රත්තරන්, රසදිය, ගෙන්දගම් සහිත මකරද්වජ ඖෂධ

970

වෛද්‍යතුමනි, මකරද්වජ නමැති රස ඖෂධයේ ඇති සුවිශේෂී ගුණාත්මක බලය කුමක්ද?

ආයුර්වේද ප‍්‍රථිකාර සඳහා භාවිතකරන රස ඖෂධ අතර ඉතා සුවිශේෂී ගුණාත්මක බලයකින් යුත් ඖෂධයක් ලෙස මකරද්වජ ඖෂධය සැලකිය හැකියි. මෙය පණ අදින රෝගියකුට යළි පණ ලබාදීමේ හැකියාව ඇති ඖෂධයක් ලෙස සඳහන් කළ හැකියි. එනිසා ඕනෑම රෝගයක් සඳහා මකරද්වජ ඖෂධය භාවිත කළ හැකියි. විශේෂයෙන්ම කිසියම් රෝගයක් බරපතළ තත්ත්වයට පත්ව ඇති විට රෝගියාට ඉක්මන් සුවය ලබාදීමට මකරද්වජ ඖෂධය භාවිත කළ හැකියි. එය රෝගය අනුව රෝගියාගේ වයස අනුව වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලබනවා.

එසේම මකරද්වජ ඖෂධය වාජීකරණ ගුණයෙන්ද යුක්තයි. එබැවින් මෙය ලිංගික දුබලතා ඇති රෝගීන් සඳහාත් ලබා දෙනවා. සැබවින්ම මෙය ඉතා උසස් තත්ත්වයේ වාජීකරණ ඖෂධයකි.

මෙලෙස විවිධ රෝග සඳහා ප‍්‍රතිකාර ලෙස ලබාදීමට මෙහි ඇති ඖෂධ නිසි අනුපාතවලට අනුව යොදාගෙන සකස් කළ යුතුයි. ඒ බව ආයුර්වේදයේ සඳහන් කර ඇත්තේ ‘අනුපාත විශේෂණ කරෝති විවිධාං ගුණං ලෙසය. එනම් විවිධ අනුපාත යටතේ සකස් කර බොහෝ රෝග සුවය සඳහා භාවිත කළ හැකි බවය.

වෛද්‍යතුමනි, මකරද්වජ ඖෂධ නිපදවීම සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය වර්ග මොනවාද?

මේ සඳහා බොහෝ අමුද්‍රව්‍ය වර්ග යොදා ගන්නවා. එහිදී ප‍්‍රධාන වශයෙන්ම භාවිතාකරන අමුද්‍රව්‍ය තුනක් තිබෙනවා. රසදිය, ගෙන්දගම් සහ රත්තරන්ය. මෙම අමුද්‍රව්‍ය තුන ගැන පැවසූ විට සාමාන්‍ය ජනතාවට ඇති වන හැ`ගීම වන්නේ මේවා සිරුරට විෂ සහිත නොවේද යැයි කියාය. නමුත් මෙම අමුද්‍රව්‍ය භාවිත කරන්නේ ඒවායෙහි ඇති සිරුරට විෂ සහිත බව ඉවත්කිරීමෙන් (විෂ මරණ) පසුවය. එනම් ශෝධන සහ මරණ යන ක‍්‍රම භාවිත කර පිරිසිදු කර එහි ඇති විෂ නැසීමට ලක්කිරීමය. එසේ විෂ නැසීමට ලක්කර යොදාගන්නා මෙම අමුද්‍රව්‍ය රෝගියාගේ සිරුරට හානිකර වන්නේ නැහැ. මෙහිදී මෙම අමුද්‍රව්‍යවල විෂ නැසීම සඳහා විශේෂ ක‍්‍රම භාවිත කරනවා. ඒ අනුව ගෙන්දගම් රසදිය සහ රත්තරන්හි විෂ නසන ආකාරය එකිනෙකට එසේම වෙනස්ය. ඒවා වෙන වෙනම විෂ නැසීමට ලක්කර මකරද්වජ ඖෂධ සෑදීම සඳහා යොදා ගත යුතුයි.

රත්තරන්, රසදිය, ගෙන්දගම් සහිත මකරද්වජ ඖෂධ

ගෙන්දගම් පිරිසිදු කිරීම

ඇමෙරිකාවේ ටෙක්සාස් සහ ලූසියානා ප‍්‍රාන්තවල ගෙන්දගම් නිධිවල ඇති නෙල්ලික්කාර ගෙන්දගම් අප මකරද්වර ඖෂධ සඳහා භාවිත කරනවා. මේවා බොරලූ කැට හා සමානය. මෙම ගෙන්දගම්හි විෂ නැසීම සිදු කරන්නේ එය රත්කිරීම මගිනි. එම රත් කිරීම සිදු කළ යුතු ක‍්‍රමයක් තිබෙනවා. මේ සඳහා මැටි මුට්ටි දෙකක් භාවිත කර ගන්නවා. එහිදී එක සමාන කට සහිත මැටි මුට්ටි දෙකක් යොදාගත යුතුයි. එක් මුට්ටියකට නිසි ප‍්‍රමාණයට එළකිරි දමා ඉන් පසු හණ වැනි රෙදි කඩකින් මුට්ටියට කට වැස්මක් බඳිනවා. මෙම කටවැස්ම මතට නෙල්ලික්තා ගෙන්දගම් කැට තබනවා. ඉන් පසු අනෙක් මුට්ටිය ගෙන එම මුට්ටියෙහි කට මෙම මුට්ටියේ කට මත තබා වසනවා. මෙලෙස වසනු ලැබූ කටවල් දෙක ශක්තිමත්ව පැවැතීම සඳහා හුඹස් මැටි ගැල් වූ රෙදි පටිවලින් කටවල් දෙකෙහි මූට්ටු හොඳින් බඳිනවා. මෙය ශරාබද්ධ කිරීම ලෙස හඳුන්වයි.

ඉන් පසු මුට්ටියෙහි ප‍්‍රමාණයට පොළවෙහි වළක් හාරා ගෙන්දගම් සහිත මුට්ටිය එහි වළලනවා. මෙසේ වැළලීමේදී පොළවෙන් ඉහළ ඇති මුට්ටිය මතට වියළි ගොම රොටි අතුරා ගිනි තබනවා. මෙසේ ගිනි ගැනීම නිසා ඇති වන උණුසුමින් දියවන ගෙන්දගම් බින්දු ලෙස එළකිරි මතට වැටෙනවා. ගෙන්දගම් එසේ වැටෙන බින්දු ඝණවේ. එම ඝණ වුණ බෝල ලබාගෙන ඒවා තවදුරටත් පිරිසිදු කිරීමට ලක්කර අඹරා කුඩුකර ගෙන මකරද්වජ ඖෂධ නිපදවීම සඳහා එක් කර ගන්නවා.

රසදිය පිරිසිදු කිරීම

රසදිය පිරිසිදු කිරීම සඳහා කිරි ගරුඩින් සදූ ඇඹරුම් යන්ත‍්‍රයක් භාවිත කරනවා. මෙහිදී අප භාවිත කරන්නේ ප‍්‍රංශයේ නිෂ්පාදනය කරන රසදියයි.

එම රසදිය ආඩතෝඩා කොළ, තිපල් කසාය, සුලූ ලූණු ඉස්ම, ආදී ඖෂධ වර්ග වෙන වෙනම යොදාගෙන අඹරා ගන්නවා. එනම් ආඩතෝඩා කොළ යොදා එක දිනක් අඹරා, ගන්නවා. ඊට පසුවැනිදා තිපල් කසාය යොදා අඹරා ගන්නවා. මෙලෙස දිනපතා ඖෂධ වර්ග කිහිපයක් යොදාගෙන රසදිය අඹරා එහි ඇති විෂ ඉවත් කරනවා.

මෙලෙස අඹරන හැම වාරයක් සඳහාම පිරිසිදු පොල් විනාකිරීම භාවිත කරනවා. එනම් ආඩතෝඩා කොළවලින් අඹරනවා නම් ඒ සඳහා රසදිය සම`ග විනාකිරිත් මිශ‍්‍ර කරනවා. එසේ අඹරා ගත් රසදිය ජලයෙන් සෝදා පිරිසිදු කර පසුදින තවත් ඖෂධයක් සමග එක්කර විනාකිරි මිශ‍්‍රකර අඹරා ගන්නවා.

මෙලෙස හොඳින් පිරිසිදු කරගත් රසදිය අපගේ ගුරුකුලයට අයත් පරම්පරාවේදී දෂ මූලාකසායද යොදාගෙන අඹරා පිරිසිදු කරගන්නවා. එසේ කරන්නේ දෂමූල කසායෙන් පිරිසිදු කළ විට ති‍්‍රදෝෂයන්ද සමනය වන නිසාය. එනිසා අප මෙම ඖෂධ නිපදවීමේදී රසදිය දෂමූල කසායෙන්ද පිරිසිදු කර ගැනීමට කටයුතු කරනවා.

රත්තරන් පිරිසිදු කිරීම

මකරද්වජ ඖෂධ සෑදීම සඳහා අප භාවිත කරන්නේ කැරට් 24 මිලිසියානු රත්තරන්ය. එම රත්තරන් පවුමක් ගෙන එය යන්ත‍්‍රයක යොදා තලා රත්තන් පටියක් ලෙස සාදා ගන්නවා. එම රත්තරන් පටිය රවුමට ඔතාගෙන අඩුවකින් අල්ලාගෙන පොල්කටු අගුරු ගින්නෙන් රත්කර ගන්නවා. මෙලෙස රත්කරගන්නා රත්තරන් පටිය බෙහෙත් වර්ග හතක වෙන වෙනම හත්වරක් ගිල්වා නිවා ගන්නවා. එනම් එක්වරක් රත්තරන් පටිය රත්කර එක් බෙහෙත් වර්ගයක ගිල්වා නිවා ගන්නවා. එසේ නිවාගත් රත්තරන් පටිය යළිත් රත් කරනවා. එහිදී රත් වූ රත්තරන් පටිය අනෙක් බෙහෙත් වර්ගයේ ගිල්වා නිවා ගන්නවා. මෙලෙස බෙහෙත් වර්ග හතෙහි වෙන වෙනම හත්වාරය බැගින් ගිල්වා නිවා ගන්නවා. එසේ සිදු කිරීමේදී රත්තරන් පටියේ ඇති විෂ සහිත ද්‍රව්‍ය පිළිස්සී ඉවත් වී යනවා. මෙලෙස පිළිස්සීමෙන් පසු ඉතිරි වන රත්තරන් මකරද්වජ ඖෂධ සෑදීම සඳහා යොදා ගන්නවා. මෙලෙස ශෝධනය සහ වාරණයට ලක් කළ ගෙන්දගම්, රසදිය සහ රත්තරන් නිසි මාත‍්‍රාවට අනුව යොදාගෙන මකරද්වජ ඖෂධය සාදනවා. එය 0රස කොටස් එකක් ද රසදිය කොටස් 8 ක්ද ගෙන්දගම් කොටස් 16 ක්ද ලෙසින් අනුපාතයට යොදා ගන්නවා. නිසි අනුපාතයට යොදාගෙන සාදාගත් මකරද්වජ ඖෂධය තද රත් පැහැතිය. මෙම ඖෂධ රෝගියාගේ පවතින රෝග තත්ත්වය අනුව ලබාදීමෙන් ඉතා ඉක්මනින් සුවය ලැබෙනවා.

වෛද්‍යතුමනි, මෙවැනි ඖෂධ ගැනීමේදී ආහාර පාලනයක් විය යුතුද?

වැදගත්ම කරුණවන්නේ මෙවැනි රසදිය මිශ‍්‍ර මකරද්වජ ඖෂධ භාවිත කරන විට ආහාර පාන ගැනීමෙන්ද පරෙස්සම් වීමය. එහිදී කකාරාෂ්ඨක ඖෂධ හෙවත් සංස්කෘත භාෂාවෙන් ‘ක’ අකුරින් පටන් ගන්නා ආහාර වර්ග 8ක් ගැනීමෙන් වැළකිය යුතුය. උදාහරණයක් ලෙස කරවිල, පුහුල් ආදී ආහාරය. එම ආහාර වර්ග වෛiවරයා විසින් නැවත ගැනීමට අවසර ලබාදෙන තුරු නොගත යුතුයි. ඒ අයුරින් මකරද්වජ ඖෂධ භාවිත කිරීම අත්‍යවශ්‍යය. එසේ නොකළහොත් අප බලාපොරොත්තු වන රෝග සුවය ලබාගන්න බැහැ.

රත්තරන්, රසදිය, ගෙන්දගම් සහිත මකරද්වජ ඖෂධ

කොළඹ 13, අංක 39 හි
කොටහේන ආයුර්වේද මධ්‍යස්ථානයේ
වෛද්‍ය ජයන්ත එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment