රත්තරන් පුතේ අපි ආවා….! – පිය සෙනෙහසේ සතුටු කඳුළු

635

දික්ඕවිටින් මුහුදු ගිය ‘ලොරෙන්සෝ පුතා’ මාස 6කට පසු යළි දික්ඕවිටින්ම දිවයිනට

“රත්තරන් පුතේ, තාත්තා ආපහු ආවා, ආපහු පණ පිටින් ලංකාවට එන්න පුළුවන් වෙයි කියලා මම නම් හිතුවේ නැහැ”

මෙවැනි සංවේදී වදන් ඊයේ (24දා) දික්ඕවිට වරායේදී අසන්නට ලැබුණේ මීට මාස හයකට පමණ පෙර එනම් ජනවාරි මස 12 වැනිදා දික්ඕවිට වරායෙහිම සිය මංගල මුහුදු ගමනට ධීවරයන් හය දෙනෙකු සමග එක්වූ ‘ලොරොන්සෝ පුතා’ ධීවර යාත්‍රාවේ සිටි පිරිස ඊයේ නිරුපද්‍රිතව මව්බිමට පැමිණි අවස්ථාවේදීය.

මෙම යාත්‍රාව අරාබි මුහුදේදී සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වීමෙන් දින දෙකකට පසුව සීෂෙල්ස් නාවික හමුදාව දියත් කළ විශේෂ මෙහෙයුමකින් මුදාගැනීමට හැකි විය. පසුව එම ධීවරයන් පිරිසට නීතිමය කටයුතු සඳහා මාස පහකට ආසන්න කාලයක් එහි රැඳී සිටීමට සිදුවිය.

නීතිමය කටයුතු අවසන්වීමෙන් පසුව ‘ලොරොන්සෝ පුතා’ බහුදින ධීවර යාත්‍රාව හා ධීවරයන් හයදෙනා ඊයේ නිරුපද්‍රිතව දික්ඕවිට වරායට පැමිණි අතර ඒ වනවිට ධීවරයන්ගේ පවුල්වල ඥාති හිතවත්හු එම වරායට පැමිණ සිටියහ. ඒ මොහොත ඉතා සංවේදී අවස්ථාවක් විය.

මාස හයකට ආසන්න කාලයකට පසුව සිය දරු පැටවුන් දැකීමෙන් ඇති වූ සතුට කඳුළු බවට පත්වී රූරා වැටෙද්දී යාත්‍රාවේ නියමුවා මෙසේ සිය අත්දැකීම් විස්තර කළේය.

අපි යාත්‍රාව අරාබි මුහුදේ යාත්‍රා කරමින් ඉන්න කොට උදේ 10.30ට විතර එකපාරටම වෙඩි ශබ්දයක් ඇහුණා. එළියට ඇවිත් බලද්දි පොඩි බෝට්ටුවකින් ඇවිත් අපේ යාත්‍රාව පැත්තට වෙඩි තියනවා දැක්කා. ඊට පස්සේ ඒ පිරිස අපේ බෝට්ටුවට ඇතුළුවෙලා මට පාරවල් 4, 5ක් ගැහුවා. ගහලා මගෙන් ඇහුවා සැටලයිට් ෆෝන් එකක් තියෙනවාද කියලා. ඊට පස්සේ සෝමාලියාව පැත්තට හරවන්න කියලා අපිට යන්න කිව්වා. මම ටික දුරක් ගිහිල්ලා සීෂෙල්ස් පැත්තට හැරෙව්වා. මම දැනගත්තා ටික දුරක් යනකොට සීෂෙල්ස් නාවික හමුදාව අල්ලනවා කියලා.

අපිට බේරෙන්න තියෙන එකම පාර ඒක කියලා මම දැනගත්තා. ඒ වගේම ටික දුරක් යනකොට සීෂෙල්ස් නාවික හමුදාව ඇවිත් අපේ බෝට්ටුව වට කළා. එතෙන්දි වෙඩි හුවමාරුවකුත් ගියා. ඒත් අපිට කරදරයක් වුණේ නැහැ. සෝමාලියාවේ කට්ටිය ඒ අය අත්අඩංගුවට අරගත්තා. අපිව සීෂෙල්ස්වලට අරන් ගිහිල්ලා එහෙ මාස 4කට වැඩි කාලයක් තියාගෙන හිටියා. එහිදී නීතිමය කටයුතු කරලා ඉවරවෙලා අද තමයි අපිට ලංකාවට එන්න පුළුවන් වුණේ.

සෝමාලියානු කොල්ලකරුවන්ට අහුවුණ වෙලාවේ මම හිතුවේ අපිව මරලා දායි කියලා. මගේ රත්තරන් දරු පැටවු ආපහු දකින්න එන්න පුළුවන් වුණ එක දේවහාස්කමක් වගෙයි.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment