රතන හිමිගේ කාලය ඉවරයි.. වැඩේ ගොඩ දාන්න මට මාස තුනක් දෙන්න… ඥානසාර හිමියෝ කියති

460

* අපට ඕන සංස්කෘතික ප‍්‍රශ්නය ගැන කතා කරන්න පුළුවන් තැනක්

* උන්වහන්සේ යහපත් ප‍්‍රතිචාරයක් දක්වාවි
 

රතන හිමිගේ කාලය ඉවරයි.. වැඩේ ගොඩ දාන්න මට මාස තුනක් දෙන්න... ඥානසාර හිමියෝ කියති

සාකච්ඡා කළේ
සිරිමන්ත රත්නසේකර

අපේ ජනබල පක්ෂයට පසුගිය මහ මැතිවරණයෙන් හිමි වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අර්බුද රැසකින් අනතුරුව හිමිවූයේ පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේටය. උන්වහන්සේට එම මන්ත‍්‍රී ධුරය ලබාදී තිබූ මාස 6ක කාලසීමාව එළඹෙන නොබෝ දිනකින් අවසන් වීමට නියමිත බැවින් එම අසුන බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත ලබාදෙන මෙන් දන්වමින් එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වෙත ලිපියක් යොමු කර ඇත. එවැනි වටපිටාවක් තුළ අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු ධුරය පිළිබඳ අලූතෙන් පැන නැගී ඇති තත්ත්වය පිළිබඳ විමසීම සඳහා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය” බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක් කර ගත්තෙමු. පහතින් පෙළ ගැසෙන්නේ උන්වහන්සේ සමඟ ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය” සිදුකළ එම සම්මුඛ සාකච්ඡාවයි.


ප‍්‍රශ්නය – අපේ හාමුදුරුවනේ අවසරයි! කොරෝනා වසංගතය ඇතුළු රටේ ප‍්‍රශ්න ගණනාවක් මතුව ඇති තත්ත්වයක් තුළ අපේ ජනබල පක්ෂයේ මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් නැවත වරක් කතිකාවතක් ආරම්භ කිරීම ඇත්ත ප‍්‍රශ්න යටපත් කිරීමේ සැලසුම් සහගත කටයුත්තක කොටසක් බව ඇතැමුන් චෝදනා කර සිටිනවා..?

පිළිතුර – අපි ඉතින් මොනවා කළත් චෝදනාම තමයි මහත්තයෝ. සද්දයක් නැතුව ඉන්න කොට කියනවා ඔන්න ගාණක් අරන් කට පියාගෙන ඉන්නවා කියලා. නැත්තං පිටරටින් හරි සල්ලි අරන් කියනවා. නැත්තං ආණ්ඩු පෙරලන්න හදනවා කියනවා. අපි වැඩක් කරත් වැරදියි. නොකරත් වැරදියි. මෙම මන්ත‍්‍රී ධුරය රටේ ප‍්‍රශ්න අමතක කරන්න ගෙනා සැලසුම් සහගත කතාවක් කියන්නේ සිහිබුද්ධියක් නැති අය. කොරෝනා ප‍්‍රශ්නය ඇතුළු රටේ මොන තරම් ප‍්‍රශ්න තිබුණත් අපි අවුරුදු විස්සක් තිස්සේ පමණ කතා කළ ඇත්ත ප‍්‍රශ්නය තවමත් එලෙසම තිබෙනවා. එය ඇතැමුන් හිතන තරම් ලේසියෙන් විසඳෙන ප‍්‍රශ්න නෙමෙයි. අපේ අරගලය තියෙන්නෙ එතැන.

අපේ ජනබල පක්ෂයට හිමිවූ මන්තී‍්‍ර ධුරය සඳහා ප‍්‍රශ්න ගණනාවක් මතු වුණා. ඒ ගැන අලූතින් කියන්න දෙයක් නැහැනේ. එම ප‍්‍රශ්න නිසා අවසානයේ කිසිවකුට මන්ත‍්‍රී ධුරයක් නැති වෙන එක වෙන්න ගියේ. ඒ නිසයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වෙත එම මන්ත‍්‍රී ධුරය පක්ෂය විසින් ලබා දුන්නේ. ඇත්තටම උන්වහන්සේ ඒ දවස්වල කිව්වේ එක දවසකට වුවත් ඇති කියලා. නමුත් උන්වහන්සේට පක්ෂය ඒ සඳහා මාස හයක කාලයක් ලබාදී තිබුණා. එම කාලය අවසන්ව යන නිසා ඒ පිළිබඳ සිහි කැඳවමින් අපේ ජනබල පක්ෂය පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ලබන ජුනි 15 වැනිදා වන විට උන්වහන්සේට ලබාදී තිබූ කාලය අවසන් වෙනවා. උන්වහන්සේට ඉන් ඉවත් වෙන්න කාලයක් තියෙන්නත් එපැයි. අපේ ජනබල පක්ෂයේ සභාපතිවරයා විසින් ඊට අදාළ ලිපිය රතන හාමුදුරුවන් වෙත යොමු කර තිබෙනවා. රතන හාමුදුරුවෝ මන්ත‍්‍රී ධුරය අරන් ගියා ගියාම තමයි අද වෙනකන් හරියට වචනයක්වත් අපිත් සමඟ කතා කලේ නෑ. උන්වහන්සේ පෝර්ට්සිටියට සහාය දුන්නේ කොහොමද කියලා පක්ෂය දන්නෙත් නෑ. මේවාට මිනිස්සු අපට බනින්නේ. නමුත් උන්වහන්සේට වගේ වගක් නැහැ.

ප‍්‍රශ්නය – එම ලිපිය සම්බන්ධයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බව තමයි වාර්තා වන්නේ.

පිළිතුර – සිහි කැඳවා ලිපි යවන එක, දැනුවත් කරන එක, මන්ත‍්‍රී ධුරය ලබාගැනීම පක්ෂයේ වැඩක්. එහි නායකයන් ඒ දේවල් කරාවි. මම මන්ත‍්‍රී ධුරය ඉල්ලගෙන ගිහින් නෑ. යන්නේත් නැහැ. හැබැයි මම රටට ජාතියට ජනතාවට ලබාදුන් පොරොන්දු තිබෙනවා. අපි මොනවද කළේ ..? තම තමන් අවුරුදු පහළොවක් තිස්සේ කළේ කුමක්ද කියලා කවුරු කවුරුත් සිහි නුවණින් විමසා බැලිය යුතු නොවේද ..?

අපේ රතන හාමුදුරුවෝ එක වෙලාවක ආසනික් ප‍්‍රශ්නය ගැන කතා කළා. වස විස නැති ගොවිතැන ගැන කතා කළා. කාබනික පොහොර ගැන කතා කළා. එහි ප‍්‍රතිඵල කෙසේ වෙතත් අපි අවුරුදු පහළොවක් විස්සක් තිස්සේ කතා කළ ප‍්‍රශ්නය තවමත් එලෙසමයි. අපි 2005 මහින්ද රාජපක්ෂ මහතාව ජනාධිපති කිරීම සඳහා පාර කැපුවේ ත‍්‍රස්තවාදය මුලිනුපුටා දමා රටේ ඒකීයභාවය රැක ගැනීමට. ඉන් පසුව 2005 ජනාධිපතිවරණයට පෙර අන්‍යාගම්කරණ පනත යෝජනා සම්මත කර ගන්න අපට ඕන වුණා. නමුත් 2005 සිට 2021 වන තෙක් අවුරුදු දාසයක් එය කරගන්න බැරිව තිබෙනවා. ඒ කාලය තුළ පාර්ලිමේන්තුව නියෝජනය කළේ අපිද? වරද තියෙන්නේ අපේ අතේද..? ඉතින් ඒ නිසා මේ ගැන මම කතා කරන එක වැරදිද. කරන්න බැරි එක්කෙනෙක් තියාගෙන ඉන්නවට වඩා කරන්න පුළුවන් කෙනෙක් එතැනට ගියොත් හොඳ නැද්ද..?

පාර්ලිමේන්තුවට ගිහින් 225 දෙනා සමග පුටු රත් කර කර ආලවට්ටම් කරන්න නෙමෙයි අපි යන්නේ. ඒ පාර්ලිමේන්තු වරප‍්‍රසාද කාරක සභා වරප‍්‍රසාද අරගෙන ප‍්‍රශ්නයට නිසි ස්ථිරසාර විසඳුමක් දෙන්න. අයථා අන්‍යාගම්කරණය, ඉස්ලාම් අන්තවාදය සහ උන්මත්තක ආක‍්‍රමණය, යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර සිංහල ජනතාවගේ ගැටලූ, පුරාවිද්‍යාව, ශාසනික ගැටලූ අපි වසර පහළොවක් තිස්සේ කතා කළා. නමුත් මේ සඳහා තවම විසඳුම් සොයා ගැනීමට නොහැකිවෙලා. මේවා පිළිබඳව අපි ලිව්වා. අදහස් දැක්වූවා. බොදු සමුළු පැවැත්වූවා. විරෝධතා දැක්වූවා. මාධ්‍ය හමු පැවැත්වූවා. ඒ මුළුමහත් සමාජයක්, ජාතියක් වෙනුවෙන් ඇති අපරිමිත කරුණාව නිසයි. අපේ ජීවිතේ සායම් යන බව දැන දැන අපි කළා. අපි අනතුර පෙනි පෙනී කටයුතු කළේ ජාතිය වෙනුවෙන් කරන පාරමිතාවක් විදිහට. එහි ප‍්‍රතිපල තවත් කල් නොයවා ලබා ගත යුතු නොවේද?

ප‍්‍රශ්නය – මන්ත‍්‍රී ධුරයක්ම අපේක්ෂාවෙන් සිට කටයුතු කිරීම පිළිබඳ සතුටු වෙන්න පුළුවන් ද හාමුදුරුවනේ..? භික්ෂු රාජකාරිය තුළ ඔබ වහන්සේ ඉහත කියන ප‍්‍රශ්නවලට උත්තර හොයන්න අපහසුයි ද..?

පිළිතුර – දැන් මෙහෙමයි. මේ සෑම දෙයකටම මන්ත‍්‍රී ධුරයක් අවශ්‍යම යැයි මම අපේක්ෂා කරන්නේ නැහැ. නමුත් මෙම අවස්ථාව යටතේ මේ රටේ කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා මාධ්‍යවේදියෙකු ලෙස ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නෑ . මම කතා කරපු ඒවට වැටිච්ච නඩු පාර්ලිමේන්තුවේදී කතා කළානම් මට වැටෙනවද..? ඔතනට ගිහින් මන්ත‍්‍රී වරප‍්‍රසාද භාවිතා කරන්න හදන මිනිස්සු නෙමෙයි අපි. අපට ඕන වෙන්නේ මේ සංස්කෘතික ප‍්‍රශ්නය ගැන මට කතා කරන්න පුළුවන් තැනක් පමණයි. මට වාහන පර්මිට් ඕන නෑ. ඇමරිකාවේ වෙසෙන සත්ගුණවත් හොඳ බෞද්ධ මහත්තයෙක් මට හොඳ වාහනයක් දීලා තිබෙනවා. අපට මහජන මුදල් වියදම් කරන්න ඕන නෑ. අනෙකුත් පාර්ලිමේන්තු වරප‍්‍රසාද ඕනත් නෑ. අවශ්‍ය එකම දේ ඇත්ත ප‍්‍රශ්නයට මේ තුළ විසඳුම් සෙවීම පමණයි. අපි රටට ජාතියට බොරු කරලා නැහැ. අපි එසේ කරන්නෙත් නැහැ.

හරි ප‍්‍රශ්නය, හරි තැනින් අල්ලා ගෙන එය නිරාකරණය කරනතුරු මඩ නාගෙන, බැට කාගෙන, වළවල්වල වැටීගෙන අපි කරන්නේ කොච්චර පරිත්‍යාගයක්ද..? මේ මන්ත‍්‍රීකම ඕන කරන්නේ ඇත්තටම එයට උත්තර හොයන්න තමයි. දැන් ඉන්නේ සිංහල බෞද්ධ නායකයෙක්. ඔහු සිංහල බෞද්ධයන්ගේ අභිලාෂයන් ඉටු කිරීමට බැඳී සිටිනවා. මේ අවස්ථාව අපි මගහරවා ගත යුතු නැහැ. මේ ගැන කතා කරද්දි අපට දැන් ගොඩක් අය බනිනවා. අපට ඡුන්දය දුන්නේ 67000 ක පමණ ප‍්‍රමාණයක් වුවත් අපට දැන් හැටහත් ලක්ෂයක් පමණ බනිනවා. අලූත් ප‍්‍රශ්න හැදෙන්න හැදෙන්න අලූත් වීරයන් දැන් බිහිවෙලා. නමුත් ඇත්තටම මේ වගේ ප‍්‍රශ්න අපි කොච්චර පහු කරල ඇත්ද. අලූත් කොච්චර සිද්ධි ආවත් අපි අවුරුදු විස්සක් තිස්සේ කතා කරලා මුල් ප‍්‍රශ්නයට තවම විසඳුම් ලැබිලාද. මේ රටේ සිංහලයන්ට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ශාසනික මංකොල්ලය, ඒ ආක‍්‍රමණය ගැන සමාජයෙන් ඉඩක් ලැබී තිබෙනවා ද. අපි කතා කළ දේවල් බොහෝ අය ඒ ඒ වෙලාවට දේශපාලනිකව භාවිතා කිරීම පමණයි මේ වන තෙක් සිදුවෙලා තිබෙන්නේ. ඒක තමයි ඇත්ත.

රටේ ඇත්ත ප‍්‍රශ්නය වෙනුවෙන් අවුරුදු පහළොවක් තිස්සේ කතා කරන්න ගිහින් මට වෙලා තියෙන්නේ දණ්ඩ නීතියෙන් බන්ධන වෙලා ඉන්න වුණ එක පමණයි. මේවන විට මට නඩු පහළොවක් පමණ තිබෙනවා. ඒවට වියදම් කරන්නෙ කොහොමද කියලා කවුරුත් අහනවද..? අපිට ඪ8 සාදු කියයි. ලක්ෂ 300ක් මන්ත‍්‍රී ධුරය දන් දුන්නා කියයි. ආණ්ඩුවෙන් සල්ලි ගත්තා කියයි. විපක්ෂයෙන් සල්ලි අරන් කොන්ත‍්‍රාත් දෙයක් කරනවා කියයි. අපට තියෙන්නේ චෝදනා විතරයි. ඒත් අර ඇත්ත ප‍්‍රශ්නය තාම එතැනම. ඒක විසඳන්න කවුරුත් ඉඩ දෙන්නෙ නෑ. ඒක විසඳනවාට දේශපාලනඥයො කැමතිත් නෑ. අලූත් ප‍්‍රශ්නවලට කතා කරන අය වීරයන් වෙලා. අපි දේශද්‍රෝහීන් වෙලා. අඩුතරමින් ඉස්ලාම් අන්තවාදය පිළිබඳ සවිඥානික බලමුළුවක් ගොඩනඟා අධීක්ෂණ පද්ධතියක් හෝ ගොඩනඟන්න තිබෙනවා නම් ඒ ඇති. තව දෙයක් කියන්න ඕනා. මේ වන විට සිංහල බෞද්ධ කඳවුරයි පදනමයි දෙකම බිඳ වැටෙමින් යන්නේ. එය එසේ විය යුතු දෙයක් නෙවෙයි.

ප‍්‍රශ්නය – නිහඬව බලා සිට එකවර අවදිවීම තුළ ප‍්‍රශ්නකාරී බවක් නැත්තේත් නැහැ.

පිළිතුර – ඔය කාරණාවට මම මීට පෙරත් උත්තර දුන්නා. අපි නිහඬව ඉඳලා නෑ. අපි නිහ`ඩව සිටියේත් නැහැ. සිංහල බෞද්ධ ආණ්ඩුවක් බලයට පැමිණියා යැයි කියලා අපට රූප මාධ්‍යවල ඉඩක් තියෙනවාද. මුද්‍රිත මාධ්‍යයේ ඉඩකඩ ලැබෙන්නේ අඩුවෙන්. අපිට ෆේස් බුක් සමාජ මාධ්‍ය තහනමක් තිබෙනවා. ෆේස්බුක් එකට අපේ පින්තූරයක්වත් නමක්වත් දාන්න බැහැ. එහෙම දැම්මොත් ගිණුම් පිටින් අක‍්‍රිය වෙනවා. ඉතින් අපි අපේ මතය අරගෙන යන්නේ කොහේද..? කොහොමද..?

ප‍්‍රශ්නය – ඔබ වහන්සේ අපේ ජනබල පක්ෂයේ මන්ත‍්‍රී ධුරය රතන ස්වාමීන් වහන්සේ වෙත ප‍්‍රදානය කළේ රුපියල් ලක්ෂ 300 ක මුදලකට බව ඇතැමුන් චෝදනා කර සිටිනවා.

පිළිතුර – මම මන්ත‍්‍රී ධුරය රුපියල් ලක්ෂ 300කට විකුණුවා කියලා ඇතැම් අයගේ ඇතැම් සහචරයන් ප‍්‍රචාර යවා ඇති බව අපටත් වාර්තා වුණා. මේ පිළිබඳව අපි අපරාධ කොට්ඨාසයට පැමිණිලි කළා. හැමදාම මෙහෙම තියාගෙන ඉන්න බැහැ. රට ජාතියට මිනිස්සුන්ට දුන් පොරොන්දු ඉටුකරන්න ඕනා. එහිදී ඔහොම එන්න ගල්මුල් වලට ඔරොත්තු දෙන්නත් ඕන. නැත්නම් මේ වැඬේ කරන්න වෙන්නේ නෑ. හැබැයි අපි මන්ත‍්‍රී ධුරයට ගහමරා ගන්න යන්න හිතන්නේ නැහැ. ඒ කටයුත්ත එම පක්ෂයට භාරයි. ඒවා ක‍්‍රමවත්ව සිදු වෙන්න ඕනා. පරිණත ස්වාමීන් වහන්සේ නමක් ලෙස රතන ස්වාමීන් වහන්සේ යහපත් ප‍්‍රතිචාරයක් දක්වාවි යැයි අපි හිතනවා.

ප‍්‍රශ්නය – අපේ හාමුදුරුවනේ…

දැන් කවුරු කොහොම කීවත් අපේ ජනබල පක්ෂය මන්ත‍්‍රී ධුරය රතන හිමියන් වෙත ලබා ගැනීමේ ක‍්‍රියාවලියේ කැපිල,ි කෙටිලි, හැලහැප්පීම් රට නොදන්නවා නෙවෙයි. එවන් තත්ත්වයක් තුළ මාස හයකින් පසු ඔබ වහන්සේට මන්ත‍්‍රී ධුරය ප‍්‍රදානය කිරීම සිදුවිය හැකි තත්ත්වයක් යැයි නිකමටවත් හිතන්න පුළුවන්ද?

පිළිතුර – වසර ගණනාවක් තිස්සේ අපි රතන හාමුදුරුවන් කොතරම් විශ්වාස කළාද. මේ තරම් කාලයක් උන්වහන්සේ සමග ආවේ ඒ විශ්වාසය ඇතිව. එදා සිහල උරුමය හැදුවා. එතැන ලැබූ මන්ත‍්‍රී ධුරයක් සඳහා මරා ගත්තා. ඉන්පසු උන්වහන්සේ සේරම එපා කියලා ඇල්පිටියට වැඩියා. අපි තමයි ගිහින් එක්කං ආවේ. සංඝ සම්මේලනය හදද්දි රතනසූත‍්‍රය ඉන්නව නං ඊට එක්වෙන්න බෑ කියල ඇතැම් නායක හිමිවරු පවා කිව්වා. අපි තමයි කිව්වේ රතනසූත‍්‍රය විතරක් නෙමෙයි තුන්සූත‍්‍රයම මෙතන තියෙනවා කියලා. ජාතික හෙළ උරුමය හැදුවා එයත් දෙකඩ වුණා. ඇත්තටම අපි කිසිවෙක් වමෙන් ඉස්සර කරේ නෑ. අපට තිබූ මූලික අරමුණු වෙනුවෙන් සියල්ල කැප කළ උදවිය අපි.

පක්ෂයේ අභිප‍්‍රායට, එකඟතාවයට රතන ස්වාමීන් වහන්සේ හිස නැමිය යුතුයි. මෙම මන්ත‍්‍රීධුර ගඳ ගස්වන්නේ නැති තැනකට රැගෙන යෑම උන්වහන්සේගේ වැඩක්. අන්‍යාගම්කරණය, ඉස්ලාම් අන්තවාදය වන්ද්‍යාකරණය, පුදබිම් ආක‍්‍රමණය මේ ප‍්‍රශ්නාවලිය මැතිසබේ කතා කරන්න අවස්ථාව සලසා ගත යුතුයි. එය රතන හිමි සමග ප‍්‍රශ්නයක් නෙමේ. උන්වහන්සේ පරිණත භික්ෂුවක් උන්වහන්සේ යථාර්ථය අවබෝධ කරගත යුතුයි.

ප‍්‍රශ්නය – රතන හාමුදුරුවන් දේශපාලන භූමිකාව තුළ අසාර්ථකද ?

පිළිතුර – සාර්ථක අසාර්ථක තැන් ඇති. රතන හාමුදුරුවෝ එක කාලෙක මතට තිත තිබ්බා. තව කාලෙක ආසනික් ප‍්‍රශ්නයක් ගැන කතා කළා. තවත් කාලෙක පොහොර ප‍්‍රශ්න ගැන කතා කළා. වසර පහළොවක් මුළුල්ලේ එක එක දේවල් කතා කරනවා. නමුත් අපි කතා කළ මුල් ප‍්‍රශ්නය තවම මෙතන. මම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කියන්නේ පොහොර ප‍්‍රශ්නය, පරිසර ප‍්‍රශ්නය රතන හාමුදුරුවන්ට භාර දෙන ලෙසයි. එතකොට මේ තියෙන සංස්කෘතික ප‍්‍රශ්නය ගැන අපට කතා කරන්න පුළුවන්.

ප‍්‍රශ්නය – යම් ලෙසක ඔබ වහන්සේට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය හිමි වුවහොත් විසඳාලීමට සිතා සිටින ප‍්‍රශ්න විසඳාලීමට අවශ්‍ය කාලය තිබෙනවාද..?

පිළිතුර – අවුරුදු විස්සක් විතර දුක් විඳ ඉස්ලාම් අන්තවාදය ගැන කතා කරපු මට මෙම අවස්ථාව හොඳටම ප‍්‍රමාණවත්. ඒ සඳහා දැන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය ලැබෙන්න ඕන. මෙම ජනාධිපතිවරයා ඉන්න වෙලාවේ මෙය කර ගත්තේ නැත්නම් වෙන කරන්න තැනක් නැහැ. සහරාන් නිසා මියගිය තුන්සියයකට වගකියන්න ඕන නැද්ද. පාස්කු කොමිසම මගින් අපට එරෙහිව නිර්දේශ කළ ප‍්‍රශ්න විසඳාගත යුතු නොවේද. ඇත්තටම මෙම කර්තව්‍යය ඉටු කිරීමට මාස තුන හතරක් මට ඇති. මහ ගස් කපන්න නැතිව අතු කපා දමා මෙම ප‍්‍රශ්නය විසඳන්න බැහැ.

රට තුළ තියෙන කොරෝනා ප‍්‍රශ්න, පෝට්සිටි ප‍්‍රශ්න, ඇතුළු හැම ප‍්‍රශ්නයක්ම ඉවර වෙන විට අපි කියන මෙම ප‍්‍රශ්නය වෙන තැනකින් වෙනස් විදියකට පටන් ගන්නවා කියන එක පමණක් අමතක කරන්න එපා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වකර්මයෙක් නොවුණත් එතුමාට තවම පුළුවන් බව අප විශ්වාස කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment