රණසිංහ ප්‍රේමදාස සිටියේ නම් අද සශ්‍රීක රටක් තියෙනවා – කරු ජයසූරිය

428

මගේ පියා එදා කිව්වේ සත්‍ය කිසිදා පරාජය කළ නොහැකි බවයි – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

රණසිංහ  ප්‍රේමදාස  29 වැනි  ගුණ සමරුව


හිමිදිරි පාන්දර අවදිවන හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා අද සිටියේ නම් අද මේ රට ඉතා සශ්‍රීක රටක් වනු නිසැක බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (1 දා) පැවැසීය.

රණසිංහ ප්‍රේමදාස සිටියේ නම් අද සශ්‍රීක රටක් තියෙනවා - කරු ජයසූරිය

හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 29 වැනි ගුණ සමරුව නිමිත්තෙන් කොළඹ අලුත්කඩේ පිහිටි ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ චාම් උත්සවයේදී ඒ මහතා එසේ කියා සිටියේය.

එහිදී හේමා ප්‍රේමදාස, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, දුලාංජලී ප්‍රේමදාස ඇතුළු පවුලේ හිතවතුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. එහිදී හේමා ප්‍රේමදාස මහත්මිය හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට මල් කළඹක් තබා පුෂ්පෝපහාර දැක්වූවාය.

රණසිංහ ප්‍රේමදාස සිටියේ නම් අද සශ්‍රීක රටක් තියෙනවා - කරු ජයසූරිය

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පිළිරුවට මල්දම පැළඳුවාය එහිදී තවදුරටත් කතා කළ හිටපු කථානායක කරු ජයසූරිය මහතා මෙසේද කීය.

1994 ඉඳලා වාර්ෂිකව පැවැත්වෙන මෙම ගුණ සමරුවට සෑම වසරකම සහභාගිවූ පුද්ගලයකු වශයෙන් අදත් එතුමාගේ ගුණ සමරන්නට පැමිණීමට ලැබීම ගැන ලොකු ගෞරවයක්. එතුමා සමග ඉතාමත් කිට්ටු ආශ්‍රයක් මා තුළ තිබුණා. මාසෙකට තුන් හතර වතාවක් උදේ පාන්දර එතුමා හමුවුණා. විශේෂයෙන් එහිදී ව්‍යාපාරික ප්‍රජාව ගැනත්, ආර්ථිකය සම්බන්ධයෙනුත් අපි අදහස් හුවමාරු කර ගත්තා. ඒ වගේම එතුමාට ඒ පිළිබඳ විශේෂ දැනීමක් තිබුණා. එතුමා සමාජ ආශ්‍රය තුළිනුත්, පොත්පත් කියවලා අධ්‍යයනය කරලා උපයාගත් දැනුමයි ඒ.

රටේ අනාගතය ගැන එතුමාගේ තිබුණු සිහින බලාපොරොත්තු එතුමාට තිබුණු ප්‍රාර්ථනා පිළිබඳව අපි හොඳටම දැනුවත්ව සිටියා. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ජීවත්ව සිටියානම් අද මේ ලංකාව සම්පූර්ණයෙන්ම වෙනස් සශ්‍රීක ඉතා දියුණු රටක් බවට පත්වීමට ඉඩ තිබුණා. එතුමාගේ අභාවය අපිට, රටට, ජනතාවට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයට විශාල පාඩුවක් වුණා. ඒක රටේ අවාසනාව ලෙසයි අපි දකින්නේ. විශේෂයෙන්ම දුගී, දුප්පත්, අසරණ ජනතාව වෙනුවෙන් එතුමන්ගේ සුවිශේෂී හැඟීමක් තිබුණා. එතුමාට අවශ්‍ය වුණේ සෑම ගෙදරකටම උළු සෙවිලි කිරීමට, විදුලිය ලබාදීමට, සෑම කෙනෙකුටම නිවාසයක් ලබාදීමට, හොඳ පවුල් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පරිසරය සැකසීමට සහ සාර්ථක ආර්ථික තත්ත්වයක් ලබාදීමට එතුමාට දැඩි අවශ්‍යතාවයක් තිබුණා.

එතුමාගේ සිහින ගැන එතුමා කළ සේවය ගැන දින  ගණන් වරු ගණන් කතා කළ යුතුව තිබුණත් දීර්ඝ වශයෙන් කතා කරන්න කාලය සීමිත බැවින් මේ ඒ මොහොත නොවෙයි.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා –

අප මාතෘ භූමිය ඉතාමත්ම දුෂ්කර කටුක අවස්ථාවකට මුහුණ දෙන මොහොතක අපි තීන්දු කළා මේ අවස්ථාව ඉතාම සරල ආකාරයෙන් චාම් ආකාරයෙන් සමරන්න. අද අපේ රටේ ජීවත්වන ලක්‍ෂ 220 ක් වූ ජනතාවගෙන් අතිමහත් බහුතරය පොදුවේ කියන එක ප්‍රකාශයක් තියෙනවා. ඒ ප්‍රකාශය තමයි රණසිංහ ප්‍රේමදාස මහතා සිටියා නම් මේ දේ අපේ රටට වෙන්නේ නැහැයි කියන කාරණය. රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවෙන් වසර 29 කට පසුව අද බොහෝ දෙනෙකුට සත්‍ය අවබෝධ වෙලා තියෙනවා. මගේ පියාගේ අවසාන කතාවේ එතුමා කියපු වාක්‍යයක් තියෙනවා. බොහොම වැදගත් වාක්‍යයක්. සත්‍ය කවදා හෝ ජය ගනියි කියන කාරණය. නමුත් අපි කනගාටු වෙනවා සත්‍ය අවබෝධ වෙන්නට සත්‍යය ජයග්‍රහණය කරන්නට අපේ රටේ ලක්‍ෂ 220 ක් වූ ජනතාව අසරණභාවයට පත් වන්නට සිද්ධවෙලා තියෙනවා. හොඳින් හිටපු ජනතාව පෝලිම්වල ඉන්න සිද්ධවෙලා. මව්වරුන්ගේ දූ දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය අද එන්න එන්නම වර්ධනය වෙනවා. බොහෝ දෙනෙකුට

රැකියා නැහැ. ජීවනෝපායන් අහිමි වෙලා. දරාගන්න බැරි ආකාරයට ජීවන වියදම වැඩිවෙලා. මොහොතින් මොහොත තප්පරයෙන් තප්පරය අත්‍යවශ්‍ය භාණ්ඩ, අත්‍යවශ්‍ය ආහාරපාන, ඖෂධ හැම දෙයක්ම මිල ඉහළ යමින් තිබෙනවා. අද අපේ සමාජය පාලනයක් නීතියක් නොමැති සමාජයක් බවට පත්වෙලා තිබෙනවා. හෙඩ්ලි ගුල් කියන දාර්ශනිකයා විටෙක මේ පිළිබඳව කෘතියක් රචනා කරලා තියෙනවා. නීතියක් නැති සමාජයක්.

අද හොරකම, වංචාව, දූෂණය මේ මහා ආර්ථික අවපාතය තුළත්, හොර රහසේ සිදුවෙනවා. තවදුරටත් මේ රටේ ජාතික දේපළ, ජාතික සම්පත සූරා කන්නට අමු අමුවේ මහ දහවල් හොරා කන්නට රටේ විසඳුම හැටියට අන්තර්වාර ආණ්ඩුවක් නිර්මාණ කරන්න හදනවා. මේ ඔක්කොම කරන්නේ දූෂණය, වංචාව, හොරකම. රණසිංහ ප්‍රේමදාස මහතාගේ 29 වැනි ගුණ සමරුවේදී පැහැදිලිව කියන්න කැමතියි ගෝල්ෆේස් ජන අරගලය වෙනුවෙන් ඒ අයගේ ප්‍රාර්ථනාව මොනම ආකාරයකින්වත් විකෘති කරන්නේ නැතිව එතුමන්ලාගේ පැතුම ඉටුකරන්න අපි සෑදී පැහැදී ඉන්නවා. මොන තාන්න මාන්න පට්ටම් දුන්නත් අපි ඒවට රැවටෙන්නේ නැහැ. අපි දන්නවා මේවා ඔක්කොම දූෂිත යෝජනා. තවදුරටත් මේ රටේ ජනතාව මෙච්චර දුක් විඳිද්දී අරමුණ තියෙන්නේ මොකක්ද බලයේ ඉන්න.

දැන් සමහරු කියනවා අන්තර්වාර පාලනයකට ආවේ නැත්නම් විපක්‍ෂ නායකකම නැති කරනවා කියලා. අපිට තනතුරු අතහරින්න පුළුවන්. අන්තර්වාර දූෂිත ආණ්ඩුවලට අපි කිසිම දවසක සූදානම් නැහැ. අසන්නෝ හොඳින් අහන්න. තොප්පි දාගන්න ඕන කට්ටිය තොප්පි දාගන්න. එන්න එපා සජිත් ප්‍රේමදාසට තර්ජනය කරලා ජන අරගලයේ මතය විකෘති කරලා මට බලපෑම් කරන්න. මේ තියෙන දේවල් ඔක්කොම අත්හැරලා මම සූදානම් සිවිල් පුරවැසියෙක් හැටියට කටයුතු කරන්න.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් ඡායාරූප  – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment