රතන හිමිගේ සහ රනිල්ගේ මන්ත‍්‍රී ධුර අහෝසි කරන්න

1088
රතන හිමිගේ සහ රනිල්ගේ මන්ත‍්‍රී ධුර අහෝසි කරන්න

එක්සත් ජාතික පක්‍ෂයට හා අපේ ජනබලවේගය පක්‍ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුර දෙක සඳහා පත්කළ එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ හා අපේ ජනබලවේගය පක්‍ෂ මන්තී‍්‍ර අතුරලියේ රතන හිමියන්ගේ මන්තී‍්‍ර ධුර අහෝසි කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විනිවිද පෙරමුණේ මහ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා ඊයේ (13 දා* ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
 
 පාර්ලිමේන්තු මැතිවරණයකින් පසු යම් පක්‍ෂයකට හිමිවන ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුර මැතිවරණ කොමිෂන් සභාව විසින් ප‍්‍රකාශයට පත්කර දින හතක කාලයක් තුළදී එකී මන්තී‍්‍ර ධුර සඳහා පත්කරනු ලබන පුද්ගලයන් කවුරුන්දැයි අදාළ පක්‍ෂ මහ ලේකම්වරුන් විසින් නම් කළ යුතු වුවත් එජාපය හා අපේ ජනබලවේගය පක්‍ෂයේ මහ ලේකම්වරුන් එලෙස නොකිරීමෙන් ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් පෙත්සම්කරු අධිකරණයට පෙන්වාදී තිබිණි.
 
 ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් පනවා ඇති වගන්ති නොසලකා හැර කටයුතු කිරීම මගින් ඔවුන් තවදුරටත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ලෙස කටයුතු කිරීමට නුසුදුස්සන් බවට පත්වී ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වාදී තිබූ පෙත්සම්කරු එමගින් තමන් ඇතුළු රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී ඇතැයිද කියා සිටී.
 
 රටේ පාලන බලය හොබවන පක්‍ෂ හා සෙසු පක්‍ෂ පහක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කර තිබියදීත් එක්සත් ජාතික පක්‍ෂය හා අපේ ජනබලවේගය පක්‍ෂය පමණක් මාස ගණනාවකට පසු සිය ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරවලට පෙරකී මන්තී‍්‍රවරුන් දෙදෙනාගේ නම් යෝජනා කර ඔවුන් පාර්ලිමේන්තුවට එවීම මගින් පාර්ලිමේන්තුව මගින්ම සම්මත කර ඇති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඉතා බරපතළ ලෙස නොසලකා හැරීමකට ලක්කර ඇතැයිද පෙත්සම්කරු එමගින් අධිකරණයට පෙන්වා දී තිබේ.
 
 එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රනිල් වික‍්‍රමසිංහ හා අතුරලියේ රතන හිමියන් මෙන්ම එම පක්‍ෂයේ මහ ලේකම්වරුන් ද මැතිවරණ කොමිෂන් සභාව එහි හිටපු සභාපති මහින්ද දේශපි‍්‍රය, එම කොමිෂන් සභාවේ වත්මන් සභාපති නිමල් පුංචිහේවා මහතා ඇතුළු සෙසු සාමාජිකයන් සහ නීතිපතිවරයා නම්කර ඇත.

 – ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment