස්තවාදී ක්‍රියා නොවන හේතුන් මත මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන්හට ස්ථාවර දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලීමට මාස දෙකක් තුළ විසඳුම් දීමට ඒ මහතා නියම කර තිබේ. එසේ ම ක්‍රියාන්විත රාජකාරියේ දී ආබාධිත වූ රණවිරුවන්ට ආබාධිත වැටුප් සකස් කිරීමට අවශ්‍ය ලිපි ලේඛන සොයා ගැනීමට නොහැකි වීමෙන් පීඩාවට පත්ව ඇති පිරිසට එම වැටුප සකසා දෙන ලෙස කර තිබූ ඉල්ලීමට හමුදාපතිවරුන්ගේ නිර්දේශ පමණක් සලකා බලා අදාළ වැටුප සකසා දෙන ලෙස ද රත්නායක මහතා ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් දී ඇත. මෙවැනි ඉල්ලීම් නවයකට විසඳුම් දීමට පියවර ගෙන ඇති සාගල රත්නයක මහතා සෙසු ඉල්ලීම් දෙක සම්බන්ධයෙන් විස්තරාත්මක කරුණු ලබාදෙන ලෙසත් පසුව ඒ ගැන යළිත් සාකච්ඡා කළ හැකි බවත් දැනුම් දී තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment