රත්තරන් දුවේ මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා

1748

උපකාරක පංති නිසා දරුවන් දහම් පාසල මගහැරීම නිසා අශීලාචාර සමාජයක් බිහිවෙලා යැයි නාගොඩ ජයවර්ධනාරාමාධිකාරී පූජ්‍ය දොඩංගොඩ විදුරඥාන හිමියෝ පැවසූහ.

උන් වහන්සේ මේ බව සඳහන් කළේ කළුතර ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී මියගිය 16 හැව්රිදි පාසල් සිසුවියක් වන ටිහාරා නිර්මානි නිශ්සංක සිල්වා දැරියගේ අවසන් කටයුතු සිදුකරන අවමංගල්‍ය උත්සවයේ විශේෂ අනුශාසනාවක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසූහ. දරුවන් වෙනුවෙන් දෙමව්පියන් ඉඩකඩම් දේපල හදනවා වගේම ඔවුන්ගේ ඔළුව සහ පපුව හදන්නත් ඕනා. මේ මරණය සමස්ත මුළු මහත් සමාජයටම වැදගත් පණිවුඩයක් ගෙනදෙනවා.

ටිහාරා නිර්මානි නිශ්සංක සිල්වා දැරියගේ නිවසට අප එහි යනවිටත් විශාල පිරිසක් රැස්ව සිටි අතර, මග දෙපස සුදු කොඩිවලින් අලංකාර කර තිබුණි.

ඇයගේ මව සිය එකම දියණියගේ අකල් වියෝව දරාගත නොහැකිව ඉකිබිඳිමින් කඳුළු සලයි. මගේ රත්තරං දරුවා නීතිඥවරියක් වෙන්න හරි ආශාවෙන් හිටියේ. මේ මරණය අපිට අදහා ගන්න බෑ. මුලින් කෝල් එක ගන්නකොට අම්මේ මම දන්සලේ කිව්වා. ඊට පස්සේ ෆෝන් එක ඕෆ් කරලා. ලෝයර් කෙනෙක් වෙන්න හීන දැක්ක මගේ දුවට මොකද මේ උනේ. අනේ රත්තරං දුවේ සංසාරේ නිවන් දකිනතුරු අප අතරම ඉපදෙන්න දුවේ. මේ වගේ අකල් මරණයකට නම් ගොදුරු වෙන්න එපා දුවේ යනුවෙන් කඳුළු සලමින් හඬාවැටෙන්නීය.

ආගමික වතාවත්වලින් අනතුරුව ඇදහැළුන වර්ෂාව ද නොතකා පැමිණ සිටි පිරිස් ඇයගේ දේහය රැගත් අවමංගල්‍ය පෙරහැරට එක්ව නාගොඩ, ඇටවිල පොදු සුසාන භූමියට ගමන් කරන ලදි.

නාගොඩ ඇටවිල පොදු සුසාන භූමියේ දී දහස් ගණනකගේ සෝසුම් මැද දේහය භූමදානය කරන ලදී.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment